ගලත දොළුව ගල්පිහිල්ල ප්‍රදේශවල අයටත් තුවාල කරලා
වැඩිවී ඇති රිළා ගහනයෙන් භව භෝග හානියට පත් වීමත් සමග එම සතුන්ගෙන් මිනිසුන්ට ද දැඩි ප්‍රහාරවලට ලක් වීමට සිදුව තිබේ. ගම්පොළ පොලිස් බල ප්‍රදේශයේ වැටකේදෙණිය ප්‍රදේශයේ සිව් හැවිරිදි දරුවෙක් රිළවුන්ගේ ප්‍රහාරයකට ලක්ව අතෙහි අස්ථිවලට හානි සිදුවීමෙන් ගම්පොළ දොළුව ආයුර්වේද රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම දරුවාගේ මව වන සුනේත්‍රා කුමාරි පවසන්නේ නිවසේ ළිඳෙන් දරුවා නහවා ඒ අසල ගලක දරුවා තබා තමා ද දිය නාමින් සිටියදී අසල සිටි රිළවුන් පැමිණ දරුවා සපා කෑමට උත්සාහ කිරීමේදී තමාගේ කෑ ගැසීමෙන් පසුව දරුවා එම ගලෙන් පහළට තල්ලු කර දැමූ බවයි. මෙයින් දරුවාගේ අතේ අස්ථි පැනීම නිසා දොළුව ආයුර්වේද රෝහලින් ප්‍රතිකාර ලබා දෙන බවත් වැටකේදෙණියේ සිට ගම්පොළට පැමිණීමට එක් ගමනක් සඳහා ත්‍රිරෝද රථයකට රුපියල් 3500ක් කුලී ගෙවිය යුතු බව ද ඇය පවසන්නීය.
එදිනෙදා කුලී වැඩ කරන තම පවුලේ අයට එවැනි මුදලක් සොයා ගැනීමට ද දුෂ්කර බව පවසන ඇය බෝවී ඇති මෙම විශාල රිළා රංචු ඉවත් කර දෙන ලෙස බලධාරීන්ගේන් ඉල්ලා සිටියි. මේ අතර ගම්පොළ අම්බලුවාව එකේ කණුව ප්‍රදේශයේ අයකු රෝහල්ගතව සිට මෝටර් රථයකින් යළි නිවසට පැමිණි අවස්ථාවේ ඔහුට ද රිළා ප්‍රහාරයක් එල්ල වී ඇත. අතෙහි තිබූ බෑගය රිළවකු විසින් උදුරා ගැනීමට උත්සාහ කරන අයුරු එම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබේ.
එම අය පවසන්නේ අතේ තිබූ බෑගයේ ආහාර තිබෙනවා යැයි සිතන රිළවා මේ ආකාරයට ප්‍රහාර එල්ල කර බෑග් උදුරා ගැනීමට උත්සාහ කරන බවයි. මේ ලෙස ගම්පොළ ගලත, දොළුව ගල්පිහිල්ල ආදී ප්‍රදේශවල සිටින ළමුන් හා කාන්තාවන් මෙවැනි රිළා ප්‍රහාරන්ට ලක්ව තුවාල ලබා ඇති බව ද ජනතාව පවසති.
ගම්පොළ -සුරංග දිල්හාන්