අත්තිකාරම් ලබාගත් අය අන්තිම මොහොතේ ඉවත්වෙලා
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට පෙර අවස්ථා 06කදී ඔහු මරා දැමීමට කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා කුලී ඝාතකයන් යොදවා සිටි බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම ඝාතන උත්සාහයන් 06ටම කුලී ඝාතකයන් 06 දෙනෙකු යොදවා සිට ඇතත් ඔවුන් අත්තිකාරම් මුදල් ද ලබාගෙන සංජීව ඝාතනය කිරීමේ සැලසුම්වලින් ඉවත්ව ගොස් තිබූ බවද අනාවරණය වී තිබේ.
මෙම ඝාතන උත්සාහයන් හයේම මෙහෙයුම්කාරිය, එහෙමත් නැත්නම් මහ මොළකාරිය ලෙස කටයුතු කර ඇත්තේ මේ වනතුරුත් අතුරුදන්ව ඇති ඉෂාරා සෙව්වන්දි නමැති තරුණිය බව ද හෙළිවී ඇත.
මෙම ඝාතන උත්සාහයන් හයම ව්‍යර්ථවීම නිසා කොමාන්ඩෝ සලිඳු යොදාගෙන කෙසේ හෝ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සිදුකරනා ලෙස ඉෂාරා සෙව්වන්දිට කෙහෙල්බද්දර පද්මේ ගෙන් උපදෙස් ලැබී තිබූ බවද විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.
ඒ අනුව ඇය කොමාන්ඩෝ සලිඳු සමග දින ගණනාවක්ම එකට ගතකර ඔහුට මෙම ඝාතන සැලසුමෙන් ඉවත්වී යෑමට ඉඩ නොදී කෙසේ හෝ ගණේමුල්ලේ සංජීව ඝාතනය සිදු කිරීමට ඉඩ සලස්වා ඇති බවද පොලිසිය පවසයි.
ගණේමුල්ලේ සංජීව ඝාතන උත්සාහයන් 06 ම සැලසුම් කර ඇත්තේ අලුත්කඩේ අධිකරණයට හෝ අත්තනගල්ල අධිකරණයට ඔහු රැගෙන එන අවස්ථාවන්වලදී ය. ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් සහිත සැලසුම් සියල්ල ඉෂාරා සෙව්වන්දි විසින් සැලසුම් කළ ද අවසන් මොහොතේ කුලී ඝාතකයන් අත්තිකාරම් මුදල් ද ලබාගෙන ඝාතන සැලසුමෙන් හොර රහසේම ඉවත්වී ඇත.
සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස හැඳින්වෙන ඉෂාරා සෙව්වන්දි පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතුරුත් පොලිසිය වෙත ලැබී නැත.
සංජීව ඝාතනයේ මෙරට සිටින සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මහමොළකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැත.
හේමන්ත රන්දුණු