කෝටි 1600ක කුඩු දකුණු මුහුදේදී මාට්ටු

938

කොස්ගොඩ සුජී ඇතුළු කෙරුමන් 3කගේ
ඉතිහාසයේ ඇල්ලූ විශාලම මත්ද්‍රව්‍ය තොගය
7ක් අල්ලයි

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේදී පෙරේදා (05දා) අලුයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 1600කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොස්ගොඩ සුජී ඇතුළු ජාවාරම්කරුවන් තිදෙනකුට අයත් ඒවා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ඉතිහාසයේ එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු අවුරුදු 20ත් 58ත් අතර වයස් සීමාවල පසුවන හික්කඩුව අහුංගල්ල, බේරුවල, ගෝනුපීනුවල සහ අළුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 671ක් සහ හෙරොයින් කිලෝ 191ක් ඇති බව පොලිසිය පවසයි. කිලෝග්‍රෑම් 863ක් වූ මෙම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් කෝටි 1600 ඉක්මවන බව ද පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්ගොඩ සුජී සහ මෙරට තවත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අයත් මත්ද්‍රව්‍ය මෙම බෝට්ටුවේ තිබී ඇති බව ද පොලිසිය පවසයි. මීට පෙර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය කිලෝ 300කට අඩු ප්‍රමාණ බවත් මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් එකවර හමුවූ මුල්ම අවස්ථාව මෙය බවත් නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සති කීපයක් තිස්සේ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ (06දා) සිය භාරයට ගන්නා ලදී. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරමට සම්බන්ධ වූවන් නොවන බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකළ පුද්ගලයන් බවත් පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment