වර්තමාන ලෝකය තුළ නාගරීකරණය වනාහි ශීඝ්‍ර ක්‍රියාවලියකි. ග්‍රාමීය ප්‍රදේශයන්ගේ සිට නාගරික ප්‍රදේශ කරා සිදුවන අභ්‍යන්තර ජන සංක්‍රමණ ඉහළ යෑම මේ සඳහා ප්‍රමුඛව බලපායි. නගර ආශ්‍රිතව සිදුවන තාක්ෂණික හා සන්නිවේදන දියුණුව, නව රැකියා අවස්ථා උත්පාදනය, යටිතල පහසුකම්වල සංවර්ධනය මීට මූලික හේතු වේ.
අහ්‍යන්තර සංක්‍රමණ සෑමකල්හි ම ඵලදායි වේ ද? ගම්වල සිට නගර කරා සංක්‍රමණය වන බොහෝ පිරිස්වලට පසුකාලීනව නගර තුළ අනවසර පදිංචිකරුවන්/ පැල්පත්වාසීන් ලෙස ජීවත්වීමට සිදුවීම වනාහි නාගරීකරණයේ ප්‍රමුඛතම ගැටලුවකි. එසේනම් ග්‍රාමීය ප්‍රදේශවල තමන් සතු ඉඩම්/ නිවාස අතහැර නගරවලට පැමිණ අනවසර පදිංචිකරුවන් බවට පත්වන්නේ කුමට ද? මෙම තත්ත්වය සැබවින්ම ද්විධාකරණයකි (Dichotomy). යැපීමට තරම් රැකියාවක් ග්‍රාමීය ප්‍රදේශ තුළ නොවීම එහි එක් බෙදුමකි; සුළු වැටුපක් යටතේ හෝ නගරාශ්‍රිතව රැකියාවක් සොයාගනිමින් එම නගරවලම අනවසරයෙන් හෝ පදිංචි වීම අනෙක් බෙදුම යි. බොහෝ අවස්ථාවන්හි දී කම්කරුවන්, නුපුහුණු සේවකයන්, කුලීකරුවන් ආදී පාර්ශ්වයන් මුහුණ පාන පොදු ගැටලුව මෙයයි.
නමුත් මෙම ලිපිය ඔස්සේ මූලිකව අවධාරණය කෙරෙන්නේ මේ තුළ ඇති මතුපිටට නොපෙනෙන කරුණක් වූ ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවය පිළිබඳවය. ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය සන්දර්භයන් ඔස්සේ මේ පිළිබඳව විමසා බලමු. තවමත් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැකි ප්‍රාදේශීය සංවර්ධන විෂමතා බොහොමයකි. එදා මෙදා තුළ “කොළඹට කිරි, ගමට කැකිරි” ලෙස ප්‍රකට වහරක් අප සමාජය තුළින් බිහිවී ඇත්තේ ද එබඳු සන්දර්භයක් තුළ ය. එක්සත් ජාතීන්ගේ නිර්වචනය පරිදි සංවර්ධනය වනාහි සියලු පුද්ගලයන් සඳහා ඉහළ ජීවන තත්ත්වයකට ළඟා වීමේ බහුමානීය ක්‍රියාවලියකි. ඒ අනුව සෑම ප්‍රදේශයක් තුළම වාසය කරන ජනතාවට එබඳු “ඉහළ ජීවන තත්ත්වය” ක් කරා ළඟා වීමට හිතකර වටපිටාවක් අප රට තුළ තිබේ ද?
ශ්‍රී ලංකාව තුළ ඒ ඒ කාලසීමවන්හි දී විවිධ රජයන් යටතේ නා නා ප්‍රකාර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ ආදී බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද අදවන විට පවා ග්‍රාමීය හා නාගරික වශයෙන් පවත්නා සමාජීය දුරස්ථභාවය ඉතා පුළුල් ය. රැකියා අවස්ථා, යටිතල පහසුකම්, සන්නිවේදනය හා තාක්ෂණය ආදී අංශයන් බහුල වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර ආදී දිස්ත්‍රික්ක තුළට සංකේන්ද්‍රණය වී ඇත. ප්‍රධාන දිස්ත්‍රික්කයන්ගේ නගරාශ්‍රිතව භෞතික පහසුකම් සාමාන්‍ය වශයෙන් හෝ ව්‍යාප්ත වී තිබුණ ද ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ඒ තත්ත්වය නිරීක්ෂණය කිරීම උගහට ය.
2022 වසරේ දී ශ්‍රී ලංකා මහබැංකුවේ සමාජ ආර්ථික දත්තවලට අනුව 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතය සඳහා බස්නාහිර පළාතේ දායකත්වය 38%ක් වන විට ඌව පළාතේ එම ප්‍රතිශතය 5.4%ක් වැනි පහළ අගයකි. එසේම එම වාර්තාවට අනුව 2019 වසරේ දී දිළිඳු කුටුම්භ අනුපාතය බස්නාහිර පළාතේ 4.4%ක් වන විට, නැගෙනහිර පළාතේ එය 19.9%ක් හා ඌව පළාතේ 24.5%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් විය. මෙහි ඇති ඛේදනීය පැතිකඩ වන්නේ මූලික අවශ්‍යතා පවා සලසාගැනීමට නොහැකි දැඩි දරිද්‍රතාවයෙන් යුතු පිරිසක් නිර්මාණය වීමයි. ආහාර අනාරක්ෂි තබව, සෞඛ්‍ය පහසුකම්වල හිඟය, පානීය ජල ගැටලු, අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශ බාධාවන්, සන්නිවේදන දුෂ්කරතා ආදිය ඉන් අතළොස්සකි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය තවමත් මූලික වශයෙන් කෘෂි ආර්ථිකයක් මත යැපේ. එහිදී සිය වගා අස්වැන්නට සරිලන නිසි වෙළෙඳපොළ මිලක් නොමැතිකම නිසා ගොවියාගේ ජීවන තත්ත්වය වඩාත් පිරිහෙයි. වගා ණය ඇතුළු ණය ගොන්නකට මැදිවන ගොවියා ණය බරින් මිරිකෙන විෂම චක්‍රයකට මුහුණ පායි. ශ්‍රී ලංකාවේ රාජාංගණය ආදී ගොවිජනපද ප්‍රදේශ තුළ මේ තත්ත්වය වඩාත් ප්‍රකට ය. ග්‍රාමීය ප්‍රජාවට සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් සඳහා වන ප්‍රවේශය ද ඉතා අල්ප ය. සායනික දිනයන්හි දී පවා අති දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටීමට රෝගීන්ට සිදුවේ. එසේ වුවත් ඇතැම් විට වෛද්‍යවරයා හමුවීමටවත් ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන අතර, ඇතැම් ඖෂධ රජයේ රෝහල් වෙතින් ලබාගැනීමට නොහැකි වීම නිසා පුද්ගලික ඔසුසැල් මඟින් ඉහළ මිලක් ගෙවා මිලදී ගැනීමට සිදුවේ. ග්‍රාමීය දරුවන්ට පාසල් යෑම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමට සිදුවන්නේ ද අබලන් මාර්ග හරහා’ ය. ඉගෙනීමට සුදුසු ස්ථාන හෝ ප්‍රමාණවත් ගුරුවරු පවා නොමැති මෙම පාසල්වල ළමා ආරක්ෂාව පිළිබඳව ද ගැටලු පවතී. 2020 වසරේ පාසල් ජනසංඛ්‍යාලේඛන වාර්තාව පරිදි කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති ජාතික පාසල් සංඛ්‍යාව 37ක් වන විට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 2ක් වැනි පහළ අගයක් විය.
එසේනම් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කළ යුත්තේ අගනගරය ආශ්‍රිතව පමණ ද? සංවර්ධන ක්‍රියාවලියේ මූලික අරමුණ භෞතික අවශ්‍යතා සපුරාලීම තුළින් ජනජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම නම්, එය අගනගරය නොව සමස්ත රටම ආවරණය වන එකක් විය යුතු ය. මෙහිදී ප්‍රමුඛ අවශ්‍යතා සහිත අඩු සංවර්ධිත ප්‍රදේශ හඳුනාගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම වඩාත් වැදගත් ය. එසේම ග්‍රාමීය ප්‍රජාව සඳහා සිය හැකියා තුළින් ආර්ථික වටිනාකම් ලබාගැනීමට ඉඩ සැලසීම ඔස්සේ ජාතික වශයෙන් ඇතිවන ආර්ථික අර්බුදකාරී අවස්ථාවල දී පවා සිය දෛනික ජීවිතය ප්‍රශස්තව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ආර්ථිකමය ස්ව ශක්තියක් ඔවුන් තුළ නිර්මාණය වේ. වර්තමානය තුළ අභාවයට යමින් පවතින අත්කම්, පේෂ කර්මාන්ත ආදී සුළු පරිමාණ කර්මාන්තකරුවන් නගාසිටුවීමට හා ස්වයං රැකියාවල නියැළෙන්නන් සඳහා දිරිදීමනා සැපයීම එහි එක් පියවරකි. මූල්‍යමය දීමනා මෙන්ම ව්‍යවසායකත්ව උපදේශන සේවා, අභිප්‍රේරණාත්මක වෘත්තීය පුහුණු වැඩසටහන් ආදී මූල්‍යමය නොවන දිරිදීමනා සැපයීම ද ග්‍රාමීය ආර්ථික සංවර්ධනයෙහි ලා දායක වේ. ග්‍රාමීය පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සැපයීම සඳහා වන විධිමත් ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී අවධාරණය කළ හැකි ය. එසේ නොවන කල්හි, හුදු ප්‍රාදේශීය විෂමතා න්‍යායන් තුළ පමණක් එල්බගත් විද්වතුන් සැබෑ ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් ජනනය නොකරන තාක් එදා සිට අද දක්වා ප්‍රකට වූ “කොළඹට කිරි ගමට කැකිරි” තත්ත්වය මතුවටත් එලෙසින්ම පවතිනු ඇත.
යොෂානි ඒකනායක
ශාස්ත්‍ර පීඨය
ආර්ථික විද්‍යා අධ්‍යනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සංස්කරණය – වසන්ත ලියනගේ