එලොව ගිහින් මෙලොව ආව කරුණාවතී අම්මා

508

වැවක පාසි අතරේ සිර වී සිටි 79 හැවිරිදි වයෝවෘද්ධ මවක් මියගොස් ඇතැයි සිතා අවමංගල්‍ය උත්සවයට නිවස සූදානම් කරමින් තිබෙන මොහොතේ එම මව මියගොස් නැතැයි තහවුරු වූ පුවතක් කුරුණෑගල පොල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අදාළ මව ප්‍රදේශවාසීන් එක්ව ප්‍රතිකාර සඳහා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පෙරේදා පියවර ගත්හ.

ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කුරුණෑගල, පොල්පිටිය පදිංචි ආර්. පී. ඩී. කරුණාවතී නමැති දෙදරු මාතාවකි.

ඇය නිවැසියන් සමඟ 19 වැනිදා රාත්‍රියේ නින්දට ගිය ද පෙරේදා (20 දා) උදේ ඈ නිවසේ සිට නොමැත. පසුව නිවැසියන් ඇය සොයා නිවස අසල පිහිටි පොල්පිටිය වැව ප්‍රදේශයේ සෝදිසි කර ඇත.

එහිදී කරුණාවතීගේ අත්වාරුව හා පාවහන් යුගලය සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය.

කරුණාවතීගේ බෑනා වැවට බැස සෝදිසි කළේ ඉන් පසුවය.

වැවේ පාසි අතර ගිලී සිටි කරුණාවතී සොයා ගන්නට හැකි වුවද එහිදී ඇය කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. මේ නිසා ඇය මියගොස් ඇතැයි සිතූ බෑනා මේ ගැන කටුපොත පොලිසියට දැනුම් දී තිබේ.

කරුණාවතී මියගොස් ඇති බවට ගම පුරා පැතිර ගිය ආරංචියෙන් එම වැව අසලට එය දැකබලා ගන්නට අති විශාල පිරිසක් ඒකරාශී වන්නට වූහ.

පොලිසිය හා හදිසි මරණ පරීක්‍ෂකවරයා පැමිණෙන තුරු ඔවුන් එම ස්ථානයේ රැඳී සිට ඇත.

මේ අතරේ කරුණාවතී මියගිය බව සිතා නිවැසියන් අවමංගල්‍ය කටයුතු සඳහා නිවස සූදානම් කරමින් තිබී ඇත.

කෙසේ වෙතත් මේ ගැන අවධානයෙන් සිටි තරුණයන් කීපදෙනකු කරුණාවතී සිටි ස්ථානය සෙලවෙන අයුරු දැක ඇත.

ඒ අනුව එක් තරුණයෙක් අදාළ ස්ථානයට යෑම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

පසුව කඹයක් ද රැගෙන වැවට ගිය තරුණයන් පිරිස කරුණාවතී සිටි ස්ථානයට ගොස් ඇයව ගොඩට රැගෙන ඒමට සමත් විය. අනතුරුව ප්‍රදේශවාසීහු කරුණාවතීව රෝහලට රැගෙන යෑමට පියවර ගත්හ.

කරුණාවතීගේ ඥාතීහු මෙසේ කීහ.

“කතා කළේ නැහැ. මම හිතුවේ මැරිලා කියලා. පොලිසිය ඇවිත් කටඋත්තරත් ගත්තා. මල් ශාලාවේ කට්ටියත් ඇවිත් හට්ගහලා මළ ගෙදරටකට අවශ්‍ය දේවල් ලෑස්ති කළා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment