පසුගිය අප්‍රේල් 13 වැනිදා ශ්‍රී ලාංකිකයන් විසින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරමින් රතිඤ්ඤා දල්වද්දී මැදපෙරදිග කලාපයේ යුද ගිනි දැල්විණ. ඉරානය සහ ඊශ්‍රායලය පරම සතුරන් වී අඩසිය වසකටත් වැඩිය. එම කාලවකවානුව තුළ ඉරානය විසින් ඊශ්‍රාලයට මෙසේ සෘජුව ප්‍රහාරයක් දියත් කළේ පළමු වතාවටය. ලෝක ඉතිහාසයේ පළමු වරට ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් ප්‍රහාරයක් සඳහා භාවිතා කළ පළමු අවස්ථාවද මෙයයි. මේ ඒ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.
ඉරාන - ඊශ්‍රායල් ගැටුමක විපාක

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රශ්නය දීර්ඝකාලීනව පැවති ගැටුම්කාරී තත්ත්වයකි. ඉරානයේ ආධාර ලබන හූති සටන්කරුවන්, හිස්බුල්ලා සංවිධානය, ලෙබනනය, යේමනය සහ ඉරාකය ඔස්සේ ඉරානය මෙතෙක් කල් ඊශ්‍රායලය සමග සටන් කළේය. එබැවින් මෙතෙක් කල් ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති ගැටුම සෙවණැලි යුද්ධයක් ලෙස පැවතුණි. නමුත් එම සෙවණැලි යුද්ධය පසුගියදාක ලෝකයේම අවධානය දිනාගත් ඍජු සටනක් බවට පත්විය. ඒ මැද පෙරදිග යුද උණුසුම ඉහළ දමමින් පසුගිය අප්‍රේල් 13 දා ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් ඇවිව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවත් සමගය. එහිදී ඉරාන ගුවන් හමුදා ඩ්‍රෝන යොදාගෙන රාත්‍රිය පුරාවටම ඊශ්‍රායලය වෙත ප්‍රහාර 300 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කොට තිබේ. නමුත් එය සාර්ථකව මැඬපවත්වා ගැනීමට ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ඇමෙරිකානු මිසයිල නාශක පද්ධතිය සමත් වී ඇත. ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය අප්‍රේල් 1 දා සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙනි. එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් සිදුකළ බවට ඊශ්‍රායලය පිළි නොගත්තද එය ඔවුන් විසින් සිදුකළ බවට බොහෝ සාධක හඳුනා ගැනීමට හැකිය. කෙසේ වුවත් එම ඊශ්‍රායල් ප්‍රහාරයෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ උපදේශකවරු පස් දෙනෙක් මියගියහ. ඉරාන විදේශ ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලහියාන් ඊශ්‍රායලයට දොස් නඟමින් පවසා සිටියේ ඉරාන කොන්සල් කාර්යාලයට පහර දීම සියලු ජාත්‍යන්තර බැඳීම් සහ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවය. ඒ නිසා ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බවටත් මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් ඉරාන විප්ලවීය හමුදාව තරයේ කියා සිටියේය. මේ හේතුවෙන් ඉරානය ඊශ්‍රායලය වෙත කොයි මොහොතක හෝ ප්‍රහාරයක් දියත් කළ හැකි බවට ඇමෙරිකාව විසින් ඊශ්‍රායලයට අනතුරු අඟවා දින දෙකක් ගතවද්දීම ඉරානය විසින් ඊශ්‍රායලයට මෙම ප්‍රහාරය දියත් කොට තිබුණි. මේ සඳහා ඉරාකයේ සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් මෙන්ම යේමනයේ ඉරාන හිතවාදී සටන්කාමීන්ද ඔවුන්ගේ දායකත්වය ඉරානයට ලබාදී තිබුණි. නමුත් ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට පෙර තානාපති මට්ටමින් මේ පිළිබඳව බටහිර රටවලට දැනුම් දුන්නේය. මේ නිසා ඊශ්‍රායලයට සිය ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කොට මෙම ප්‍රහාර මාලාව සාර්ථක ලෙස ව්‍යාර්ථ කර ගැනීමට හැකියාව ලැබුණි. ඒ කෙසේ වුවත් මෙම ප්‍රහාරය ඊශ්‍රායලය බිහිවීමෙන් පසුව ඊශ්‍රායලයට බාහිරින් එල්ල වූ ප්‍රමාණයෙන් විශාලතම ප්‍රහාරය ලෙස හඳුනා ගැනීමට හැකිය. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසා සිටියේ ඇතැම් ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායල භූමියට පතිත වුවත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි. නමුත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල සුන්බුන් කඩා වැටීමෙන් සත් හැවිරිදි දැරියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල් ගිලන් රථ සේවා ප්‍රකාශ කර තිබේ.

ඉරානයෙන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙස ඇමෙරිකාවේ ධවල මන්දිරය, ප්‍රංශය සහ එක්සත් රාජධානියේ නායකයෝ ඊශ්‍රායලය වෙත දැනටමත් දැනුම් දී තිබේ. එසේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් මෙම යුද්ධය තවදුරටත් දරුණු තත්ත්වයකට පත් විය හැකි බව ප්‍රංශ ජනාධිපති පවසා ඇති අතර බි්‍රතාන්‍ය විදේශ ලේකම් හිටපු බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසන්නේ ඊශ්‍රාලය මේ අවස්ථාවේදී අවධානය ලබා දිය යුත්තේ ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳව මිස ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නොවන බවය. ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඒ සඳහා ඇමෙරිකාවේ සඳහා සහාය නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබේ. ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකාව අඛණ්ඩව සහය දෙන නමුත් ඉරානය සමග සටන් කිරීමට අවශ්‍ය නොවන බව ධවල මන්දිරයේ ස්ථාවරයයි. එවැනි ස්ථාවරයක් දැරීමට ඇමෙරිකාව තුළ බාහිර සහ අභ්‍යන්තර හේතු කිහිපයක්ම තිබේ. බාහිර හේතු වශයෙන් ගතහොත් මේ වන විට ඇමෙරිකාව විසින් යුක්‍රේනය සහ රුසියාව අතර ගැටුමට සහාය දක්වමින් සිටින බැවින් තවත් ගැටුමකට සහාය දැක්වීම මූල්‍යමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයකි. එසේම තවත් මාස හයකින් පමණ ඇමෙරිකාව තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බැවින් එවැනි ගැටුමක් සඳහා අවධානය ලබාදීම ඔවුන්ට මේ අවස්ථාවේදී අපහසු කාර්යයකි. යම් හෙයකින් ඊශ්‍රායලයේ ඒකමතික තීරණය මත ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් එය මහා පරිමාණ යුද්ධයක් බවට පත්වීම කිසිවකුටත් වළක්වාලීමට නොහැකි වනු ඇත. එය මැද පෙරදිග කලාපයේ යුද්ධයක් පමණක් නොව ගෝලීය වශයෙන් බලපාන්නා වූ අර්බුධයක් බවටද පත්වනු ඇත. නමුත් ඊශ්‍රායලය තමන්ට අභිමත පරිදි ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් කෙසේවත් සිදු කරන්නේ නැත. ඊශ්‍රායලය ඉතිහාසය පුරාවටම එවැනි ප්‍රහාර සඳහා යොමු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය, සහයෝගය සහ ආධාර ඇතිවය. ඊශ්‍රායලය කියන්නේම මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු වුවමනාවන් නියෝජනය කරන දේශපාලන ප්‍රභූත්වයකි. මේ නිසා ඇමෙරිකාව කිසිසේත්ම ඊශ්‍රායලය සමග තිබෙන සම්බන්ධතාවය නැති කර ගන්නේ නැත. එසේම ඊශ්‍රායලයද ඇමෙරිකාව සමග තිබෙන සම්බන්ධතාවය පලුදු කර ගන්නේ නැත. ඒ ඔවුන්ට ඇමෙරිකාවේ සහයෝගය නොමැතිව මෙම කලාපයේ පැවැත්මක් නොමැති වන බැවිනි. ඊශ්‍රායලයට මෙම ප්‍රහාරය එල්ල වී දින කිහිපයක් ගත වුවත් ඔවුන් තවමත් ඉරානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකරන්නේ මේ හේතු කාරණා නිසා විය යුතුය. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීමෙන් පළිගැනීම යන්න සමබර වීමක් සිදුවී ඇති බව දැකගත හැකිය. එබැවින් මෙම ගැටුම කෙටිකාලීනව යටපත් වීමට ඉඩ තිබේ. නමුත් මේ තුළින් එය දීර්ඝකාලීනව යටපත් වන බවක් පැවසිය නොහැක.

මෙම කරුණු කාරණා මෙසේ සිදු වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම ගැටුම් විසඳීම සඳහා විශාල වගකීමක් පැවරී තිබේ. මන්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන්නේම දෙවන ලෝක යුද්ධයෙන් පසු එවැනි යුද්ධයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීමටත්, ජාතීන් අතර සහජීවනය, සංවර්ධනය, සුරක්ෂිතතාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීමට සහ මග පෙන්වීම සඳහායි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වී මුල් දශකය තුළ ඔවුන් කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රශ්නවලදී සාධනීය වෙනසක් සිදු කළත් වර්තමානය වන විට එවැනි ගැටුම් වැළැක්වීමට ඔවුන්ට තිබූ බලය හීන වී ඇති බවක් පෙනී යයි. විශේෂයෙන්ම 60 දශකය සහ 80 දශකය වන විට බටහිර රටවල ලිබරල්වාදී සහ නව ලිබරල්වාදී ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රවල සිදු වූ වර්ධනයත් සමග ඇමෙරිකාව මුල් කරගත් බටහිර යුරෝපීය ගෝලීය උපරි රාජ්‍යයක් නිර්මාණය විය. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබූ බලය තරමක් ලගු වීමක් සිදුවී වර්තමානය වන විට මෙවැනි ගැටලු සඳහා මැදිහත්වීමට ඇති ශක්තිය අවලංගු කාසියක් බවට පත් වී තිබේ. ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෑම යෝජනාවක්ම පාහේ ප්‍රතික්ෂේප කරන රාජ්‍යයන් බවට පත්වී තිබෙන්නේද මේ නිසාය. ඊශ්‍රායලය විසින් අප්‍රේල් 1 දා ඉරානයේ ඩමස්කස් අගනුවරට පහරදීම සලකා බැලීමේදී ද ප්‍රකට වන්නේද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා කණ්ඩනය කිරීමකි. එසේ කිසිදු රටකට පහරදීමට කිසිවකුටත් අයිතියක් නැත.

2024 යනු ලෝකයේ මැතිවරණ 65ක් පමණ පැවැත්වෙන, කෝටි 400ක් පමණ ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණ වර්ෂයකි. මේ නිසා මෙම සෑම මැතිවරණයක් සමග මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. යම් හේතුවකින් ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වූ මෙම ගැටුම තවදුරටත් වර්ධනය වීමක් සිදු වුවහොත් ඉරානය වැනි රටකින් තෙල් ආනයනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවටද යම් යම් අර්බුදවලට මුහුණ දීමට සිදු වනු ඇත. ශ්‍රී ලංකාවේද මෙම වර්ෂයේ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නම් මැතිවරණයක් ආසන්න වන විට ආණ්ඩුව විසින් මහජනතාවට සහන ලබා දෙනු ලැබේ. යම් හෙයකින් මෙම ගැටුම් නිසා තෙල් මිල ඉහළ ගියහොත් එසේ සහන ලබා දීමට අපහසු වේ. නමුත් මැතිවරණය වෙනුවෙන් සහන සැලසීම අවශ්‍ය වන නිසා එම සහන ලබාදීමට නම් එහි බර පැන දරා ගැනීමට සිදුවන්නේ ආණ්ඩුවටය. ඊට අමතරව ඉරානය යනු ලංකාවෙන් තේ අපනයනය කරන ප්‍රමුඛ රටකි. එබැවින් මෙම ගැටුම් නිසා මෙරට අපනයන ක්ෂේත්‍රයටද අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ තිබේ. එසේම එම රටවලට විදෙස් සේවය සඳහා පිටත් වන පිරිසගේ අඩුවීමක්ද සිදුවිය හැකිය. තවද රතු මුහුද හරහා සිදුවන නාවික ගමනාගමනයන්ටද බාධා ඇති වනු ඇත. මේ නිසා ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම මෙම තත්ත්වයට එහා වර්ධනය වීමක් සිදුවුවහොත් එය මැදපෙරදිග කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන් බලපාන්නා වූ අර්බුදයක් ද වනවා නියතය.

වර්තමානය වන විට අප ජීවත් වන්නේ පරිවර්තන යුගයකය. පසුගිය අවුරුදු දෙසීයක තුන්සියයක කාලය තුළ යුරෝපය සහ විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය දරනු ලැබූ ලෝක ආර්ථික, දේශපාලනික සහ සංග්‍රාමික ආධිපත්‍ය අහිමි වෙමින් එය ආසියාවට මාරුවන යුගයකය. එය ආර්ථික වශයෙන් ගත් කල යුරෝපය සහ ඇමෙරිකාව අභිබවා වර්තමානය වන විට ඉන්දියාව, චීනය සහ රුසියාව ආර්ථික සංවර්ධනය ළඟා කර ගෙන තිබේ. අනෙක් අතින් නැතිවී යන ආධිපත්‍යය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට උත්සාහ දරන්නේ ආර්ථික හෝ දේශපාලනික වශයෙන් සංවර්ධනය වීමට නොව මිලිටරි වශයෙන් සන්නද්ධ වීමටයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ NATO සංවිධානයේ වාර්ෂික යුද වියදම ඇමෙරිකානු ඩොලර් ත්‍රිලියනයකට ආසන්නය. කෙසේ වුවත් මේ වන විට සනිටුහන් වෙමින් පවතින්නේ ඇමෙරිකානු යුගයේ අවසානයයි. අද තිබෙන දේශපාලන ප්‍රවණතාව සහ යථාර්ථයද එයයි. එය මැඬපැවැත්වීම සඳහා මුළු ධනවාදී ඉතිහාසය පුරාම තිබෙන විසඳුම වන්නේ යුද්ධයයි. මේ සිදුවෙමින් පවතින්නේ එම සිද්ධි දාමයේ එක් එක් සිදුවීම්ය.

● කෞෂාණි පල්ලියගුරු
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment