අපට මතක ඇති ඉතිහාසයේ ලොකුම ගංවතුර හට ගත්තේ 2017 දීය. අන්දමන් සහ නිකොබාර් දූපත් ද බංග්ලාදේශය සහ බුරුමය ද ඉන්දියාවේ කොටසක් ද අතුගා ගෙන පැමිණි මොරා නමැති සුළි සුළඟක් මගින් හටගත් වර්ෂාව නිසා මේ කියන ගංවතුර ලංකාවේ ඇති විය. එම ගංවතුර ලංකාවට පමණක් සීමා වූ බව නොසලකන්න. මොරා සුළි සුළඟ ගිය ගිය හැම රටකම මහා ගංවතුරක් ඇති කර විශාල විනාශයක් සිදු කළේය. 2017 මැයි 18 සහ 19 දෙදින නොකඩවාම වැස්සේය. මේ ගංවතුරෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 15ක් යට විය. ඒ නිසා නාය යෑම් විශාල ප්‍රමාණයක් ඇති විය. ගංවතුරෙහි ගිලී සහ නාය යෑම්වලින් වැළලී රට වැසියන් 224ක් මිය ගියහ. තවත් 78ක් අතුරුදන් වූහ. 72 කට තුවාල සිදු විය. ගෙවල් 2093ක් කැබලි සොයා ගැනීමටවත් නොහැකි පරිදි ගසා ගෙන ගියේය. තවත් ගෙවල් 11,056ක් දරුණු ලෙස අබලන් විය. මේ ගංවතුර ලංකා ඉතිහාසයේ විශේෂත්වයක් දරන්නේ එය විනාශකාරී ගංවතුරකට අමතරව දේශපාලන ගංවතුරක් ද වූ නිසාය. එක්තරා දේශපාලකයෙක් ගංවතුර අනාථයන්ට කෙහෙල් ගෙඩි බෙදුවේය. ඒ හැම කෙහෙල් ගෙඩියකම සීල් එකක් ගසා තිබුණි. අසවල් දේශපාලනඥයාගේ පරිත්‍යාගයකි යනුවෙන් එම සීල් එකේ සටහන් විය. එසේම අසවල් දේශපාලනඥයාගේ නම ද යොදා තිබිණ. අධික කුසගින්නේ සිටි අනාථ ජනයා කිසිම සදාචාරයක් නැති මේ කෙහෙල් ගෙඩි අනුභව කළේ කුසගින්න සහ අසරණකම නිසාමය. දෙවැනි කෙහෙල් ගෙඩි ලෝඩ් එක එන විට ගංවතුර අනාථයෝ එම කෙහෙල් ගෙඩිවලින්ම පහර දී දේශපාලනඥයාගේ ගෝල පිරිස පලවා හළෝය. මේ ගංවතුර තවත් මෙවැනිම විශේෂතා කිහිපයකින් අනූන විය. ගංවතුර සහනාධාර බෙදීමට පැමිණි රබර් බෝට්ටුවල දේශපාලනඥයාගේ නම් ගසා තිබිණි. ගංවතුරින් මළ ජනතාවගේ මළගෙවල්වලට සපයන ලද හට්වල අසවල් දේශපාලනඥයාගේ අනුග්‍රහයෙන් යනුවෙන් නම ගසා තිබිණ. මුද්‍රණය කළ හැකි හැම තැනකම ඔවුහු නම් ගැසූහ. නම් ගැසීමට බැරි වූ සහල් ඇට සහ කඩල ඇට පමණක් බේරිණ. 2017 සිටි දේශපාලනඥයෝ අමුතුම සත්තු විශේෂයක් බව මෙහිදී හෙළි වූහ. මේ දේශපාලනඥයන් සිටියේ එවකට රට ආණ්ඩු කළ යහපාලන කට්ටිය අතර පමණක් නොවේ. අනාථාධාර බෙදූ සෑම පක්‍ෂයක්ම තමන් මතවාදී හිඟන්නන් බව ඔප්පු කරමින් ගංවතුරක් සේ දේශපාලන ප්‍රචාරයක් ගෙන ගියේය. මෙවර ගංවතුරේදී බඩු බෙදන කට්ටිය ගංවතුර නමැති ස්වාභාවික ආපදාවට සහ එයින් හානියට පත් ජනයා වෙත පමණක් අවධානය යොමු කිරීම සතුටට කරුණකි. එයට හේතුවක් තිබේ. විපක්‍ෂයේ සියලුම දෙනා තවමත් කල්පනා කරන්නේ JVP, NPP ආණ්ඩුව කෙසේ බලයට පැමිණියේ ද යන්නය. සාමාන්‍යයෙන් JVP දේශපාලනය තුළ මෙවැනි ප්‍රචාරාත්මක ව්‍යාපාර නැත. ඒ නිසා මෙවර ගංවතුර දේශපාලනයෙන් විනිර්මුක්තය. ඒ අනුව එය ඉතා පිරිසිදු ගංවතුරකි.
මෙවර ගංවතුර නිසා උසස් පෙළ විභාගය දෙවරක් කල් දැමීමට සිදුවිය. මේ වනවිට ගංගා නවයක වතුර මට්ටම ඉහළ ගොස් තිබිණි. ගංවතුර කොතරම් දරුණු වී ද යත් ඔලුවිල්, කලිඔඩෙයි පාලම වතුරට ගසාගෙන ගියේය. ඒ අතර දැනට අනතුරට ලක්වී ඇති ප්‍රදේශවලට අමතරව තවත් ප්‍රදේශ විස්සකින් පමණ ඉවත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා ඇත. ලංකාවේ ගංවතුර අනතුරු පිළිබඳ පුරෝකථන කිරීමට සහ නියෝග නිකුත් කිරීමේ අයිතිය පෙර කී ආයතනයට තිබේ. ලංකාවේ සියලුම ගොඩනැඟිලිවලට වගකියන්නේ මේ ආයතනයය. ඇතැම් ටී.ඕ ලාට ජරාවක් දී ඕනෑම පර්චස් එකක තට්ටු 10 ක බිල්ඩිමක් ගැසීමේ හැකියාව මේ රටේ ජනතාවට ඇත. කන්ද උඩරට කඳු අස්සේ මේ වර්ගයේ ගෙවල් සහ ටුවරිස්ට් හෝටල් ඕනෑ තරම් තිබේ. කඳු නාය යන විට මේ ගොඩනැඟිලි සියල්ලම මහ පොළවට සම්ප්‍රාප්ත වේ. එවිට ඒ අවස්ථාවේ දී ඒවායේ සිටින ජනයා සහ ගොඩනැඟිල්ල අවට සිටි ජනයා අත පය කැඩී තැලී පොඩිවී මිය පරලොව යති. නුවර පැත්තේ කඳු පන්ති ආසන්නයෙහි ඉදි කළ ඇතැම් තට්ටු නිවාස ගංවතුර නැතුවාට නිකන් ද කඩා වැටේ. මීට වසර කිහිපයකට පෙර එවැනි තට්ටු ගෙයක් කඩා වැටෙන්නට පටන් ගත් විට ගෙහිමියා සහ පවුලේ උදවිය මෝටර් රථයක නැගී පලා ගියහ. එහි ඉහළ මාලයේ කුලී නිවැසියන් ලෙස ජීවත් වූ නව යුවළක් සහ දරුවෙක් ගොඩනැඟිල්ලේ සුන්බුන්වලට යටවී මිය ගියහ. මේ සම්බන්ධයෙන් වගකීම ගෙහිමියා දැරිය යුතුය. ඊට අමතරව මේ ගෙයි ප්ලෑන පාස් කළ ටී.ඕ. ද මෙයට වගකිවයුතු ය. ගේ ඉදිවන අතර විටින් විට ගෙයි ප්‍රගතිය නැරඹීමට පැමිණි ටී.ඕ. එසේ එන හැම විටකම අරක්කු බෝතලයක්, රෝස් කුකුළෙක් සහ රුපියල් 10,000ක් ගෙදර ගෙන යන්නට ඇති. මේ නඩුව නීත්‍යනුකූලව අසන විට ස්ථිර වශයෙන්ම නිවෙස අයිතිකාරයාත්, ගෙය පාස් කළ ටී.ඕ. මැතිතුමාත් ගස් යනවා ඇත. එහෙත් මේ කැකිල්ලේ ප්‍රදේශයේ උසාවියක දී විභාග කරන ලද්දේ නම් ස්ථිර වශයෙන්ම ගස් යන්නේ ඒ ගෙදර කුලියට සිටි අයය. එම ගෙදර කුලියට සිටි නව යුවළ සහ කුඩා දරුවා කොහොමටත් මිය ගිය නිසා අමුතුවෙන් ගස් යෑමට හේතුවක් ඔවුන්ට නැත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙක පිහිටා ඇති භූගෝලීය මර්මස්ථාන දෙක ඉතාම දරුණුය. බෙංගාල බොක්කේ හට ගන්නා ඕනෑම සුළි සුළඟක අවසාන බයිට් එක වන්නේ මේ දෙරටය. බංග්ලාදේශයේ ගංගා රැසක් තිබේ. ඒ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනයා ජීවිතය සහ මරණය අතර සටන් කරන්නෝ වෙති. බෙංගාල බොක්කේ හට ගන්නා අඩු පීඩන අවපාත තත්ත්වවලදී හට ගන්නා අධික වර්ෂාවෙන් බෙංගාලයේ සහ ලංකාවේ ගංගා පිරී ඉතිරෙන්නට පටන් ගනී. ඉන් පසු එය දෙගොඩතලා යන ගංවතුරක් බවට පත්වේ. මේ නිසා ලෝකයේ ගංවතුර පිළිබඳ වැඩිම අත්දැකීම් බහුල රටවල් දෙකක් ලෙස ලංකාව සහ බංග්ලාදේශය හඳුනාගත හැකිය. හැබැයි අදටත් මේ දෙරටේම ගංවතුර විපත් නිවාරණය සහ ගංවතුර පිළිබඳ පෙර සූදානම ඉතාම පහත් ය. කොපමණ වැස්සත් අපට ගංවතුර මතක් නොවේ. අපට එය මතක් වන්නේ වෙනත් පළාතක හට ගන්නා ගංවතුරින් කිහිප දෙනෙක් මියගිය පසුවය. බංග්ලාදේශයේ තත්ත්වයත් එයම විය යුතුය. ඒ රටේ ගංවතුරක් ගැලූ විට ජනතාව මිය යන්නේ තොග අවසන් කිරීමේ මහා සේල් එකක දී බඩු විකිණෙන ආකාරයටය. ගංවතුර පිළිබඳ පුරෝකථන කිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම අපේ රටට තිබේ දැයි අපි හරියටම නොදනිමු. දියුණු රටවල් බොහොමයක් ස්වාභාවික ආපදාවලින් බේරෙන්නේ තාක්‍ෂණය පිහිටෙනි. හැබැයි කොතරම් දියුණු තාක්‍ෂණයක් තුළ වුවද ස්වාභාවික ආපදාවලදී මිනිස්සු මිය යති. එයට හේතුව එකී ස්වාභාවික ආපදා නිරීක්‍ෂණය කරන යන්ත්‍ර සූත්‍ර කැඩී බිඳී නන්නත්තාර වීමය. අපේ රටේ කැඩෙන බඩුවක් හදන්නේ ඉතා කලාතුරකිනි. මේ නිසා ගංවතුර නොව හඳ අපේ පොළවට කඩා වැටුණත් එය අප දැන ගන්නේ අපගේ ගන්ධබ්බ කාලයේදීය. මේ රටේ ජනයා ගංවතුර සමග සෙල්ලම් කිරීමට නොයා යුතුය. ගංවතුර යනු ෆන් ගැනීමට දෙවියන් විසින් එවනු ලබන ආතල් කාලයක් නොවේ. එය වැඩි වන ජනගහනය අඩු කිරීම සඳහා, මැල්තස්ගේ න්‍යායට අනුව ස්වභාව ධර්මය විසින් සිදු කරන සංසිද්ධියකි. මේ කතුවැකිය මුල සිටම කියවන ඔබට ගංවතුර ප්‍රශ්නයේ විභවය දැනෙන්නට ඇත.