සංවර්ධන නිලධාරිනියට පොහොට්ටුවේ මන්ත්‍රීගෙන්  හෙල්මට් පහරක් – මන්ත්‍රීවරයා සොයා පොලිස් පරීක්ෂණ

326

මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකට පහරදුන් සිද්ධියක් සම්බන්ධව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

සංවර්ධන නිලධාරිනියට පොහොට්ටුවේ මන්ත්‍රීගෙන්  හෙල්මට් පහරක් - මන්ත්‍රීවරයා සොයා පොලිස් පරීක්ෂණ

සංවර්ධන නිලධාරිනිය මීරිගම බාඳුරාගොඩ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ කිව් ආර් කේත අධීක්ෂණ කටයුතුවල රාජකාරියේ යෙදී සිටියදී ඉකුත් (12) පෙරවරුවේ ඉන්ධන ලබාගැනීමට එම ඉන්ධන පිරවුම් හලට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු යතුරු පැදියකින් පැමිණ ඇත. මන්ත්‍රීවරයා එහිදී කියා ඇත්තේ බැකෝ යන්ත්‍ර යකට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය බවයි. එහිදී අදාළ සංවර්ධන නිලධාරිනිය මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ කිව් ආර් කේතය යටතේ බැකෝ යන්ත්‍රවලට ඉන්ධන නිකුත් කිරීමට නොහැකි බවත් මේ පිළිබඳව මීරිගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය බවත්ය . එහිදී මන්ත්‍රීවරයා සහ සංවර්ධන නිලධාරිනිය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මන්ත්‍රීවරයා තම ආරක්ෂිත හිස්වසුමෙන් සංවර්ධන නිලධාරිනියට පහරදී ඇති අතර එය වැළැක්වීමට උත්සාහ ගත් තවත් සංවර්ධන නිලධාරිනියකගේ අතට එම හිස්වැසුම් ප්‍රහාරය වැදී ඇති බවත් පොලිසිය පවසයි. අදාළ පහරදීම ඉන්ධන පිරවුම් හලේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇත.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ඉන්ධන පිරවුම්හල්වල කිව් ආර් කේත පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වන බව සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දන සූරියාරච්චි මහතා ප්‍රකාශ කරයි.

පහරකෑමට ලක්වූ සංවර්ධනය නිලධාරීනිය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් සිදු කර ඇති අතර සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකාර මන්ත්‍රීවරයා මේ වනවිට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

වේයන්ගොඩ ඉන්දික තුෂාර, කල්එළිය චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment