ජනශක්ති රක්‍ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසල සිය මෝටර් රථය තුළදී අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිකුරාදා 16 වැනිදා සවස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
2019 වසරේ මාර්තු මාසයේදී දිනේෂ් ශාෆ්ටර් මහතාගෙන් මීට පෙරාතුව රුපියල් කෝටි 143ක් ලබාගත් සිද්ධියක් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිලි කර තිබී ඇත. ඒ අනුව ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩු විභාගයකින් පසු සැකකාර විස්තර විචාරකයා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබී ඇත.
ඇඟලුම් ආයතනයක තැරැව්කරුවකු ලෙස සැකකරු මෙම මුදල් ලබාගෙන තිබී ඇතැයි ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඝාතනයට ලක්වන අවස්ථාවේ ශාෆ්ටර් මහතා ගමන්ගත් මෝටර් රථයේ තිබී සැක කටයුතු ඇඟිලි සලකුණු 14ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මේ අතර මෙම අභිරහස් ඝාතනයේ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත (සී.අයි.ඩී.) භාරදී ඇත.
මෙම ඝාතනය සිදුවූ බොරැල්ල කනත්ත භූමියේ හෝ ඒ අවට සී සී ටී වී කිසිවක් සවිකර නොතිබීම විමර්ශනවලට විශාල බාධාවක් බව පොලිසිය පවසයි.
ඝාතකයන් මෙම ප්‍රදේශයේ සීසීටීවී සවිකර නොමැති බව කලින් නිරීක්‍ෂණය කර එම ප්‍රදේශයේදී මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමට පුද්ගලයන් දෙදෙනකු හෝ තිදෙනකු සම්බන්ධ වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මේ අතර මෙම ඝාතනය සිදුවූ කාලසීමාවේ ඊට පෙර ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය වෙත ලැබුණු සැකකටයුතු ඇමතුම් කීපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට මෙම ක්‍රිකට් විචාරකයා ශාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 400 ක මුදලක් ණයට ලබාගෙන එය ගෙවීම පැහැර හැර තිබී ඇත. එම මුදලින් කෝටි 180 ක් ආපසු ගෙවන ලෙස වාණිජ අධිකරණයක් මගින් ක්‍රිකට් විචාරකවරයාට නියෝගයක් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ද පැමිණිලි කීපයක් කර තිබී ඇත. මෙම මුදල් සිද්ධිය මුල්කරගෙන ශාෆ්ටර් මහතා සහ ක්‍රිකට් විචාරකයා අතර කාලයක සිට විශාල ආරවුලක් තිබූ බව පොලිසිය පවසයි.
ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වූ පසුගිය 15 වැනිදා සවස 3.00 ට පමණ ඒ මහතා කොළඹ මල් පාරේ පිහිටි නිවසින් පිටවී ඇත්තේ අදාළ මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් කතා කිරීම සඳහා ක්‍රිකට් විචාරකයා හමුවීමට යන බව සිය බිරිඳට පවසමින්ය.
සවස 3.00ට පමණ ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර ඊට ටික වේලාවකට පසු ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී නැත.
ශාෆ්ටර් මහතාගේ බිරිඳ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත. පසුව ශාෆ්ටර් මහතාගේ බිරිඳ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය සොයාගෙන ඒ මහතා පිළිබඳව සොයා බලන ලෙස ජනශක්ති ආයතනයේ නිලධාරියකු පිටත් කර ඇත.
ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය බොරැල්ල කනත්ත ආසන්නයේ ඇති බව සොයාගත් ජනශක්ති ආයතනයේ නිලධාරියා එම ස්ථානය වෙත ගොස් ඇත්තේ සවස 4.00ට පමණය. ඒ වනවිට ශාෆ්ටර් මහතාගේ මෝටර් රථය කනත්ත ආසන්නයේ පාළු ප්‍රදේශයක නතර කර තිබී ඇත. ශාෆ්ටර් මහතාගේ දෑත් දෙපා බැඳ දමා වයරයකින් ගෙල සිරකර තිබෙනු දුටු ජනශක්ති ආයතනයේ නිලධාරියා කෑගසා අවට සිටි අයගෙන් උපකාර ඉල්ලා තිබේ.
ඒ අවස්ථාවේ එහි පැමිණි බොරැල්ල කනත්තේ සේවය කරන පුද්ගලයකු සහ තවත් කීපදෙනකු ශාෆ්ටර් මහතා මෝටර් රථයෙන් ඉවතට ගෙන වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
එහිදී දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ඒ මහතා එදින රාත්‍රි 11.30ට පමණ මියගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දසදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයකු වූ චන්ද්‍ර ශාෆ්ටර් මහතාගේ පුත්‍රයා වන දිනේෂ් ශාෆ්ටර් මහතා මියයන විට 51 වැනි වියේ පසුවූ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා සිකුරාදා (16දා) නියෝගය කළේය.
බ්‍රයන් තෝමස් මහතාට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවත් එම අංක දෙකටම අදාළව මෙසේ විදේශ ගමන් තහනම පනවන බවත් අධිකරණය නියෝග කළේය.
හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ