වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට ගොස් වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලැබ තිබුණි .
ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇත .
විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැක බලා ගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගන්වා තිබුණි .
ජනාධිපතිවරයා විහාරස්ථානයේ ප්‍රධාන බුද්ධ මන්දිරය වෙත පැමිණ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, භික්ෂුන් වහන්සේලා විසින් සෙත්පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කර තිබුණි .
ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රාකාරයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී විවෘත කරන ලදී. .
එම විහාරස්ථාන පරිශ්‍රයේ සල් ශාකයක් රෝපණය කර , එම අවස්ථාව සනිටුහන් කරමින් සවි කර ඇති පුවරුවද නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විහාරාධිපති හිමියන් වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්වූහ.