හේමන්ත රන්දුණු
පුරවැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනිඅවි ලබන ජනවාරි මස 20 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිය වෙත භාරදීමට කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ගිනිඅවි ලබාගෙන ඇති පුද්ගලයන්ගෙන් 85%ක් දෙනා මේ වනවිට තම ගිනිඅවි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවද ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය.
එහෙත් මෙසේ අවි ආයුධ ලබාගෙන සිටින පුද්ගලයන්ගෙන් 15%ක් පමණ දෙනා මේ වනතුරුත් තම ආයුධ භාරදීමට කටයුතු කර නොමැත.
එසේ ආයුධ භාර නොදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හෝ ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට හෝ පවතින නීතිය යටතේ කටයුතු කිරීමට පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ ජීවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයකුට එක් ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
එහෙත් ඇතැමුන් අවි ආයුධ කීපයක් ලබාගෙන සිටින බවද වාර්තා වෙයි.
මෙම අවි ලබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව විමර්ශන කර ඒවා සත්‍ය වශයෙන්ම ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙත නැවත ලබාදීමට පියවර ගන්නා බවද ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.
ගිනිඅවි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය කර අදාළ ගිනිඅවි පරීක්‍ෂාව ලබන ජනවාරි 20 වැනිදායින් අවසන් වීමට නියමිතය. බලපත්‍රලාභීන් එදිනට පෙර තම අවිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ යුතු බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.