2022/2023 මහ කන්නයේදී ගොවීන් 31,008කට අයත් බැංකු ගිණුම් අක්‍රීය වීම නිසා රුපියල් දහඅටකෝටි, එකොළොස්ලක්ෂ, නමදහස් අටසිය අනූ දෙකක (181,109,892) සහනාධාර මුදල් ගොවීන්ට ගෙවීමට නොහැකි වෙලා

සහනාධාර පොහොර ආනයනය කිරීම වෙනුවෙන් ආනයනික පොහොර පිරිවැයට අමතරව කෝටි 1627 අමතර ණය පොලී වශයෙන් ගෙවලා

2016 වසරේ සිට 2023 දක්වා කාලසීමාව තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය ලබාදීමට විවිධ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක් වුවත් ප්‍රතිලාභ නියමිත කාලසීමාව තුළ ගොවීන්ට ලබාදීමට නොහැකි වෙලා

මහ මැතිවරණ උණුසුමත් සමග සහනාධාර පොහොර මාතෘකාව යළිත් වතාවක් කරලියට පැමිණ තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග මෙරට ගොවි ජනතාවට සිදුවූ අලකලංචි ගැන අමුතුවෙන් කිවයුතු නැත. චීන අශූචි පොහොර නෞකාවේ දූෂිත ගනුදෙනුව, නෑනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුවී ඇති වංචා හා දූෂණ, මෙන්ම කාබනික පොහොර මිලදී ගැනීමේදී සිදුවී ඇති වංචා පිළිබඳ අප පසුගිය කාලයේදී අනාවරණය කළෙමු. එම නිසා එකී වංචා හා දූෂණ ගැන යළි යළිත් සටහන් කළ යුතු නැත. එකී දූෂණ හා වංචාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නව රජයේ වගකීමකි.

ඒ කොයිහැටි වුවද පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට පැවති රජය විසින් මෙරට ගොවි ජනතාව කෙරෙහි ඇතිවූ අනුකම්පාව සහ කරුණාව හේතුවෙන් එළඹෙන මහ කන්නයේ සිට (2024/2025) හෙක්ටයාර් එකකට රසායනික පොහොර සඳහා රුපියල් 15000ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කොට තිබුණි. හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මෙකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය අගෝස්තු මාසයේදී ඉදිරිපත් කොට තිබුණි. ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග එවකට පැවති රජයට ගොවීන් ගැන මහා කරුණාවක් අනුකම්පාවක් ඇතිව තිබුණි. මෙකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සතියක්වත් ගතවූයේ නැත.

එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි, සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස හෙක්ටයාර් එකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව එවකට පැවති රජයේ හිටපු ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අගෝස්තු මස 27 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය. ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15000ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සංශෝධනය කරමින් පොහොර සහනාධාරය මෙලෙස හෙක්ටයාරයකට රුපියල් 25,000 ක් දක්වා වැඩි කර තිබුණි.

ඒ සමග සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගොවීන්ට කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 5000ක මුදලකට ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. මැතිවරණ කාලයේ දී මෙරට ගොවි ජනතාවට ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් විවිධ පොරොන්දු ලබාදෙනු ලැබීය. කෙසේ වුවද ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔක්තෝබර් මස 01 වැනිදා සිට හෙක්ටයාර් එකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාර මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදුන්නේය. පොහොර සහනාධාර මුදල වැඩිකිරීම සම්බන්ධයෙන් ගොවි නායකයන් ද රජය වෙත සිය ප්‍රසාදය පලකරනු ලැබීය.

එහෙත් ජනාධිපතිවරයාගේ එම තීරණයට මැතිවරණ කොමිෂන් සභාව හරස් විය. මහ මැතිවරණයෙන් පසු වැඩිකළ පොහොර සහනාධාර මුදල ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම්දෙනු ලැබීය. මැතිවරණ කොමිෂන් සභාවේ මෙකී තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන් විසින් විවිධ මත පලකරති. හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් එහි නිලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. වැඩි කළ පොහොර සහනාධාර මුදල් ගොවීන්ට ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු ඇමැතිවරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ගොවි ජනතාවද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ වැඩි කළ පොහොර සහනාධාර මුදල ලබාදීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙසය. 2024/2025 මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිටත් ආරම්භකොට තිබේ. මහ මැතිවරණය අවසන් වනතෙක් ගොවීන්ට සිය කුඹුරු වගාවන් සඳහා පොහොර යෙදීමට බලාසිටිය නොහැක. වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා නියමිත කාලයට පොහොර යෙදිය යුතුය. මැතිවරණ කොමිෂන් සභාවේ මෙම තීන්දුවත් සමග මෙරට ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ජාතියට බත සපයන ගොවියා පසුගිය රජය මගින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දු තීරණ නිසා නොයෙකුත් දුක්ගැහටවලට ලක්විය. මහ පොළව සමග ඔට්ටුවෙමින් දහසකුත් වූ දුක්ඛ දෝමනස්සනයන්ට මුහුණ දෙමින් කටයුතු කරන මෙරට ගොවීන්ට පාලකයන්ගෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. පාලකයන්ට ගොවීන් මතක් වෙන්නේ මැතිවරණ කාලයේ දී පමණි. ගොවීන්ගේ වී අස්වැන්නට නිසි මිලක් නැත. කෘෂි යෙදවුම්වල මිල අහස උසට නැග තිබේ. කොටින්ම කිවහොත් ගොවියා මේ වනවිට කබලෙන් ලිපට වැටී ඇත.

ඒ විතරක් නොව බලයට පත්වූ විවිධ රජයන් විසින් 2016 වසරේ සිට 2023 දක්වා කාලසීමාව තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය ලබාදීමට විවිධ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් එකී සහනාධාර වැඩසටහන් සඳහා නිශ්චිත ක්‍රමවේදයක් භාවිතා නොකිරීම නිසා අදාළ දත්ත වැඩසටහනින් වැඩසටහනට ගොවීන්ගෙන් ලබා ගැනීමට සිදුවිය. මේ නිසා ප්‍රතිලාභ නියමිත කාලසීමාව තුළ ගොවීන්ට ලබාදීමට නොහැකිවිය. මේ නිසා ගොවීන් මෙන්ම නිලධාරීන්ද ගැටලු රැසකට ලක්විය.

කෙසේ වුවද නව රජය මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නිසි තැනැක් ලැබෙනු ඇති බවට මෙරට ගොවි ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.

වැඩිකළ පොහොර සහනාධාර මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති උපදේශකයකු මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියන්නේ මෙවැනි කතාවකි.

මෙම පොහොර සහනාධාර ලබාදීමට තීරණය කරනු ලැබූවේ 2024 අගෝස්තු මස එවකට පැවති කැබිනට් මණ්ඩලය විසින්. එය මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය හේතුවෙන් නවතා දමන ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාව වෙත නොමැති බලයක් ආරෝපනය කරගනිමින් සිදු කළ එම ක්‍රියාව හේතුවෙන් මේ වන විටත් රටට දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුවී තියෙනවා. වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ද රාජ්‍ය මුදල් රුපියල් බිලියන 20 ක් වැය වන, විශේෂඥයන් ගේ නිර්දේශ මත ගත් ප්‍රතිපත්ති තීරණය ක්‍රියාත්මක කිරීමට පසුගිය දා උපදෙස් දී තියෙනවා. එය ප්‍රශස්ථ හා නිවැරදි තීරණයක්.. මැතිවරණ කොමිෂන් සභාව එම තීරණය ද, වළක්වන්නේ නම් එය ද, රටේ ආර්ථිකයට හා කෘෂිකර්මාන්තයට දැවැන්ත විනාශයක් සිදු කරනු ලබනවා.

ඒ විතරක් නෙවෙයි, මෙම පොහොර සහනය දේශීය හා ජාත්‍යන්තර බැඳීම් රැසක් සමග ගැටගැසී තියෙනවා. පොහොර මිලදී ගෙන බෙදා හැරීම වෙනුවට, මුදල් බැංකු ගිණුම වෙත යොමු කිරීමට සිදු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනයන් හි දූෂණ විරෝධී නිර්ණායක මත පදනම් වෙමින්. තවද, වගා කන්නය අවසන් වීමෙන් පසුව මෙම සහන ලබාදීම නිරර්ථක ක්‍රියාවක් මේ සියල්ලටම වඩා නොමිලේ බෙදාදීමට තීරණය කරනු ලැබූ MOPපොහොර තොගය සම්බන්ධයෙන් තත්ත්වය අතිශයින්ම සංකීර්ණයි. මෙම පොහොර තොගය 2024 දෙසැම්බර් මස 31 දිනෙන් කල් ඉකුත් වෙනවා. එම නිසා මැතිවරණ සමයක දී වුවත් මෙම පොහොර කල් ඉකුත්වීමට පෙර වගාව සඳහා යොදා අස්වනු සරු කර ගත යුතුව තියෙනවා.

රටට ගෙන්වා ඇති එම්.ඕ.පී. පොහොර තොගය මෙ. ටො. 41,714 කි. එයින් පොහොර මෙ. ටො. 22,889 ක් මෙම ගැටලුව විසඳීම සඳහා මම මැදිහත් වන විට ඉතිරිවී තිබුණා. පොහොර සහනාධාරය ලබාදීම දේශපාලන තීන්දුවක් නොවේ ජාතික අවශ්‍යතාව මත ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව මේ සඳහා දායක වූ සියලු රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දරනු ඇති.

යම් හෙයකින් පොහොර සහනාධාරය ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමේ තීරණයක මැතිවරණ කොමිෂන් සභාව රැඳී සිටින්නේ නම් ඉදිරි කන්නයේ රට තුළ සහල් හිඟයක් ඇති වුවහොත් එයට මැතිවරණ කොමිෂන් සභාව සාමූහිකව ද, කොමිෂන් සභාවේ සාමාජිකයන් තනි තනිවම ද වගකිව යුතු බව අවධාරණය කරනවා’ යැයි කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේය.

ඒ කොයිහැටි වුවද මහ බැංකුව විසින් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ නිකුත්කොට ඇති වාර්තාවට අනුව මෙම වර්ෂයේ මුල් මාස හතරක කාලය තුළදී පොහොර ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 23.9කි. එම කාලය තුළදී පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 12,452කි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය ප්‍රතිසාදන හදිසි ආධාර ව්‍යාපෘතිය මගින් වී ගොවීන් සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබුණි. පොහොර සහනාධාරය සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් ලෙස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හරහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබුණි. මෙකී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති පරිපාලන අත්පොතෙහි සඳහන් කොට ඇත්තේ 2022/2023 මහ කන්නයේදී ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා හෙක්ටයාර එකකට රුපියල් 20,000 වන පරිදි එක් ගොවියෙකුට උපරිමය හෙක්ටයාර් දෙකක් සඳහා බිම් සකස් කිරීමට පෙර සහ පැළ සිටුවීමෙන් පසු වාරික දෙකකදී මූල්‍ය සහනාධාරය ලබාදෙන බවය. එහෙත් 2022/2023 මහ කන්නයේදී මෙරට ගොවීන් සඳහා ලබාදී තිබුණේ හෙක්ටයාරයකට රුපියල් දසදහසක මූල්‍ය සහනාධාරයකි.

2022/2023 මහ කන්නය සඳහා වී වගා කළ ගොවීන්ට මුදල් සහනාධාර ලබාදීම සඳහා 2022 දෙසැම්බර් මස 23 වැනි දින සිට 2023 ජනවාරි මස 05 දක්වා කාලය තුළ මෙකී ව්‍යාපෘතිය මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබූ අදාළ ගිණුමට රුපියල් බිලියන 08ක මුදලක් බැරකොට තිබුණි. මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාල මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් ඉදිරිපත් කොට තිබූ ව්‍යාපෘති මාර්ගෝපදේශ අනුව උපරිම පලදාවක් සහිත කලාපවල වී වගා කළ ගොවීන් හයලක්ෂයකට පමණ සහනාධාර ලබාදීමට අපේක්ෂාකොට තිබුණි. එහෙත් 2022/2023 මහ කන්නයේ වී වගාකරනු ලැබූ ගොවීන් 1,176,633 දෙනකු පොහොර සහනාධාරය ඉල්ලුම්කොට තිබුණි. ඒ අනුව අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා ගොවීන් 576,633 දෙනකු පොහොර සහනාධාරය ඉල්ලුම් කොට තිබුණි. සහනාධාර ඉල්ලුම්කොට තිබූ ගොවීන්ගෙන් 1,039,961ක් දෙනකු සඳහා හත්සිය හතළිස් දෙකෝටි, හතළිස්ලක්ෂ, හැටදෙදහස් නමසිය විසිඅටක මුදලක් (7,424,062,928) මුදලක් ගෙවා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට තිබුණි.

එහෙත් ගොවීන්ට මූල්‍ය සහනාධාර ගෙවීම සම්බන්ධයෙන් ව්‍යාපෘති කාර්යාලය මගින් ලබාගත් තොරතුරුවලට අනුව මාස තුනක කාලසීමාව තුළ පොහොර සහනාධාර මුදල් ගෙවා තිබුණේ ඉල්ලුම් කළ ගොවීන්ගෙන් 959,689 දෙනකු සඳහා පමණි. ගොවීන්ගේ ගිණුම්වලට බැර කළ මුදල රුපියල් 6,960,116,936කි. ඒ අනුව පොහොර සහනාධාරය හිමිව තිබුණේ අයැදුම් කළ සමස්ත ගොවීන්ගෙන් සියයට 81 දෙනකු සඳහා පමණි. ගොවීන්ගේ බැංකු ගිණුම් අක්‍රීය වීම මේ සඳහා හේතුවී තිබුණි. බැංකු ගිණුම් යාවත්කාලීන කිරීමෙන් පසු පොහොර සහනාධාර මුදල් ගෙවා තිබුණි. කෙසේ වුවද ව්‍යාපෘති කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවලට අනුව ගොවීන් 31,008කට අයත් බැංකු ගිණුම් අක්‍රීය වී තිබුණි. මේ නිසා රුපියල් දහඅටකෝටි, එකොළොස්ලක්ෂ, නමදහස් අටසිය අනූ දෙකක (181,109,892) සහනාධාර මුදල් ගොවීන්ට ගෙවීමට නොහැකිවී තිබුණි.

ගොවීන්ට 2022/2023 මහ කන්නයේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාර ලබාදීම සහ වගාකටයුතුවලට බලපෑ හිතකර සාධක නිසා වී වගා කළ බිම් ප්‍රමාණය 2021/2020 මහ කන්නයට සාපේක්ෂව සියයට 11කින් වර්ධනය විය. මේ නිසා වී වගාවේ පලදායිතාවය ඉහළ නංවා ගැනීම සඳහා පොහොර සහනාධාර වැඩසටහන නියමිත කාලය තුළ ක්‍රියාත්මක කළ යුතුය. මැතිවරණය නිසා පොහොර සහනාධාර මුදල ලබාදීම නතර කළ යුතු නොවේ.

ඒ විතරක් නොව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණ දුර්වලතා හේතුවෙන් සහනාධාර පොහොර ආනයනය කිරීම වෙනුවෙන් ආනයනික පොහොර පිරිවැයට අමතරව රුපියල්, එක්දහස් හයසිය විසිහත්කෝටි, අනූහයලක්ෂ, පනස්දෙදහස්, අටසිය පනස් හතක (16,279,652,857) මුදලක් 2023 වර්ෂයේදී අමතර ණය පොලී වශයෙන් වැයවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන්ව තිබුණි.

සහනාධාර පොහොර ආනයනය කිරීමේදී දැරිය යුතු මුදල් කෙටි කාලීන බැංකු ණය මගින් සැපයුම්කරුවන්ට ගෙවීම් කර එම ණය නියමිත කාලය තුළ නොපියවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ හේතුවෙන් මෙකී ණය මුදල දිගුකාලීන ණයවලට පරිවර්තනය වීම හේතුවෙන් ආනයනික පොහොර පිරිවැයට අමතරව විශාල පිරිවැයක් ණය පොලී වශයෙන් දැරීමට සිදුවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වර්ෂයේ (2023) පොහොර සඳහා වන ප්‍රතිපාදන යටතේ සීමාසහිත ලංකා පොහොර සමාගම ලබාගත් ණය වෙනුවෙන් දරා ඇති අමතර පොලී වියදම රුපියල් නමසිය අසූකෝටි, හතළිස්ලක්ෂ, අසූහයදහස් එකසිය දාහතරකි. (9,804,086,114) එමෙන්ම කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ලබාගත් ණය වෙනුවෙන් ගෙවා ඇති අමතර පොලී වියදම රුපියල් හයසියහතළිස්හත්කෝටි, පනස්පන් ලක්ෂ, හැටහය දහස්, හත්සිය හතළිස් තුනකි. (6,475,566,743) එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක යටතේ රුපියල් තුන්සිය හැත්තෑදෙකෝටි, තිස්ලක්ෂ, හෑත්තෑදෙදහස්, අටසිය පනස්නමයක (3,723,072,859) උපචිත පොලී වටිනාකමක් දිගුකාලීන ණයට පරිවර්තනය කිරීමේදී ඒ තුළට ඇතුළත් කර තිබුණි. ඒ හේතුවෙන් පොලිය මත පොලිසියක් ගෙවමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සහනාධාර පොහොර ආනයනය අධීක්ෂණය සහ ඒ වෙනුවෙන් දැරිය යුතු මුදල් නිසි වෙලාවට මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර පියවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ රාජ්‍ය පොහොර සමාගම් විසින් කල්පිරුණු ණයවර ලිපි සඳහා මහජන බැංකුව වෙත ගෙවිය යුතු වටිනාකම කාලීන ණය මුදල් බවට පත්කිරීම යන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍යයට සදහන් කොට තිබුණේ පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබාදෙනවාට විරෝධයක් නොමැති බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දුන් බවය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව කරුණු දැක්වූ බවය. මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කොට තිබුණි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment