පින්නගොඩ පාළු මාර්ගවල තනිව ගමන් ගත් බාල තරුණියන් බිල්ලට ගත් අපතයා දැලේ

207

අගලවත්ත, පින්නගොඩ ප්‍රදේශයේ පාළු මාර්ගවල රැක සිට තනිව ගමන් ගන්නා ළා බාල තරුණියන් බිල්ලට ගන්නා (62) විවාහකයා පසුගියදා අත්අඩංගුවට ගත් බව මතුගම මූලස්ථාන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු පින්නගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහක පියකු බවත් ඔහු මින් පෙර මිනී මැරුමක් ඇතුළු පෙර වැරදි රැසක් සම්බන්ධයෙන් සතිපතා පොලිසියට පැමිණ අස්සන් කරන පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශයේ මාර්ගවල පාළු ස්ථානයන්හි රැක සිට තනිව ගමන් කරන ළා බාල තරුණියන් බිය වද්දා කැලයට රැගෙන ගොස් දූෂණය කරන මොහු මෙසේ මෑතක දී 20 හැවිරිදි තරුණියක් තනිව මාර්ගයක ගමන් කරද්දී පාළු ස්ථානයක රැක සිට ඇයව අල්ලා දූෂණයට ලක්කළ බවට ඇගේ දෙමාපියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මේ පුද්ගලයා මෙයට ප්‍රථම තවත් තරුණියන් දෙදෙනකු මෙලෙස දූෂණයට ලක් කර ඇති බවත් බිය වැද්දීම හේතුවෙන් ඔවුන් තම, භාරකරුවන්ට මේ බව පවසා නැති බවත්ය. දූෂණයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකළ ඇති අතර සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත කාන්තා උප පොලිස් පරීක්ෂක කුමාරි හේමරත්න සහ කා.පො.සැ. (1876) තමරා යන නිලධාරිනියන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment