ඡන්ද තියමු, රට හදන විදිහත් කියමු

661

70-77 සමයේදී ජේ. ආර්. ජයවර්ධන මහතා මැතිවරණ කල් දැමීමට එරෙහිව දැඩි සටනක් දියත් කළේය. 1970 වර්ෂයේදී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව 2/3ක ජන බලයක් උපයෝගී කර ගනිමින් ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කර ගනිමින් පස් අවුරුදු පාලන කාලය වසර හතක් දක්වා දික්කර ගනු ලැබීය. හත් අවුරුදු සාපය ලෙස ඊට නම් පටබැඳුණි. ඡන්දය අවුරුදු දෙකකින් කල් දැමීමට එරෙහිව ජේ. ආර්. ජයවර්ධන මහතා සටන් කරමින් ඊට සත්‍යග්‍රහ සහ උපවාස පවා සංවිධානය කෙළේය. එදවස දේශපාලනයේ ප්‍රබලයන් වූ ප්‍රින්ස් ගුණසේකර, ආචාර්ය ඩබ්ලිව් දහනායක වැන්නවුන් මෙන්ම එවකට පැවැති විපක්‍ෂය මීට එරෙහිව ප්‍රබල හඬක් නංවනු ලැබීය.

සමගි පෙරමුණ ආණ්ඩුව අවුරුදු දෙකක් මැතිවරණ සිතියම හැකිලීමට ගත් පියවරට විරෝධය පළ කළ ජේ. ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ ආසනයේ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී අතුරු මැතිවරණයකට පාර කැපුවේය. අතුරු මැතිවරණයට පාර කැපූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන් නොනැවතී ඊට යළිත් තරග කර වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර ජනතා පරමාධිපත්‍ය යළි යළිත් පෙන්වා දුන්නේය.

මැතිවරණ කල් දැමීමට එරෙහිව අපට ඇත්තේ එවන් ඉතිහාසයකි. පසුගිය කාලයේදී ද පළාත් පාලන මැතිවරණය කල් දැමිණි. රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊට මුදල් වෙන් කළ නොහැකි බවට රජය ප්‍රකාශ කිරීම නිසා මෙම මැතිවරණ කල් දැමීමට සිදු විය. කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වූ පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා මැතිවරණ කොමිසම පට්ට ගසනු ලැබුයේ එම ඡන්දය කල් දැමීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව දක්වමිනි. මේ කොයි අතින් බැලුවත් මැතිවරණ කල් දැමීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. පවතින ඕනෑම රජයක් ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීම මෙන්ම නියමිත වේලාවට ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් බව අමතක නොකළ යුතුය. විපක්‍ෂයේ සිටියදී ඡන්ද ඉල්ලන අය ආණ්ඩු පක්‍ෂයට පැමිණි විට ඡන්ද කල් දැමීමට කතා කිරීම සුදුසු නැත.

අද අපට මෙවැනි පූර්විකාවක් ගෙනඒමට සිදු වූයේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකින් කල් දැමිය යුතු බවට එජාපයේ මහ ලේකම් රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් තබා කර ඇති ප්‍රකාශය නිසාය. ඔහුගේ ප්‍රකාශයට එරෙහිව මේ වනවිටත් විවිධ දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධානවලින් විරෝධය පළවෙමින් තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව මීළඟට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. මැතිවරණ කල් දැමීමට එරෙහිව වරක් සටන් කළ ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වූ පසු ලාම්පු කළගෙඩි සෙල්ලම් දමා බලය දීර්ඝ කර ගැනීම දේශපාලන ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අදත් බොහෝදෙනා ඒ පිළිබඳව කතා කරනුයේ දැඩි කලකිරීමකිනි. එනිසා මේ මොහොතේ මැතිවරණ කල් නොදමා නියමිත වේලාවට පැවැත්වීම අප රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර බව නම් නොකියාම බැරිය.

මොන තත්ත්වයක් යටතේ වුවද මේ වනවිට සියලු දේශපාලන පක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කඳවුරු බඳින බව පෙනේ. තවත් සමහර පක්‍ෂ සන්ධාන වශයෙන් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව ඉඟි පළවෙමින් තිබේ. මේ සියලු දේවලින් පැහැදිලි වන්නේ රටේ මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින බවයි. කවර දේශපාලන මත දැරුවද, කවර පාටකින්, ලකුණකින් පෙනී සිටිය ද මේ සියලු දේශපාලන පක්‍ෂවලට සන්ධානවලට ඉදිරියේදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අප රට ගොඩගැනීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතු බව අමතක නොකළ යුතුය. ජාත්‍යන්තරයෙන් ලබාගත් ණය සඳහා ගෙවනු ලබන ණය වාරික පවා මේ මොහොතේ නතර කිරීමට රජයට සිදුවී ඇත. ඊට හේතු වූයේ රටේ ඩොලර් සංචිතය කඩාවැටී භාණ්ඩාගාරයේ පත්ලම සිඳීගිය බැවිනි. කෙසේ වෙතත් ඉදිරි කාලයේදී මෙම ණය වාරික ගෙවීමට අපට සිදුවනු ඇත. එනිසා ඉදිරි කාලයේදී අප රට හමුවේ ඇති සැබෑ අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න අදාළ පක්‍ෂ සන්ධාන රටට හෙළිදරව් කළ යුතුව ඇත. අදටත් දේශපාලන වේදිකාවල අප දකින්නේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පමණි. එක් එක් දේශපාලන පක්‍ෂවල අතීත ක්‍රියාකාරකම්වලට මඩ ගසමින්, චෝදනා කරමින් ඡන්දය තමන්ගේ පැත්තට දිනාගත් පමණින් රටට හෙටක් ලැබෙන්නේ නැත. අප රටේ දුවා දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත වන්නේ නැත. එනිසාම අප පැහැදිලිව ප්‍රකාශ කරන්නේ සියලුම පක්‍ෂවලින් රට හදන විදිහ හරියට කියන ලෙසයි. එසේ නොමැතිව වැල් බයිලා ගැසීමෙන් රටට පළක් වන්නේ නැත. එසේම ජනමතයට ඉඩදීම පමා කළ යුතු නැත. එමෙන්ම ඡන්ද කල් දමා තවත් අර්බුද වැළක් නිර්මාණය කර ගැනීම ද අනුවනකමකි.

advertistmentadvertistment
advertistmentadvertistment