ලෝකයේ පළමු වන මෝටර් රථ අනතුර 1771 දී ප්‍රංශයේ පැරිස් නුවර දී සිදු විය. මේ කියන කාලයේ දී නිකොලස් ජෝෂප් කග්නොට් නමැති මහතෙක් වාෂ්පවලින් වැඩකරන මෝටර් රථයක් අත්හදා බලන්නට ගියේය. මෙය පාරේ ධාවනය වෙමින් තිබෙන අතර තාප්පයක හැප්පිණ. තාප්පයට හා මෝටර් රථයට තුවාල වූ නමුත් ඩ්‍රයිවර්ට තුවාල වුණේ නැත. මෙයින් අවුරුදු බොහෝ ගණනකට පසු 1869 අගෝස්තු 31 වැනිදා අයර්ලන්තයේ මහ පාරක වාෂ්ප එන්ජිමක් සහිත මෝටර් රථයක් ධාවනය විය. රථය ගමන් කරමින් තිබුණේ පැයට සැතපුම් 4 ක වේගයෙනි. මේ අතර රථය වංගුවක් ගැනීමට යෑමේ දී එහි සිටි මහත්මියක් මහ පාරට වීසි වූවාය. රථය රියැදුරාගේ පාලනයෙන් ගිලිහුණු අතර බිමට වැටුණු කාන්තාවගේ ඇඟ උඩින් එය ගමන් කළේය. මෙකල මෝටර් රථවල රෝද තනිකර යකඩවලින් සාදා තිබුණි. මේ යකඩ කඳන් තොගය කාන්තාවගේ ඇඟ උඩින් ගිය බැවින් ඇය තැළී පොඩිවී මිය ගියාය. ඒ දිනවල මෝටර් රථයක නීත්‍යනුකූල වේගය පැයට සැතපුම් 4 කි. මෙය පැයට සැතපුම් 16 දක්වා නැංවිය යුතු බවට බි්‍රතාන්‍ය රජය කල්පනා කරමින් සිටියේය. පෙර කී රිය අනතුර ආරංචි වූ සැණින් බි්‍රතාන්‍ය බලධාරීන් පැයට සැතපුම් 16 වේග සීමාව සිය කැමැත්තෙන්ම ඉවත් කර ගත් අතර තවත් බොහෝ කලක් යනතුරු පැයට සැතපුම් හතරේ වේග සීමාව ක්‍රියාත්මක විය.
අද වනවිට මහ පාරේ සිදුවන රිය අනතුරු ඉතා බහුලය. උදාහරණයක් වශයෙන් හැම අවුරුද්දකම ලෝකවාසී ජනගහනයෙන් මිලියන දෙකකට කිට්ටු ගණනක් රිය අනතුරුවලින් මියයති. ඒ අතර තවත් මිලියන විස්සත් පනහත් අතර පිරිසක් මෝටර් රථ අනතුරුවලින් තුවාල ලබති. මේ නිසා මහ පාරේ පරිස්සම නමැති මාතෘකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෙනමම සලකා බලාගෙන යනු ලැබේ. අපේ අසල්වැසි රට වන ඉන්දියාව මෝටර් රථ අනතුරු පිළිබඳ කප්ගැසූ රටකි. හැබැයි මේ කප්එක රිදී කුසලානයක් වන අතර තවත් වසර කිහිපයක් තුළදී එහි රන් කුසලානය අපට හිමිවනවා ඇත. මේ වනවිට හැම අවුරුද්දකම රිය අනතුරු තිස්අට දහසක් ලංකාවේ සිදුවෙයි. එමගින් මියයන පිරිස තුන්දහසකි. අටදහසකට පමණ බරපතළ තුවාල සිදුවෙයි. මෙය දකුණු ආසියාවේ රටක සිදුවන වැඩිම රිය අනතුරු ප්‍රමාණය බව දැනගන්නට තිබේ. ලංකාවේ තිබෙන පාරවල්වල මුළු දිග හා සසඳන කල මේ රටේ තිබෙන මෝටර් වාහන ප්‍රමාණය ඉතාම වැඩිය. අපේ රටේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයකි. රට තුළ සෙලියුලර් දුරකථන හාරකෝටියක් පමණ තිබේ. ඒ ආකාරයෙන් ලංකාවේ ජනගහනයට නොසැසඳෙන තරමට මෝටර් වාහන ප්‍රමාණයක් මෙහි ඇති බව අපගේ වැටහීම වේ. එහෙත් සෑම රටවැසියකුටම ප්‍රවාහන පහසුව තිබිය යුතුය. මෝටර් රථයක් අයිති කරගැනීම සෑම රටවැසියකුගේම මූලික අයිතියකි. මෙයට අවුරුදු පනහකට පෙර ගේකට ලයිට් තිබීම යනු සුඛෝපභෝගී පහසුකමක් තිබීමකි. මෙයට අවුරුදු පනහකට පෙර ගෙදරක ෆ්‍රිජ් එකක් තිබීම සුඛෝපභෝගී පහසුකමකි. මෙයට අවුරුදු 30 කට පෙර ගෙදරක වොෂින් මැෂින් එකක් තිබීම අධිසුඛෝපභෝගී පහසුකමකි. එහෙත් අද වන විට මේ පහසුකම් සුඛෝපභෝගී පහසුකම් ලෙස තවදුරටත් ගණන් ගනු නොලැබේ. චීනයේ ක්ෂින්ගුවා පුවත් සේවය නිවේදනය කරන පරිදි 2020 සිට 2024 දක්වා වූ පස් අවුරුද්ද තුළ ලංකාවාසී 12,140 ක් රිය අනතුරුවලින් මියගියහ. මේ කාලය තුළ රිය අනතුරු එක්ලක්‍ෂ දාහත්දහස් නවසිය හැත්තෑවක් සිදුවී තිබේ. ඒවායින් එකොළොස් දහස් පන්සිය අසූ එකක්ම මාරාන්තිකය. ලංකාවේ රිය අනතුරු පිළිබඳ කතන්දරය එක දිගට අවුරුද්දක් තිස්සේ කියා තවදුරටත් හැමදාමත් කීමට පුළුවන. එයට හේතුව හැම දවසකම කොහේ හෝ තැනක රිය අනතුරු ගණනාවක් සිදුවීමය. පසුගිය දිනක රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයට පෙරළුණු බස් රථය මේ වනවිට ගොඩගෙන කොත්මලේ පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. මේ බස් එක පෙරළුණු පසු දෙපළු විය. එනම් බස් එකේ උඩ කොටස වෙනමත්, යට කොටස වෙනමත් වෙන් විය. මේ අනතුර නිසා 22 ක් ජීවිතක්‍ෂයට පත් වූහ. ඇතැම් දූ දරුවෝ අනතුර නිසා සිය මවුපියන් මියයෑමෙන් අනාථ වූහ. බස් රථය පෙරළුණු ප්‍රපාතය අඩි 100 ක් ගැඹුරුය. බස් රථය පෙරළීමට හේතුව කුමක් ද යන්න තවමත් සොයාගෙන නැත. එම අනතුර සිදු වීමට ආසන්නම හේතුව දත් බස් රියැදුරා අනතුරින් මියගියේය. බස් රථයක් අනතුරට ලක්වීමට හේතු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න අපරීක්‍ෂාකාරී ලෙස ධාවනය කිරීමයි. අධික වේගය, අනෙක් වාහනවලට වෙට්ටු දැමීම, ප්‍රයිවට් බස් අතර තිබෙන මහ පාරේ තරගය යනාදිය අපරීක්‍ෂාකාරී ධාවනයට අයත් ය. සමහර විට රියැදුරා කුඩු ගසා හෝ කසිප්පු ගසා බස් ධාවනය කරන අවස්ථා තිබේ. එවිට ද රිය අනතුරු සිදුවෙයි. ඊළඟ කාරණය වන්නේ මෝටර් වාහනයක හට ගත හැකි යාන්ත්‍රික දෝෂයි. උදාහරණයක් වශයෙන් සමහර බස්වල ජියර් හරියට වැටෙන්නේ නැත. බ්‍රේක් වැඩ කරන්නේ නැත. මෙවැනි කාරණා නිසා ඕනෑම ප්‍රපාතයක් එවැනි වාහන පිළිගැනීමට ආසාවෙන් බලා සිටී. මෙයට මාස කිහිපයකට පෙර වන්දනා නඩයක් පටවාගෙන ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළුණේය. එහිදී ද තිහකට ආසන්න පිරිසක් මිය ගියහ. මෝටර් රථ අනතුරක දී මෙන් නොව බස් අනතුරක දී සිදුවන හානිය ඉතා වැඩිය. එයට හේතුව බසය තුළ විශාල පිරිසක් සිටීමය.
ලංකාවේ කඳුකර පළාත්වල ඇතැම් මාර්ග ඉතා පටුය. චීනය සහ පාකිස්තානය අතර තිබෙන කරකෝරම් දුර්ග මාර්ගය හා සමාන ලංකාවේ ඇතැම් මාර්ගවල බස් දෙකකට තබා බස් එකකට සහ ත්‍රීවීලරයකටවත් මාරුවීමට ඉඩ නැත. මෙවැනි වෙලාවක දී අපරීක්‍ෂාකාරීව ක්‍රියාත්මක වුණොත් බස් එක හෝ ත්‍රීවීලරය යන දෙකෙන් එකක් ප්‍රපාතයට පෙරළේ. කරකෝරම් දුර්ග මාර්ගය යනු ඉපැරණි සේද මාවතේ කොටසකි. මේ දුර්ග මාර්ගයේ වාහන දෙකක් එකිනෙකට මුහුණලා මුණගැසුණොත් එක වාහනයක් කිලෝ මීටර් විසිපහ තිහ රිවස් කළ යුතුය. එසේ බොහෝ දුර රිවස් කළ පසු රථ දෙකට මාරු විය හැකි ඉඩකඩක් ලැබේ. මෙවැනි මාර්ග දහස් ගණනක් ලංකාවේ තිබේ. දහඅට වංගුවේ පවා බස් දෙකක් මාරුවීම අන්තරාදායකය. ලංකාවේ ප්‍රපාත ඇති මාර්ග ගණනාවක ආරක්‍ෂිත වැටවල් සවිකර නැත. සාමාන්‍යයෙන් සෙනඟ පටවාගත් බස් රියක් මෙවැනි ආරක්‍ෂක වැටක ගැටුණත් සමාවක් නැත. බසය වැටත් කඩාගෙනම ප්‍රපාතයට පෙරළේ. ලංකාවේ මහ පාරවල කිසිදු විනයක් නොතිබීම ලොකු ප්‍රශ්නයකි. කට්ටියක් ගමන් යන අතර කට්ටියක් රේස් යති. තවත් කට්ටියක් මෝටර් සයිකල්වල නැඟී සර්කස් පෙන්වති. මේ තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ආණ්ඩුව නොගත්තොත් මතුයම් දිනයක දී මේ රටේ මහ පාරවල් ලේ ගංගාවල් බවට පත්වීම වැළැක්වීමට නොහැක.
ගැරඬිඇල්ල අසල ප්‍රපාතයට පෙරළුණු බස් රථයේ සිටි මඟීන් අතුරෙන් මියගිය අය වෙනුවෙන් ලක්‍ෂ දහය බැගින් ගෙවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. බස් රථය සී.ටී.බී. බස් එකක් නිසා එහි මියගිය රියැදුරාගේ පවුලට යුක්තිය ඉටු නොවීම හෝ ඉටුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. ඒ ගැනත් කල්පනා කරන ලෙස ප්‍රවාහන ඇමැතිගෙන් ඉල්ලමු.