ජනපතිගේ ප්‍රශ්නවලට මා නිරුත්තර වුණැයි පළවන පුවත් බොරු – හිටපු ඇමැති රොෂාන් කියයි

267

දූෂණයට වංචාවට එරෙහිව සෘජුව නැගී සිටිනවා

ජනපතිවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රශ්න කිරීම්වලට තමා නිරුත්තර වූ බවට පළවන ප්‍රචාර අසත්‍ය බවත් හැටනව ලක්ෂයක ජනවරමකින් තේරී පත්වූ තමා දූෂණයට, වංචාවට එරෙහිව සෘජුව සිටින බවත් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ හැටනව ලක්ෂයේ ජනවරමින්. ඒ ජනවරම ජනතාව දුන්නේ රටේ දූෂණ, හොරකම් නවත්වන්න. ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්නයට මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා නිසි පිළිතුරක් නොදීම නිසා ජනපතිවරයා විසින් ඔහු ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය භාරදී තිබේ යනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් එවූ ප්‍රවෘත්තියක් මාධ්‍යවල පළවෙලා තිබෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් සමග සාකච්ඡා කළ බවත් සඳහන් වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයාව සිටියදීත් මා ඔහු හමුවුණා. වත්මන් විපක්ෂනායකවරයා එන්න කියපු අවස්ථාවෙත් මම ගියා. ඒ වෙලාවෙ මහ කොමසාරිස් හිටියා. ක්‍රිකට් තහනම ගැටලුවක් කියලා මම ආවා. විපක්ෂනායක ලෙස එන සියලු දෙනා සමගම කතා කරනවා. මහවැලි ඉඩම් බෙදාදීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තුළින් ඉදිරිපත් කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් හා ඥාතීන් බැවින් ඉඩම් නැති පිරිස් සිටියදී මෙලෙස ඥාතීන්ට බෙදා දුන්නේ ඇයිදැයි පුවත්පතේ සඳහන් වෙනවා. මේවාට මම නිරුත්තර වුණාලු. කැබිනට් මණ්ඩලයේ සාගල රත්නායක සමග බිස්නස් නොකරන අතිවිශාල බහුතරයක් ඉන්නවා. ඒ අය ඇත්ත කියයි. ඊළඟ මැතිවරණවලට වැඩි කල් නෑ. ජනවරමකින් අපට රට භාර දුන්නේ දූෂණ රකින්න නොවෙයි. ඒ නිසයි මම ක්‍රිකට් දූෂණ වෙනුවෙන් පෙනී සිටියේ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා


advertistmentadvertistment