ඡන්ද තියන්න අපෙන් බාධාවක් නැහැ – IMF කියයි

82

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය හොඳයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පසුගියදා නිමා වූ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා ඊයේ (14දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පීටර් බෲවර් මහතා මේ බව කීවේය.

ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බවත් ණය තිරසාරභාවය සඳහා වන මාවත තවමත් දුෂ්කර අඩියක පවතින බවත් කියා සිටි ඔහු එබැවින් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවය දැඩිව පවතින බව මෙහිදී කීවේය.

මේ අතර ඉදිරි මැතිවරණ වකවානුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පීටර් බෲවර් මහතා පැවසුවේ, ඕනෑම රටක මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූර්ණ වශයෙන් ගරු කරන බවත්, ඒ සඳහා මූල්‍ය අරමුදල අනුගත වන බවත්ය. කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලරාමුවට යම් බලපෑමක් මැතිවරණ මගින් ඇති විය හැකි බව ඔහු මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් 4’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ (14දා) පැවැත්වීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment