ශ්‍රී ලංකාවත් අවදියෙන් සිටිය යුතු නිපා අවදානම

327

නිපා ආසාදනය පලතුරු වවුලන් හා ඌරන් මාර්ගයෙන් රටකින් රටකට පැතිරෙන බව මෙතෙක් අනාවරණය වී නොතිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා ආසාදනයද ඉබෝලා, සිකා හා කොරෝනා යන රෝග හා සමානව ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු දුර්ලභ රෝගයක් වශයෙන් නම් කර තිබේ.

දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්තයේ “කොසිකොඩේ” දිස්ත්‍රික්කයේ සති එකහමාරකට පමණ පෙර පැතිර ගිය මෙතෙක් සුව කිරීම සඳහා එන්නතක් සොයාගෙන නොමැති මාරාන්තික “නිපා” වෛරස් ආසාදනය ගොදුරු වූ හය දෙනකු වාර්තා වීමත් ඉන් දෙදෙනකු මිය යෑමත් සමගම කේරළය කෙරෙහි ලෝකයාගේ අවධානය යොමුව තිබේ.

කේරළයේ සංචාරක කර්මාන්තයටද අහිතකර ලෙස බලපා ඇති මෙම නිපා වෛරස් ආසාදනයේ ඇති දරුණු බව නිසාම එය පැතිර ගිය කොසිකොඩේ දිස්ත්‍රික්කයේ සියලු පාසල් හා ආයතන දින කිහිපයක් වසා දමමින් හා නිපා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වල නීරෝධායනය කරමින්ද, මහජනයා ඒකරාශී වන මහජන රැස්වීම් තහනම් කරමින් කේරළ බලධාරීහු ආසාදනය පැතිර යෑම පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

නිපා ආසාදනය පැතිරීම ආරම්භ වී දින කිහිපයක් යත්ම ආසාදිතයන් හය දෙනකු රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කිරීමත් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් (ක්ලෝස් කන්ටැක්ට්ස්) දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වීම හා ඉන් තුන්සිය ගණනක් අවදානම් ආශ්‍රිතයන් බව ප්‍රකාශයට පත් වීම නිසා කේරළ ප්‍රාන්තයටම සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් වූ අතර ඉන්දියාවේ මධ්‍යම රජයද මෙම වසංගතයේ පැතිරීම පාලනය කිරීමට දායකත්වය සැපයූ බව වාර්තා වී තිබිණි.

පලතුරු වවුලන් හා ඌරන්ගේගේ මළ මුත්‍රා මාර්ගයෙන් හා පලතුරු වවුලන් කොටන ලද ආහාර අනුභව කිරීමෙන් මිනිසාට සම්ප්‍රේෂනය වන නිපා වෛරස් ආසාදනය යනු කුමක්ද?

වසර 2018 සිට මේ දක්වා සිවු වතාවක් කේරළ ප්‍රාන්තයේ විවිධ පැතිවල වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති නිපා වෛරස් ආසාදනයේ රෝගය පතුරුවන වාහක වවුල් විශේෂය වන පලතුරු වවුලන් ඉන්දියාවේ ප්‍රාන්ත 10 ක වාසය කළද මෙතෙක් මෙම වෛරස් ආසාදනය පැතිර ගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ පමණක් බව වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිපා වෛරස් ආසාදනය වැළඳුනු අයෙකු මරණයට පත් වීමට ඇති හැකියාව සියයට 40 සිට සියයට 75 ක් දක්වා වු ප්‍රතිශතයක් වන අතර රෝගයට නිසි ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් එය දැඩී සේ අවධානය යොමු කළ යුතුවූ මාරාන්තික රෝගයකි.

උණ, වමනය, හිසරදය, කැස්ස, උගුරේ ආසාදනය, හුස්ම ගැනීමේ අපහසුතාව නිපා වෛරස් ආසාදනයේ මූලික රෝග ලක්ෂණ වන, අතර රෝගය දරුණුවත්ම නිදිමත, සිහිසුන් තත්ත්වයක් ඇති වීම, මොළයේ ඉදිමීම හෙවත් එන්සෙපලයිටිස් වැනි රෝග මතු වී රෝගියා මිය යෑමට වුව ඉඩ ඇති බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරීම සිදු වන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට වන බවත් ඒ කෙළ බිඳිති හරහා බව වෛද්‍යවරු පවසති.

වෙනත් රටකින් තවත් රටකට යෑමට ආසාදිතයාට කාලයක් නොමැති බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇතත් එහි සත්‍ය අසත්‍යතාව මෙතෙක් බටහිර පර්යේශකයන් විසින් තහවුරු කර නොතිබීම නිසා, ඒ ගැන නිශ්චිතව යමක් පැවැසීමට නොහැකි වී ඇත.

කේරළ ප්‍රාන්තයේ අවසන් වරට පැතිර ගිය නිපා වෛරස් ආසාදනයට හේතුවී තිබුණේ පලතුරු වවුලන්ගෙන් ආසාදිතව තිබු රඹුටන් පලතුර වූ අතර මෙවර එම ආසාදනය පැතිරීමට හේතු වී ඇති බවට සැක කර පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ පේර හා පුවක් සාම්පල බව වාර්තා වී තිබේ. සන්ෂයින් කෝස්ට් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ජොඈන් මැක්ඩොනල්ඩ් එංගලන්තයේ පළ වන “ද ගාඩියන්” පුවත්පතට පවසා ඇත්තේ නිපා වෛරසයෙන් ආසාදිත පලතුරු වවුලන් ඔවුන් අනුභව කරන පලතුරු මත මුත්‍රා කරන බවත් එම මුත්‍රා මාර්ගයෙන් පලතුරට ඇතුළු වන වෛරසය පලතුරු අනුභව කරන මිනිසුන්ගේ ශරීරගත වී ඔවුන්ව ආසාදනයට, ගොදුරු කරවන බවයි. පලතුරු වවුලන් සෑමවිටම වාසය කරනුයේ ගසක මුදුනේ බවද ඇය පවසා ඇත.

නිපා වෛරසයෙන් ආසාදිත අයෙකුට ලබා දෙන ප්‍රතිකාර වනුයේ විවේකය, විජලනය වළක්වා ගැනීම හා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම බවද සහකාර මහාචාර්යවරිය කියා තිබේ.

නිපා වෛරසයට එම නම ලැබී ඇත්තේ මෙය 1998 වසරේදී ප්‍රථම වරට පැතිර ගිය මැලේසියාවේ ගම්මානයේ නමිනි. මැලේසියාවේ මෙන්ම සිංගප්පූරුවේද වසංගතයක් මෙන් පැතිර ගොස් ඇති මෙම ආසාදනය මුල් වරට 1998 වසරේදී වෛරසයෙන් ආසාදිත වූ ඌරන් හරහා මැලේසියාවේ ගොවිපළක පැතිර ගිය අවස්ථාවේදී 300 කට ආසන්න පිරිසක් ආසාදනයට ගොදුරු වූ අතර 100 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබිණි. එම අවස්ථාවේදී වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මැලේසියානු බලධාරීහු ඌරන් මිලියනයක් මරා දමා තිබූ බව වාර්තා වී තිබේ. මැලේසියාවෙන් ආනයනය කරන ලද නිපා වෛරසය ආසාදිත ඌරු මස් අනුභව කළ සිංගප්පූරු ජාතිකයන් 11 දෙනකුට එම ආසාදනය වැළඳී තිබූ අතර එක් අයෙකු මිය ගොස් තිබිණි.

නිපා ආසාදනය පලතුරු වවුලන් හා ඌරන් මාර්ගයෙන් රටකින් රටකට පැතිරෙන බව මෙතෙක් අනාවරණය වී නොතිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා ආසාදනයද ඉබෝලා, සිකා හා කොරෝනා යන රෝග හා සමානව ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු දුර්ලභ රෝගයක් වශයෙන් නම් කර තිබේ. නිපා වෛරසය “හෙනිපා වෛරස් ඝනයට අයත් වන අතර එය කලකට පෙර ඔස්ට්‍රේලියාවේ මිනිසුන් හා අශ්වයන් විශාල පිරිසක් මිය යෑමට හේතු වු හෙන්ඩ්‍රා වෛරස් ඝනයට අයත් බව බටහිර පර්යේශකයන් සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම නිපා වෛරස් ආසාදනය 2001 වසරේ සිට බංග්ලාදේශයේද පැතිර ගොස් ඇති අතර ඉන් 100 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. ඉන්දියාවේ මෙයට පෙර පැතිරුණු නිපා වසංගත දෙකකින් 50 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 1998 වසරේ සිට 2015 දක්වා කාලයේදි ලොව පුරා නිපා වසංගතයෙන් ආසාදනය වී ඇති සංඛ්‍යාව 600කට අධික වේ.

ශ්‍රී ලංකාව කේරළයට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් නිපා ආසාදිතයන් මාර්ගයෙන් මෙරටටද එම ආසාදනය පැමිණීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බව බටහිර වෛද්‍ය අංශවල මතය වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පසුගියදා පවසා තිබුණේ ශ්‍රී ලංකාවට මෙම රෝගය පැමිණීමේ අවදානම අඩු වුවද එයට මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සූදානම් බවයි. මෙරටට නිපා වෛරසය හඳුනාගත හැකි පර්යේෂණ කට්ටල මෙම සතියේදී ලැබෙන බවද මහරගම අපේක්ෂා රෝහලේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා පවසා තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස්වේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය පවසා ඇත්තේ මෙරට පලතුරු වවුලන් සිටිනවාද යන්න තහවුරු වී නොමැති බැවින් මෙම රෝගය මෙරටට පැමිණීම වළක්වා ගැනීම වැදගත් බවයි. පලතුරු ආහාරයට ගැනීමේදී හොඳින් සෝදා ආහාරයට ගත යුතු බවත් පළුදු වූ පලතුරු ළමුන්ට දීමෙන් වැළකිය යුතු බව ඇය කියා තිබේ. මෙම දිනවල ලෙඩ ඌරන් හා වවුලන් සිටින ප්‍රදේශවලට යෑමෙන් වැළකිය යුතු බවද වෛද්‍ය අබේනායක මහත්මියගේ මතය වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment