මාස්ටර්ස් ලීග් තරගාවලිය
ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියේ සුවිශේෂ තරගයක් ඊයේ පැවැති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලැබීය.
ඉන්දියාවේ මුම්බායිහිදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම අතර පැවැත්වූ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් නායක කුමාර සංගක්කාර තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20ක් තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 180ක් ලබාගත්හ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හෂීම් අම්ලා සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර අම්ලා ලකුණු 76ක් ලබාගත්තේය. තවද ඩේන් විලාස් නොදැවී ලකුණු 28ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන සහ චතුරංග කඩුලු 02 බැගින් ලබාගත්හ.
ලකුණු 181ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මුල සිටම ජයග්‍රාහි ඉනිමක් ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ චින්තක ජයසිංහ දකුණු අප්‍රිකානුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමිනි. චින්තක පන්දු 25ක් තුළ නොදැවී ලකුණු 51ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් කරා රැගෙන ගියේය.
චින්තකගේ පිතිහරඹයට නොදෙවැනි පිතිහරඹයක නියැළුණු අසේල ගුණරත්න ලකුණු 59ක් ලබාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 2ක් තුළදී සිය ජයග්‍රහණය සනිටුහන් කළේය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වෙයි.
සුසිල් ජයකොඩි