ගිනස් පොතට ගිය කොස්පොත රොසලින් නෝනා අසරණයි

77

දරුවන් 20යි: මුණුපුරු මිණිබිරියන් 460යි

දරුවන් 20ක් හා මුණුපුරු මිණිපිරියන් 460ක් බිහිකර ගිනස් වාර්තාවකට හිමිකම් කියන කොස්පොත එස්. ඒ. රොසලින් නෝනා (86) කිසිවකුගේ හව්හරණක් නොමැතිව අන්ත අසරණ වී සිටී.

අපේ රටේ දැන් පවුල් බහුතරයක දරුවන් සංඛ්‍යාව දෙතුන් දෙනකුට සීමාවී ඇති බව නොරහසකි. එවන් පසුබිමක් තුළ මෙවැනි දරු සංඛ්‍යාවක් බිහිකිරීමට දායක වූ මවක් අසරණව කල්ගත කිරීම කනගාටුවට කරුණකි. මේ පිළිබඳව ඇයව රැකබලා ගන්නා ඇගේ හයවැනි දියණිය වන ජී. අනුලාවතී (55) පැවසුවේ,

“මගේ පියා මීට අවුරුදු තුනහමාරකට පමණ පෙර මියගියා. මගේ මවට දැන් වයස අවුරුදු 86යි. ඇය මාත් සමඟ දරුවන් 20ක් බිහිකර තිබෙනවා. ඔවුන්ට දරු දැරියන් 460ක් පමණ ඉන්නවා. ඔවුන් ලංකාවේ විවිධ පළාත්වල ජීවත් වෙනවා. මගේ මව අධික රුධිර පීඩනයෙන් හා දියවැඩියාවෙන් පෙළෙනවා. එම රෝගවලට ප්‍රතිකාර ලබාදීමට මුදල් සොයා ගන්නේ බොහොම අමාරුවෙන්. මගේ සහෝදරයෙක් හමුදාවේ ඉන්නවා. ඔහුගේ වැටුපෙන් මාසිකව රුපියල් 750/=ක් ඇයට ලැබෙනවා. ඒක ඇගේ බේත් ගන්න යන ත්‍රිරෝදයටවත් මදි.

සමෘද්ධිය ඇතුලු රජයෙන් දෙන කිසිම දීමනාවක් ඇයට ලැබෙන්නේ නෑ. අපට වෙන ආදායම් මාර්ගයක් ඇත්තේ නෑ. පවුලේ අනිත් අයටත් අපිට උදව් කිරීමට හැකියාවක් නෑ. මගේ දුව කරන සුලු රැකියාවෙන් ලැබෙන සුළු මුදලින් තමයි ජීවත් වෙන්නේ. මෙවන් දරු පිරිසක් බිහිකර අසරණව සිටින මගේ මව සිටිනා තත්ත්වය තේරුම් ගෙන රජය හෝ යම් පිංවතෙක් අධාර උපකාර කළොත් එය ලොකු පිනක්” යැයි ඇය පැවසුවාය. ඇගේ දුරකථන අංකය 076-7649745 ය.

ගලේවෙල විශේෂ


advertistmentadvertistment