සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අපේ රටේ බොහෝ දෙනා යළි වැඩ පටන් ගත්තේ පසුගිය සතියේ ආරම්භයේ ය. මේ රටේ දේශපාලනඥයෝ ද එසේ ය. සිංහල අලුත් අවුරුදු සමය තම තමන්ගේ ගම් බිම්වලට වී ඥාතීන් හා හිතමිත්‍රාදීන් මෙන්ම ආධාරකරුවන් සමග ගෙවා දැමූ දේශපාලනඥයෝ යළි වැඩ පටන් ගන්නට වූයේ පසුගිය සතියේ ආරම්භයත් සමගයි.

පසුගිය සතියේ දේශපාලන කරළියේ කියුම් කෙරුම් කිසිවක් නොතිබුණත් දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් අවුරුදු උත්සවවල හා විවිධ හමුවීම්වලදී දැකගත හැකි වූහ. එම සහභාගිත්වය සම්බන්ධයෙන් නම් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කියා වෙනසක් නොවූහ. දේශපාලන කරලියේ සෑම පක්ෂයකටම මේ දිනවල මහජනයා සහභාගි වන උත්සව හා ස්ථානවලට වැඩි වැඩියෙන් සම්බන්ධ වන්නට අවශ්‍ය වූයේ මුළුමහත් රටටම බලපානා පරිදිම පළාත් පාලන ඡන්දයක් ළඟ ළඟම පැමිණෙමින් තිබෙන නිසාය. ඒ නිසාමදෝ දේශපාලනඥයෝ මේ දිනවලත් වෙනදාට වැඩියෙන් මහජනතාව සමග වඩාත් සුහදය…

දළදා වඳින්න බැතිමත්හු රජයට පින්දිදී නුවර එති…

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම පරිදි මෙවර දළදා වන්දනාව හා ප්‍රදර්ශනය සංවිධානය වූ නිසා සංවිධාන කටයුතුවල වැඩි වගකීමක් රජය භාරගත්හ. එබැවින් දළදා මාලිගාවට හා මල්වතු අස්ගිරි උභය විහාරවලට එමගින් ලොකු පහසුවක් වූහ. එම ආයතනික ව්‍යුහයන්ට භාර වූයේ දළදා මාලිගාවේ අභ්‍යන්තර සංවිධාන කටයුතු පවත්වාගෙන යෑමය. ඉන් පරිබාහිර වූ බැතිමතුන්ගේ සනීපාරක්ෂාව, යටිතල පහසුකම්, ආහාර පාන හා ආරක්ෂාව පිළිබඳ වගකීම රජය හා මහනුවර නගර සභාව භාරගෙන තිබීම විශේෂත්වයකි. පුද්ගලික අංශයේ මහා පරිමාණ ව්‍යාපාරික ආයතන හා වාණිජ ආයතනවල සහයෝගය හා අනුග්‍රාහකත්වයද ඒ සඳහා නොඅඩුව ලැබී තිබීම නිසා එම වගකීම් පවත්වාගෙන යෑම රජයට හා නගර සභාවකට ද ලොකු පහසුවක් වූහ.

ආරම්භයේදී දළදා වන්දනාව සඳහා බැතිමතුන්ගේ සහභාගිත්වය සතුටුදායක විය. එහෙත් දින දෙක තුනක් ගත වන විට සහභාගිත්වය එන්න එන්නම වැඩි වන්නට වූයේ රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනවලින් හා රජයට හිතවත් සමාජ මාධ්‍ය ජාලයන්ගෙන් දළදා වන්දනාව ලැබුණු අති උත්කර්ෂවත් ප්‍රචාරය හා ප්‍රසිද්ධිය නිසාය. සිංහල අලුත් අවුරුදුවලින් පසු කාලගුණික තත්ත්වයද තරමක් අයහපත් පැත්තට හැරී ගියේය. සිංහල බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය දිනෙන් දින මහා පරිමාණයෙන් ඉහළ යන්නට පටන් ගත්තේය. අවසානයේ දළදා වන්දනාව සඳහා මහනුවරට ඒකරාශී වන්නට වූ මහා ජනසන්නිපාතය මහනුවර නාගරිකයට දරාගත නොහැකි එකක් බවට පත්විය. වඩාත් ප්‍රශ්නකාරී වූයේ බැතිමතුන්ට සනීපාරක්ෂක හා යටිතල පහසුකම් මෙන්ම ආහාර පාන සැපයීම අපේක්ෂා නොකළ අන්දමේ බැරෑරුම් කාර්යයක් බවට පත්වූ නිසාය. ජනතාව පෝලිම් ගැසී දළදා වන්දනාව සඳහා පැමිණෙන මාර්ගයේ හා රාත්‍රියේ නවාතැන් ගන්නා ස්ථානවල පිරිසිදු කිරීම් හා කුණු කසළ ඉවත් කිරීම නගර සභාවට හා ඒ සඳහා ඉදිරිපත් වූ ස්වේච්ඡා සංවිධානවලට පහසු කටයුත්තක් වූයේ නැත. පොලිසිය හමුදාව හා වගකිවයුතු අංශ කොතරම් උත්සාහ කළත් දිනෙන් දින වැඩිවෙමින් පැමිණෙන මහා ජනසන්නිපාතය උදෙසා ඉටු කරන ලද සනීපාරක්ෂක සේවාවන් හා යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවූහ. හැම පැත්තෙන්ම පෙනෙන්නට වූයේ පූර්ව සැලසුම් හා ගණනය කිරීම්වල බරපතළ දුර්වලතා වැරදී ඇති බවයි. සියල්ල සලකා බැලූ ආරක්ෂක අංශ අවසානයේ මහජනතාවට උපදෙස් දී සිටියේ දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණීමෙන් වළකින ලෙසයි.

ඩිලාන්ගේ සප්‍රයිස් පාටියට රෝද පුටුවෙන් ආ අම්මා…

මේ අතර පසුගිය ඉරිදා විපක්ෂයේ දේශපාලනඥයන් පිරිසක් එකට එකතු වී තම කල්‍යාණ මිත්‍රයෙකුගේ උපන්දිනයක් සමරන්නට කොළඹ නිදහස් මාවතේ “එයිටි ක්ල්බ්” සමාජ ශාලාවේ පුංචි සාදයක් සංවිධානය කළහ. සාදය හිටපු මන්ත්‍රී ඩිලන් පෙරේරාගේ හැට එක් වැනි උපන්දිනය නිමිත්තෙනි. අවසාන මොහොත දක්වාම මේ සාදය ඔහුට රහසක් ලෙස තබාගත් මිත්‍රයෝ ඩිලාන්ගේ බිරිඳට කියා තිබුණේ ඉරිදා හවස හරි වේලාවට ඩිලාන්ව රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා එයිටි ක්ලබ් එකට එක්කගෙන එන ලෙසයි.

ඩිලාන්ගේ පාර්ලිමේන්තු මිතුරන් පමණක් නොව, බදුල්ලේ ගමේ ඥාතීන්, රාජකීය විද්‍යාලයේ පාසල් සමයේ හිතවතුන්, ලෝ කොලීජියේ හිතවතුන් වන දැනට ජ්‍යෙෂ්ඨ නීතිඥයන්, බිරිඳ කනකාගේ හිතවත් ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණේ ඩිලාන්ගේ යාළුවෝ පවා මෙම සාදයට පැමිණ සිටීම විශේෂත්වයකි. ජවිපෙන් ආ එක් අයෙකු වූයේ ලේක් හවුසියේ දැනට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධුරය දරන සිසිර යාපා, වරාය ඇමැති කමේ සිටින විට සිසිර ඩිලාන්ගේ මාධ්‍ය ලේකම් ලෙස සිටියේය.

මහාචාර්ය ජී. එල්., ඩලස් අලහප්පෙරුම, ලසන්ත අලගියවන්න, ගුණපාල රත්න සේකර, රංජිත් බණ්ඩාර, තිලංග සුමතිපාල, නිමල් ලන්සා, කේ. පී. එස්. කුමාරසිරි, ලලිත් පියුම්, සුමිත් විජේසිංහ ඇතුළු මිත්‍රයෝ හැට දෙනකු පමණ එහි සිටියහ. ඩිලාන් වඩාත් සතුටට පත් වූයේ ඔහුට නොදන්වා ඔහුගේ මෑණියෝද මෙම සාදයට සහභාගි කරගෙන සිටීමයි. කෙසේ වෙතත් සාදය අතරතුර ආහාරපානාදියෙන් සංග්‍රහ කරන අතර වාරයේ ලොකු දේශපාලන කථිකාවක්ද ඇතිවූයේ කාලාන්තරයකට පසු හමුවූ මිත්‍රයෝ රැසක් එහිදී මුහුණට මුහුණ හමුවූ නිසාය.

“පහුගිය දවස්වල කතාවක් ගියා උඹ දේශපාලනයෙන් සමුගන්න හදනවා කියලා…”

“නෑහ් මොන පිස්සුද. දේශපාලනයෙන් සමු අරන් අපි වෙන මොනවා කියලා කරන්නද….

ඉතින් පහුගිය කාලෙ කිසි සද්දයක් නැතුව හිටියේ…”

“පොඩ්ඩක් ඉඳපන් ඉවසලා. දේශපාලනේ අපිට ඉඩකඩක් ලැබුණට පස්සේ ඊළඟ පියවර මොකක්ද කියලා බලමු. කවුද බං දන්නේ ඊට කලින් මැරෙයිද කියලා…”

“ඔය තරම් අසුභවාදී වෙලා හිතන්නේ…?”

“මේ මං කිව්වේ මේක අපිට දේශපාලනයට වෙලාව නෙවෙයි. දේශපාලනයට නරක වෙලාව. මිනිස්සු හැමෝම වගේ ඉන්නෙ ආණ්ඩුවත් එක්ක. එකක් ඒ ගොල්ලන්ගේ කතාවලට වශී වෙලා. ඔක්කොටම වඩා මෙච්චර කාලයක් දේශපාලනය කරපු මිනිස්සු අප්පිරිය වෙලා.”

“මේගොල්ලොත් අනිත් අයට වඩා දෙවැනි නෑ කියලා දැන් ටික ටික මිනිස්සුන්ට තේරෙන්න ඕන. අන්න එහෙම වුණාම අපි කාටත් දේශපාලනයේ සාධාරණ ඉඩක් ලැබේවි. මොකද මෙතන කවුරුවත් නැහැ දේශපාලනයෙන් හොරකම් කරපු දේශපාලනයෙන් හරිහම්බ කරගත්ත කවුරුවත්…

“ඔය කතා බස් අස්සේ තවත් පිරිසක් ඩිලාන්ලාගේ පවුලේ පියා මව සහ ඔවුන්ගේ දේශපාලනය ගැන දන්නා අතීතය මෙනෙහි කරන්නට පටන් ගත්තේය”

“ඩිලාන් දේශපාලනයෙන් හරිහම්බ කරපු කෙනෙක් නෙවෙයි. එයා මුලින්ම දේශපාලනයට එන්නේ 89 පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරන්. අවුරුදු තිස් හයක් දේශපාලනය කරලා හරි හම්බ කරගත්ත කිසිවක් නෑ. එයා කළේ තාත්තා මාෂල් පෙරේරා ඉතාමත් සාධාරණව හම්බ කරපු ධනස්කන්ධය දේශපාලනය වෙනුවෙන් වියදම් කරපු එක. තාත්තා මාශල් පෙරේරා මැරෙන කොටත් එයාට තිබිච්ච දේපළ සහ ධනය දරුවන්ට විතරක් නෙවෙයි, ගෙවල්වල වැඩ කරපු සේවකයන්ට පවා සාධාරණව බෙදා හදා දීලා මැරුණු අය… ඒ අතින් ඩිලාන් ලා පවුලම වාමාංශික දේශපාලනයට හොඳ ආදර්ශයක්… ඩලස්ලා ජී. එල්. ලා කතා කරමින් සිටියේ ඔවා ගැනය. ඒ අතර තැන් තැන්වල ආණ්ඩුවේ නොහැකියාව ගැනත් යම් යම් සංවාද ඇති වන්නට පටන් ගත්තත් ඒවා ඒ තරම් දුර දිග ගියේ නැත්තේ ආණ්ඩුවට සම්බන්ධ යම් යම් අයද එහි ආරාධිතයන් ලෙස සිටි නිසාය..

පාස්කු මහමොළකරු 21 වනදාත් සැඟවෙයි…

මේ අතර පහුගිය සතියේ නැවත වතාවක් පාස්කු මහ මොළකරුවන්ගේ ප්‍රශ්නය දේශපාලන කරළියේ සාකච්ඡා වන්නට පටන් ගත්තේ කාදිනල්තුමා පසුගිය දිනක කරන ලද එක්තරා ප්‍රකාශයක් නිසාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වූවායින් පසුව කටුවාපිටිය පල්ලියට ගොස් මහජනතාව ඉදිරියේ එක්තරා පොරොන්දුවක් දුන්නා අපට මතකය. ඔහු කීවේ ඊළඟ පාස්කු ඉරිදා උදාවන්නට පෙර පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා අල්ලා ඔහුට එරෙහිව තරාතිරම නොබලා ගතයුතු සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහෙත් ඒ පිළිබඳ කිසිත් සද්දයක් නොමැතිව ආණ්ඩුව පසු වන අවස්ථාවේ පසුගිය දිනක කාදිනල්තුමා බරපතළ ප්‍රකාශයක් අභියෝගයක් ලෙස ඉදිරිපත් කළේය.

“ආණ්ඩුව ඇවිල්ලා අපි මාස පහක් බලා හිටියා. ඒගොල්ලෝ මහමොළකරුවන් අල්ලා නීතිය හමුවට පමුණුවන බව පොරොන්දු වුණා. පොරොන්දු පරිදි මේ පාස්කු දිනයේවත් මහමොළකරු ගැන සඳහනක් නොකළොත් ඊට පහුවදාම මම මහජනතාවත් අරගෙන පාරට බහිනවා..”

කාදිනල් තුමාගේ මෙම ප්‍රකාශයත් සමගම ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිචාර දක්වන්නට කියනු ලැබුවේ විසි එක පාස්කු දිනයට ප්‍රථම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් පිළිබඳව තොරතුරු හෙළිකරන බවයි… ජනාධිපතිවරයාගේ එම ආස්ථානය සමග රටේ උණුසුම් දේශපාලන සංවාදයක් ද ඒ පිළිබඳව ඇති විය.

මේ පසුබිමේ තවත් සිදුවීමක් වී තිබිණි. ඒ වූ කලී කලක් නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන උසාවි නොදමා දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන සී අයි ඩිය භාරයේ තබා ගැනීමයි.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම ගැන ආණ්ඩුවේ එක එක්කෙනා එක එක කතා කියන්නට පටන් ගත්හ. සුනිල් හඳුන්නෙත්ති කීවේ පිල්ලෙයාන් අර ගත්තේ නැගෙනහිර පළාත් විශ්වවිද්‍යාලයක හිටපු මහාචාර්යවරයෙක් 2006 වසරේදී අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහා බවය. ඒ අතර පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී තවත් ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා වැදගත් සංවේදී තොරතුරු රැසක් හෙළි කරමින් සිටින බවය.

මෙවත් තොරතුරු හෙළි වීමත් සමගම පුනරුද ආණ්ඩුවට හිතවත් දහස් සංඛ්‍යාත සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඇමැතිවරයාගේ එම ප්‍රකාශය උපුටා දක්වමින් තව තවත් අනාවැකි කියන්නට පටන් ගත්හ….

“පාස්කු ප්‍රහාරයේ රහසිගත තොරතුරු සියල්ල පිල්ලෙයාන් වමාරනවා. මහමොළකරුවො ළඟදීම අත්අඩංගුවට රාජපක්ෂලාට වැඩ වරදීවි…” යනාදී වශයෙන් සමාජ මාධ්‍යවල තොරතුරු පළ කරන්නට වූහ. ඔවුන් සංවිධාවනාත්මකව හා සූක්ෂමව මෙම තොරතුරු පළ කළේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් රාජපක්ෂ පවුලේ අයවලුන් බව රටටම ඒත්තු යන ලෙසය.

මේ අවස්ථාවේ තවත් තැනක එක්තරා විශේෂ සිද්ධියක් වෙමින් පැවතිණ. ඒ වූ කලී පිල්ලෙයාන්ගේ පවුලේ උදවිය හා නීතිඥයෝ පැමිණ මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් ඉල්ලා සිටීමයි. නීතිඥයා කීවේ පිල්ලෙයාන් හමුවන්නට වත් සී අයි ඩිය ඉඩ දෙන්නේ නැත. හැකිනම් මැදිහත් වී කළ හැකි දෙයක් කරන ලෙසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව සංශෝධනවලට අනුව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ දී අලුත් නීති රැසක් එකතු වී තිබීම ගැන බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. එහෙත් උදය ඒ පිළිබඳ අවබෝධයෙන් සිටියේය. අලුත් නීතියට අනුව තමන්ට රැඳවියාගේ නීතිඥයා ලෙස ව්‍යවස්ථාවෙන් හිමිවන අයිතිවාසිකම් පෙන්වා දෙමින් පොලිසියේ ඉහළටම ලියුම් ලියා උදය ගම්මන්පිල පිල්ලෙයාන් හමුවීමට අවස්ථාව සලසා ගත්තේය. එහිදී ඔහු දැනගත්තේ පිල්ලෙයාන් එවන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිසිවක් කර නොමැති බවයි. උදය වහාම පිල්ලෙයාන් සමග ඇතිවූ සංවාදය පහුවදාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවා සමාජයට හෙළිදරව් කරනු ලැබීය. ඒ සාකච්ඡාවේදී පිල්ලෙයාන් කියා තිබුණේ….

“මම මෙතෙනට ගෙනත් දැන් දින හතරක් වෙනව. ඒ දින හතර ඇතුළත කිසිම කෙනෙක් මාව හම්බවෙන්න ඇවිත් මොකවත්ම ඇහුවෙත් නෑ. මම මොනවත් ඒ ගොල්ලන්ට කිව්වෙත් නෑ. කියන්න කිසි දෙයක් මම දැනගෙන හිටියෙත් නැ… අනේ ඇමැතිතුමා මම 2015 ඉඳලා 2020 දක්වාම හිටියේ හිරේ. ඉතින් හිරේ හිටපු මම කොහොමද පාස්කු ප්‍රහාරයට 2019දී සම්බන්ධ වුණාය කියල කියන්නෙ….”

පිල්ලෙයාන්ගේ කටඋත්තරය උදය විසින් පොදු සමාජයේ සමාජගත කිරීමත් සමගම ඒ සම්බන්ධයෙන් අලුත් කථිකාවතක් ඇතිවන්නට විය. සමාජ මාධ්‍යවලින් උදයට ප්‍රහාර එල්ල කළේ පිල්ලෙයාන් හමුවන්නට ගොස් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා හෙළිදරව් කර ගැනීමේ කටයුත්ත කඩාකප්පල් කළ බවයි…. පිල්ලෙයාන්ගේ කට උත්තරය වසං කරන්නට පිල්ලෙයාන්ට උපදෙස් දුන් බවයි…

මහමොළකරුවෝ ගැන ජනපති දුන්න උත්තරය…

කෙසේ වෙතත් කතෝලික ජනතාව තුළ නම් අනුර කුමාර 21 වැනිදා, එනම් පාස්කු දිනයේ යමක් හෙළිදරව් කරනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණහ. අවසානයේ ඔවුන් කීවේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තා තුළින් මෙතෙක් දිනක් ආරක්ෂිතව තබාගෙන සිටි හෙළි නොකර සිටි යම් යම් කොටස් දැන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපතිවරයා වෙත යවන්නට කටයුතු කළ බවය. එතෙකින් ජනාධිපතිවරයාගේ පාස්කු 21 වනදා කාර්ය කටයුතු අවසන් විය.

වෙඩිතැබීම් 36යි මරණ 26යි… 27 කවුද

මේ අතරතුර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ තවත් කනගාටුදායක පුවතක් වාර්තා විය. ඒ වූ කලී ළඟ එන පළාත් පාලන මැතිවරණයේ කොළොන්නාව නගර සභාවට තරග වැදීම සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රකට ඩෑන් ප්‍රියසාද් නම් තරුණයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තා වීමයි. ඩෑන් සමාජයේ ප්‍රකටව සිටියේ වරද දුටු තැන ඉදිරිපත්වී එඩිතරව කතාබහ කරන, යුක්තිය වෙනුවෙන් සටන් වදින දේශප්‍රේමී සිංහල බෞද්ධයකු ලෙසයි. මේ නිසාම පහුගිය අරගල සමයේ ඔහුට අරගලකරුවන්ගේ දැඩි තාඩන පීඩනවලටත් මුහුණපාන්නට සිදුවූ බව රහසක් නොවීය.

දැන් කොළොන්නාව ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක මිතුරන් පිරිසක් හා සාමිචියක යෙදී සිටියදී නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුට කිසිදු චකිතයකින් තොරව පැමිණ ඩෑන්ව ඉලක්ක කොට ගෙන වෙඩි තබා පලා ගොස් තිබිණි.

ඩෑන්ගේ සිද්ධිය බොහෝම සමාජ තල වල සාකච්ඡා වූයේ දේශපාලන පළිගැනීමක් ලෙසයි. ඔහු පොහොට්ටුවේ දේශපාලනය කළ අයකු බැවින් ආණ්ඩුවේ යම් යම් බලවේගවල තර්ජන ඔහුට තිබුණු බව ඉස්මතු කරන්නට පිරිසක් උත්සාහ කළහ. එහෙත් මේ සිද්ධිය පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීමක්ද ඇති බව කියවෙන්නට ගත්තේ කංජිපානි ඉම්රාන් නම් පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කළා යැයි කියන වීඩියෝවක් සංසරණය වන්නට වීමත් සමගයි.. කොළොන්නාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ලෙස විරෝධය පාමින් සමාජය අවදි කළ අයකු ලෙස ඩෑන් ප්‍රකටය. මේ නිසා කංජිපානි ඉම්රාන් මැදිහත් වන්නට ඇතැයි ඇතමෙකු විශ්වාස කළහ. එහෙත් එහිද යම් සැකයක් වූයේ කංජිපානි ඉම්රාන් මේ ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු යැයි කියමින් ඩෑන්ට බැන වදින ප්‍රකාශයන් එම හඬ පටයේ තිබීමයි. ඒ වීඩියෝවේ හඬපටය පෙන්වන පරිදි කංජිපානි ඉම්රාන් චණ්ඩියකු සේම මේ ආණ්ඩුව ආරක්ෂා කර ගන්නට වෙහෙසෙන පුද්ගලයකු ලෙස ද කැපී පෙනෙයි. එහෙත් ඒ හඬපටය කොහෙන් ආවාදැයි සැක සහිතය.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතන සිද්ධියත් සමගම දේශපාලන කරළියේ ප්‍රභූවරයන්ගේ හා දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් කථිකාවක් හටගත්තේය. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් ප්‍රකාශකයින් මොන මොන කතන්දර කීවත් මේ වන විට පාතාල ලෝකය අවි ආයුධ සහිතව නිදැල්ලේ සැරිසරමින් දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයන්ට හා සමාජ ක්‍රියාකාරිකයන්ට තර්ජන කරන, කප්පම් එකතු කරන, සල්ලි එකතු කරන පරිසරයක් තුළ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව කුමක්දැයි බොහෝ දෙනකු විමසන්නට පටන් ගත්හ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සාගර කාරියවසම්ට දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය…. ඔහු කතා කළේ වර්තමානයේ උද්ගතව ඇති අනාරක්ෂිත සමාජ තත්ත්වය ගැනයි…

“ආණ්ඩුවෙන් ප්‍රභූවරුන්ට, දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට මීට පෙර ආත්ම ආරක්ෂාව සඳහා ලබාදීලා තිබූ නීත්‍යානුකූල ගිනි අවි සියල්ලම මේ ආණ්ඩුව ආපසු රජයට ගත්තා. දැන් ඒ සියලු දෙනා නිරායුධයි කියලා පාතාල කල්ලි සාමාජිකයෝ හොඳින් දන්නවා. අවි ආයුධ තියෙනව නම් තියෙන්නේ දැන් පාතාල ලෝකය සතුව විතරයි. ඒගොල්ලෝ දැන් නිදැල්ලේ නිදහසේ වැඩ පටන් අරන්. පොහොට්ටුවේ ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන්ට කිසිම ආරක්ෂාවක් නෑ.” සාගර කාරියවසම් නාමල්ට එසේ කියද්දී නාමල් කීවේ පොහොට්ටුවේ අයට පමණක් නොව, පොදුවේ මහජනතාවට ද කිසිම ආරක්ෂාවක් මේ වන විට උදා වී නැති බවයි.

“ඔබතුමා ආරක්ෂා වෙන්න. මේ වෙලාවේ වැඩිම තර්ජනය තියෙන්නේ ඔබතුමාට… ආරක්ෂාව අඩුකළාට හරි නම් මේ වෙලාවේ ආරක්ෂාව වැඩි කරන්නයි ඕන…” සාගර කීවේය. ඩෑන් ගේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග රැසක් ගැන එහිදී මහ ලේකම් සාගර හා නාමල් අතර සාකච්ඡාවක් ඇති විය.

“හෙට උදේට මම විජේරාමෙට ගිහිල්ල මහින්ද මහත්තයා හමුවෙලා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දුවක් ගන්නවා…” සාගර අවසානයේදී කීවේය.

කතා කරගත් පරිදි සාගර කාරියවසම් උදේ විජයරාම මාවතේ මහින්ද මහතාගේ නිල නිවසට යන විට තවත් කිහිපදෙනෙක් එහි පැමිණ සිටියහ. ජයන්ත කැටගොඩ හා සංජීව එදිරිමාන්න ඒ අතරය.

නාමල් කොළඹින් පිට නේද… ? හිටියනම් එයත් මේ සාකච්ඡාවට වැදගත්… එහෙම කිව්වේ හිටපු ජනාධිපති මහින්දය.

කොහොමටත් ඩෑන්ගේ ඝාතනය වෙනුවෙන් මහින්ද පසු වුණේ කණස්සල්ලෙනි.

“විරුද්ධවාදීන් සමාජ මාධ්‍ය පාවිච්චි කරලා දැවැන්ත මඩ ව්‍යාපාර කොතරම් ගෙන ගියත් ඩෑන් කියන්නේ රටට අවශ්‍ය ජාතියට ආගමට අතිශයින් ආදරය කරන මිනිහෙක්” මහින්ද කිව්වේය..

“ආරක්ෂාවක් නැති, තර්ජන තියෙන හැම අපේක්ෂකයෙක් ගැනම ප්‍රභූවරයෙක් ගැනම ලැයිස්තුවක් හදලා පොලිසියට කතා කරලා ආරක්ෂාව ඉල්ලන්න.” මහින්ද එසේ කියද්දී කැටගොඩ කිව්වේ නාමල්ට තිබෙන ආරක්ෂාව ද තව තවත් වැඩි කළ යුතු බවයි…

“ඔව් සර් මේ ටික කාලෙදි පාතාලේ වෙඩි තැබීම් 36ක් වෙලා ඉවරයි. මේවයින් මරණ 26ක්…. ඊළඟ 27 වෙනියා කවුද කියල කියන්න බෑ…”

“මම පොලිසියට කතා කළා. ඒ වුණාට සාධාරණ උත්තරයක් ලැබුණේ නෑ. ලැජ්ජයි කියන්න ඒ ගැන කියපු කතාව….”

“ඇයි සල්ලිවලට ආරක්ෂාව ගන්න කිව්වද… අර අයේෂිකා ප්‍රනාන්දු කියන ගුරුවරියට නම් පොලිසිය පැන පැන ආරක්ෂාව දීලා. ස්කොඩ් එක දාගෙන හෙලිකොප්ටර් වලින් මල් ඉහගෙනයි එයාලව ගේන්නේ…”

“ඒගොල්ලෝ මුදල් දීලා රක්ෂාව ලබා ගත්තලුනේ. එක්තරා පොලිසියකින් අපටත් කිව්වෙ අමතරව ආරක්ෂාව ඕන නම් ඒ ක්‍රමයට මුදල් ගෙවා අරගන්න කියලා තමයි…”

“ආරක්ෂාව කියන්නේ මානව මූලික අයිතිවාසිකමක්. ඒක සපයන්න බැරිනම් රජය ඒකට වගකිව යුතුයි. අද රට හැම තැනම නීති විරෝධී ආයුධ ඕන තරම්. හැබැයි ප්‍රභූවරු හිටපු මන්ත්‍රීවරු දේශපාලනඥයෝ ළඟ තියෙන අවි ආයුධ ටික ආණ්ඩුව ආපසු අරගත්තා. දේශපාලනඥයෝ ප්‍රභූවරු ඉන්නේ නිරායුධව කියලා පාතාල කල්ලි හොඳින් දන්නවා. ඒකනේ ළඟටම ඇවිත් මූණටම වෙඩි තියලා යන්නේ… ඔය ටික පැහැදිලි කළේ සාගර ය…

“ඒ විතරක් නෙවෙයි සර්… මට නිමල් ලන්සා මන්ත්‍රීතුමා කිව්වා… එයා දන්න ව්‍යාපාරිකයන්ටත් දැන් පාතාලයෙන් කියල කතා කරල කප්පන් ඉල්ලනවලු. නොදුන්නොත් වෙඩි තියනවා කියලා තර්ජනය කරනවලු. ඇත්තටම ඉතින් නිරායුධ ව්‍යාපාරිකයෙක් ළඟට ඇවිල්ලා ඔය විදිහට පිස්තෝලෙකින් වෙඩි තියලා යන්න පාතාලෙට බැරිකමක් නෑනේ.. “එහෙම කිව්වෙ එතන හිටපු මාධ්‍යවේදියෙකි.

“ඔව් ඉතින්… ඩෑන්ල වගේ අය අතෙත් අවි අයුධ තියන බව දන්නවනම් පාතාලෙ ඔය වගේම ෆේස්ටුපේස් එන්නේ නෑ නේ. හොඳටම දන්නවා ප්‍රභූවරු ව්‍යාපාරිකයෝ ළඟ තිබිච්ච ගිනි අවි ටික මේ ආණ්ඩුව එකතු කරගත්තා කියලා. ඒ ආණ්ඩුව ආපු ගමන් පාතාලෙට තමයි හොඳම උදව්ව කළේ….

“මම දැක්කා කංජිපානිත් අනුරලාට මේක කරගෙන යන්න දෙන්න ඕන කියල ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා… එයාලත් ඇත්තෙ සතුටින්…”

“එතකොට දැන් කවුද ඩෑන්ගේ ඉදිරි කටයුතු කරන්න භාරගන්නේ…”

“මං ඒ වැඩකටයුතු ටික කොලොන්නාව සංවිධායක අජිත් සුභසිංහට පැවරුවා… එයා බොහොම උනන්දුවෙන් ඒ ටික බලා ගනියි…”

“බයවෙන්න දෙයක් නෑ. අපිත් ඉන්නවනේ සර්…” කැටගොඩත් කීවේය.

ඔය ගොල්ලොත් දැන් කල්පනාවෙන් පරිස්සමින් ඉන්න. කවුරු හරි කතා කරලා ඔය වගේ තර්ජනයක් එහෙම කළොත් නොසලකා හරින්න හිතන්න එපා. මොකද ජේ.ආර්. ලොක්කත් කිව්වනේ තමන් ආරක්ෂාව තමන් බලා ගත යුතුයි කියලා. මතක තියාගන්න දැන් ආයෙත් අපිට උදාවෙලා තියෙන්නේ ඒ වගේ යුගයක්.

“ඔව් සර්… නීතිමය නිල අවි ආයුධ නෑ. හිටපු මන්ත්‍රීවරුන්ට දේශපාලනඥයන්ට ලබා දීපු අවි ආයුධ නෑ. හැබැයි සමාජයේ ඕන තරම් ගල්කටස් හා නීති විරෝධී අවි ආයුධ තියෙනවා. ඒක අමතක කරන්න හොඳ නෑ….”

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment