කෝවිලක් කියා හිතාගෙන අවුරුදු දහස් ගණනක් තිස්සේ පන්සලකට වැඳලා

898

තමිල්නාඩුවේ ජනතාව විසින් දේශීය දෙවියකු ලෙස සලකා මෙතෙක් කලක් වන්දනාමාන කරන ලද තලවෙට්ටි මුනියප්පම් නමැති හින්දු දෙවියා අන් කිසිවකු නොව බුදුන්වහන්සේ බව හෙළිවී තිබේ. මේ බව අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලද අතර එම පර්යේෂණය පැවැත්වීම සඳහා මදුරාසියේ ඉහළ උසාවිය මගින් නියෝගයක් දී තිබිණ. පර්යේෂණයේ හෙළිදරව්වට අනුව මෙතෙක් කලක් කෝවිලක් සේ පැවැති තලවෙට්ටි මුනිඅප්පම් සිද්ධස්ථානය මෙතැන් සිට බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කිරීමට සිදුවී ඇත. එසේම මෙතැන් පටන් මෙම කෝවිල තුළ කිසිදු හින්දු ආගමික පූජාවක් ද සිදු නොකරනු ඇත. මෙයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එන්. ආනන්ද් වෙන්කෙටෙෂ් විනිශ්චයකාරතුමා මෙසේ කියා ඇත. අදාළ කෝවිල තුළ පිහිටි ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් බවට ප්‍රකාශ කරමින් පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතුය. එසේම ඉදිරියේදී කිසිදු ආකාරයක හින්දු පුද පූජාවක් මේ ප්‍රතිමාව ඉදිරියේ නොකළ යුතුය.

මේ නඩු විභාගය ඇරැඹෙන්නේ වසර 2011 දීය. මෙම කෝවිල පිහිටි ප්‍රදේශය බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටි ඉපැරැණි ප්‍රදේශයක් බව කියමින් පී. රංගනාථන් නමැති පුද්ගලයෙක් උසාවියට පැමිණිල්ලක් ගොනු කළේය.

නඩු තීන්දුව නිකුත් වන අවස්ථාවේදී පැමිණිලිකරු මියගොස් සිටි අතර නඩු තීන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා ඇත.

(ඉන්දියාවේ චෙන්නායි නුවර සිට විශේෂ වාර්තාකරුවකු විසිනි)


advertistmentadvertistment