මුහුදුබත් වූ නැවේ ගැටුණු කෝටි තුනක් වටින බහුදින යාත්‍රාව අබලිවෙලා

98

උඩප්පුව පාරිපාඩුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවරයන් 6 දෙනකු ගමන් ගත් බහුදින යාත්‍රාවක් මුහුදු බත්වූ නැවක ගැටීමෙන් දැඩි ලෙස හානි සිදුවී තිබේ. එම යාත්‍රාව ධීවරයින් සමග පාරියපාඩුව වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බව උඩප්පුව පොලිසිය පවසයි.

මෙම බහුදින යාත්‍රාව ඉකුත් 08 දා රාත්‍රියේ වෙන්නප්පුව ධීවර වරායෙන් පිටත්ව මසුන් ඇල්ලීම සඳහා ත්‍රිකුණාමලය දක්වා යාත්‍රා කරමින් තිබියදී පෙරේදා (09 දා) මෙම අනතුරට ලක්වී තිබේ. රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් මෙම බහුදින යාත්‍රාවට දරුණු හානි සිදුව ඇති බවත් නැවත යාත්‍රා කිරීමට නොහැකි ලෙස අබලන් වී ඇති බවද පොලිසිය පවසයි.

මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිටි ධීවරයින් පවසා ඇත්තේ තමන් ගමන් කරමින් සිටි යාත්‍රාව එකවර මුහුදේ තිබූ පැරණි අබලන් වූ නැවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

පැරැණි නැව් මෙසේ මුහුදේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානවලට කිසිවක් හඳුනා ගැනීමට නොදැමීම හේතුවෙන් මෙසේ ධීවරයන් නොසිතු ලෙස හදිසි ආපදාවන්ට ලක්වී ඇති බවත්, නැවත මෙවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට බලධාරීන් පියවර ගත යුතු බව ධීවරයෝ පවසති.

බහුදින යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එය දරුණු ලෙස කැඩී යෑමෙන් පසු එහි ගමන් කරමින් සිටි ධීවරයන් දැඩි පරිශ්‍රමයක් දරා අදාළ යාත්‍රාවේ එල්ලෙමින් දිවි බේරාගෙන ඇති බව කියයි.

මෙම අනතුරින් විනාශ වී ගිය රුපියල් කෝටි තුනකට ආසන්න යාත්‍රාවේ තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න දැල් ආම්පන්නත්, ධීවරයන්ගේ ආහාර සහ ඉන්ධන ඇතුළු දෑ ද විනාශ වී ඇති බවත් කියයි. උඩප්පුව පොලිසිය පවසා සිටියේ මෙම යාත්‍රාවට සිදුවු අනතුර කුමක්දැයි නිශ්චිත ලෙස සොයා ගැනීමට නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි.

කෙසේ නමුත් මෙයට පෙර කිසිදු අවස්ථාවක මෙවැනි ආකාරයට කිසිදු යාත්‍රාවක් මෙම මුහුදු තිරයේ අනතුරකට ලක්වී නැති බවද පොලිසිය කියයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment