මක්කම වන්දනාවේ ගොස් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මවුලවිවරයකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ කාන්තාවක විසින් රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යෑමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 21 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මඩකලපුව කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මවුලවිවරයා 44 හැවිරිදිය. කාන්තාව 49 හැවිරිදිය. ඔවුන් 21 දා පස්වරු 02.56 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ. වයි.- 390 දරන ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ගුවන් තොටුපළ සියලුම පරීක්ෂණ නිමා කර ඔවුන් පිටව යෑම සඳහා පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් සිය ගමන්මළු තුළ සඟවාගෙන සිටි ග්‍රෑම් 859 ක් බරැති කැරට් 24 සහ 22 මාල, වළලු, මුදු, කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න සිල්වා, උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන (85188) දිලන්ත, (93465) ප්‍රසාන්තන්, (36514) මුරලි, (102313) වික්‍රමසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් (12146) නෙත්මිණි යන නිලධාරීහු සිදු කරමින් සිටිති.
කටුනායක – ටී. කේ. ජී. කපිල