ජන්මියාගේ නැගීම සහ වැටීම තීරණය කෙරෙන ලග්නාධිපති

151

ඕනෑම කේන්ද්‍රයක ලග්න රාශියට අධිපති ග්‍රහයා ලග්නාධිපති වේ. තවදුරටත් සරලකොට කිවහොත් කොටු දොළසකින් සමන්විත කේන්ද්‍රයේ පළමු කොටුව ලග්නය වේ. එම ලග්නයට අධිපති ග්‍රහයා ලග්නාධිපතියා වේ. කේන්ද්‍රයේ බලය රඳා පවතිනුයේ ලග්නාධිපතියා මතය. ජන්මියා නඟාසිටුවීමට, ජන්මියා ප්‍රබලයකු බවට පත් කිරීමට ලග්නාධිපතියාගේ බලය අනිවාර්ය වේ. එමෙන්ම ජන්මියා තත්ත්වයෙන් පහත වැටීමට, දුබලයකු වීමට ලග්නාධිපතියාගේ දුබලතාව බලපානු ඇත.

ලග්න දොළහට හිමි ලග්නාධිපතියන් මෙසේය.

මේෂ ලග්නයට හා වෘශ්චික ලග්නයට කුජ හෙවත් අඟහරු ලග්නාධිපති වේ.

වෘෂභ ලග්නයට හා තුලා ලග්නයට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නාධිපති වේ.

මිථුන හා කන්‍යා ලග්නයට බුධ ග්‍රහයා ලග්නාධිපති වේ.

කටක ලග්නයට සඳු ග්‍රහයා හෙවත් චන්ද්‍රයා ලග්නාධිපති වේ.

සිංහ ලග්නයට රවි ග්‍රහයා ලග්නාධිපති වේ.

ධනු ලග්නයට හා මීන ලග්නයට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නාධිපති වේ.

මකර ලග්නයට හා කුම්භ ලග්නයට ශනි හෙවත් සෙනසුරු ලග්නාධිපති වේ.

යම් ජන්මියකුගේ ලග්නාධිපති ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්‍ර මිත්‍ර හෝ නීච භංග රාජ යෝග බලයෙන් යුතු නම් ලග්නාධිපතියා බලවත් වේ. එවැනි ජන්මීන්ට කීර්තිය, ප්‍රශංසාව, බලය නිතැතින් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ ශරීර ශක්තිය හා පෞරුෂය බොහෝ ප්‍රබලත්වයක් ගනී. යම් හෙයකින් ලග්නාධිපතියා සතුරු, සතුරු මුඪ හෝ භංග නොවන නීචයක වී නම් එම ලග්නාධිපතියා දුර්වලය. එමෙන්ම ලග්නාධිපතියා 6,8,12 වැනි දුෂ්ඨස්ථානගත වීම ද ලග්නාධිපති දුබල වන පිහිටීමකි. තවද ලග්නාධිපති මතට වැටෙන අශුභ දෘෂ්ටි මෙන්ම ලග්නාධිපතියා අස්ථ වීද ග්‍රහ යුද්ධ ආදියෙන් පැරදී ඇත්ද යන්න මත ලග්නාධිපති දුබල වී යයි. එසේ ලග්නාධිපති දුබල වීම නිසා ජන්මියා පෞරුෂයෙන් හීන පුද්ගලයකු බවට පත් වේ. ජීවිතයේ ඉදිරියට නොයන බියගුලු චරිතයක් පෙන්නුම් කරයි. එමෙන්ම සමාජයේ නරක යැයි සම්මත වැඩවල නිරත වන බැවින් අපකීර්තිය නිතර පැතිරේ. ශරීර ශක්තියෙන් දුබල මොවුන් නිතර ලෙඩ රෝගවලට ගොදුරු වේ.

ලග්නාධිපතිට සුභ ස්ථාන ලෙස කේන්ද්‍රයේ ලග්න භාවය, පස්වැන්න හා නවවැන්න සඳහන් කළ හැක. එමෙන්ම කේන්ද්‍රයේ 6 වන භාවය, 8 වන භාවය හා 12 වන භාවය ලග්නාධිපතිට සුභ නැත. මෙම පිහිටීම ලග්නයෙන් මෙන්ම සඳුගෙන් වීම ද අශුභය. ලග්නාධිපති සිටින ස්ථානයට දෙපස සුභ ග්‍රහයන් සිට සුභ කර්තරී වීම මගින් ලග්නාධිපති බලවත් වන අතර අශුභ ග්‍රහයන් ලග්නාධිපති දෙපස සිට පාප කර්තරී වීම මගින් ලග්නාධිපති දුබල වී යයි. තවද ලග්නාධිපති සුභ ග්‍රහයන් සමග යෝගව සිටීම හෝ සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම මගින් ද ලග්නාධිපති බලවත් වේ. නවාංශක කේන්ද්‍රය මගින් ද ලග්නාධිපතිගේ බල දුබලතාව පරීක්ෂා කළ හැක. ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත් වුවද නවාංශක කේන්ද්‍රයේ ලග්නාධිපති දුබලභාවයෙන් පසුවේ නම් ලග්න කේන්ද්‍රයේ බලවත්කම හීන වී යයි. එමෙන්ම ලග්නාධිපති ලග්න කේන්ද්‍රයේ දුබල වුවද, නවාංශක කේන්ද්‍රයේ බලවත් නම් ලග්න කේන්ද්‍රයේ දුබලතාව මඟහැරී ප්‍රබල තත්ත්වයකට පත්වේ.

ලග්නාධිපති බලවත් වන ආකාරයේ පිහිටීම් බොහොමයක් කේන්ද්‍රයේ වේ. ඉහත සඳහන් කරුණුවලට අමතරව ලග්නාධිපති යෝගවන භාවාධිපතියා අනුව ද එම බලවත්කම පෙන්නුම් කරයි. ප්‍රබල ලග්නාධිපතියා 11 අධිපතියා සමග යෝග වූයේ නම් 11 අධිපතියා ද ප්‍රබලව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇයගේ ආදායම් මාර්ගය ශක්තිමත් කරයි. එමෙන්ම ප්‍රබල ලග්නාධිපතියා 5 අධිපතියා සමග යෝග වේ නම් එම අධිපතියා ද ප්‍රබල වන අතර අදාළ ජන්මියාට අධ්‍යාපනය මගින් උසස් තැනකට යෑමට භාග්‍ය ලැබේ. ප්‍රබල ලග්නාධිපතියා 10 අධිපතියා සමග යෝග වූයේ නම් එම 10 අධිපතියාත් ප්‍රබලව පසුවේ නම් ජන්මියාගේ රැකියාව ප්‍රබල එකක් වනු ඇත. මෙලෙස අනිකුත් භාවාධිපතීන් සමග යෝග වීම ද ඒ අංශයනට අදාළව සුභ ඵල උදාකරයි. එහිදී ලග්නාධිපති මෙන්ම අදාළ භාවාධිපතියා ද ප්‍රබල තත්ත්වයෙන් පසුවිය යුතුය. යම් හෙයකින් ලග්නාධිපති හා භාවාධිපති යන දෙදෙනාම දුබල තත්ත්වයේ පසුවුණි නම් එම භාවයෙන් කියැවෙන සුභ ඵල නැතිවී අසුභ ඵල ලබා දේ. දෙදෙනාගෙන් ලග්නාධිපති සුභ වී භාවාධිපති අශුභ වුවහොත් අදාළ භාවයේ සුභ ඵල හීන කරයි. තවද ජන්මියාගේ වර්ග කේන්ද්‍ර ගැන සැලකීමේදී ද ලග්නාධිපතිගේ බලය සඳහන් කළ හැක. ජන්මියාගේ වර්ග කේන්ද්‍ර කිහිපයකම ලග්නාධිපතියා බලවත් වීම තුළින් පුද්ගලයාගේ බලය දෙගුණ තෙගුණ වී යයි.

ලග්නාධිපති සම්බන්ධ වීමෙන් විවිධ යෝග ගණනාවක් නිර්මාණය වන බව ජ්‍යොතිෂයේ සඳහන්ය. ඒවා අතර ඉෂ්ට බල යෝගය, චාමර යෝගය, පුෂ්කර යෝගය, පරිජාත යෝගය, ලක්ෂ්මී යෝගය, අමලා යෝගය, වාසුමතී යෝගය, අධි යෝගය මුල්තැන ගනී. එමෙන්ම ලග්නාධිපතියා සිටින රාශිය අනුව පලාපල විවිධ වේ.

ලග්නාධිපති ලග්නයේ සිටින ජන්මියා දැඩි උත්සාහවන්ත, එම උත්සාහයෙන් බොහෝ දියුණු වන ධනවත්, බලවත් චරිතයක් වේ.

ලග්නාධිපති දෙවැන්නේ වේ නම් විවිධ ක්‍රම උපායන් මගින් ධනය උපයන, එම ධනය හොඳින් යොදවා ජීවිතය දියුණුවට ගෙනියන ප්‍රබල ධනවතෙක් බවට පත්වේ. මොවුන් සතු තැන්පත් ධනය වැඩිය.

ලග්නාධිපති කේන්ද්‍රයේ 3 වැන්නේ වේ නම් ඔහු හෝ ඇය උත්සාහවන්ත මෙන්ම ධෛර්යවන්ත අයෙකි. තම සහෝදරයන් වෙනුවෙන් නොයෙකුත් කැප කිරීම් කරන සහෝදරයන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අය වේ.

ලග්නාධිපති කේන්ද්‍රයේ 4 වැන්නේ වේ නම් ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවට බොහෝ දස්කම් පෙන්වයි. එමෙන්ම යාන වාහන, වතුපිටි ආදිය ලබන අතර මේවා ලැබීමට ප්‍රමාදය ඇති වේ. ජීවිතයේ මුල් කාලයට වඩා මොවුන්ට මේවා ලැබෙනුයේ ජීවිතයේ අගභාගයේදීය.

ලග්නාධිපති ජන්ම කේන්ද්‍රයේ 5 වැන්නේ වේ නම් එම ජන්මියා අධ්‍යාපනයෙන් දියුණු වන අතර දරුවන් සිටින කලක එම දරුවන් ද හොඳින් හැදෙන, සමාජයට වැඩදායී යහපත් දරුවන් වන පිහිටීමකි.

ලග්නාධිපති 6 වැන්නේ වීම සුභ නැත. නිතර රෝගී වීම අනුන්ගේ බැලමෙහෙවර කිරීම, බලාපොරොත්තු කඩවීම, දියුණු වීමට හෝ තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි විය යුතුයි.

ලග්නාධිපති 7 වැන්නේ වීමෙන් ජන්මියා ප්‍රේමයට, ආදරයට බොහෝ කැමති පුද්ගලයකු බවට පත්වේ. මීට අමතරව මොවුන් උසස් පුද්ගලයන්ගේ ඇසුර ලබන අතර වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියයි.

ලග්නාධිපති 8 වැන්නේ පිහිටීම එම පුද්ගලයාගේ සෞඛ්‍යයට අහිතකර ආකාරයට බලපාන පිහිටීමකි. තමන්ගේ ජීවිතය යහපත් කර ගැනීම මෙන්ම අයහපත් කර ගැනීමත් තමා සතු වේ.

ලග්නාධිපති 9 වැන්නේ වීම ඉතා සුභඵල ගෙනදෙන පිහිටීමකි. ධාර්මික ජීවිතයක් ගෙවන මොවුන් වයසට යත්ම ගෞරවනීය පුද්ගලයන් බවට පත්වේ. උසස් තනතුරු මෙන්ම පිය පාර්ශ්වයෙන් උරුම වන දේපළ ද ලබයි.

ලග්නාධිපති 10 වැන්නේ වීම ද යහපත් පිහිටීමකි. තමන්ගේ සිතඟි ඒ ආකාරයෙන්ම ඉටුවන අතර රැකියාව ද උසස් එකක් වේ. දියුණු වන චරිතයකි.

ලග්නාධිපති 11 වැන්නේ වීම ද යහපත්ය. මොවුන්ට ආර්ථික අපහසුතා නැති තරම්ය. සිතුම් පැතුම් ඉටුවන චරිත වේ. බොහෝදෙනාගේ

හිතමිතුරුකම් ලැබේ. දෙයක් කිරීමේදී සැමගේ කැමැත්ත නොඅඩුව ලැබේ.

ලග්නාධිපති 12 වීම අයහපත් පිහිටීමකි. මොවුන්ට ලැබෙන ආදායමට වඩා වියදම වැඩිය. විවිධ දුක් කරදරවලට මුහුණපාන මොවුන්, බොරු චෝදනාවලට මෙන්ම බොහෝදෙනාගේ වෛරයට ද භාජනය වේ. රහස්, ගුප්ත ජීවිතයක් ගෙවන මොවුන්ගේ මුළු අනාගතයම අඳුරු විය හැක.

ලග්නාධිපති එක් එක් රාශියේ සිටීමේ පලාපල මෙසේ වුවද පලාපල පැවසීමේදී සැලකිලිමත් විය යුතුයි. ඉහත සඳහන් පලාපල එසේම පැවසීම බොහෝවිට වැරදි වීමට පුළුවන. පලාපල පවසන ජන්මියාගේ කේන්ද්‍රයේ ලග්නාධිපති, එම කේන්ද්‍රය තුළ බලවත්ව එනම් උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර හෝ නීච භංග රාජයෝගයක සිටී නම් පමණක් උක්ත සුභඵල ලැබෙනු ඇත. මෙයට අමතරව ලග්නාධිපති ග්‍රහයා සුභ කර්තරී වී සුභ දෘෂ්ටි වැටී අස්ථ නොවී ග්‍රහ යුද්ධ ආදියෙන් නොපැරදී සිටිය යුතුයි. තවද භාව කේන්ද්‍රය තුළ ලග්නාධිපති මුල් අංශකයක පසුවේ නම් එනම් භාව ආරෝහණ නම් ඉහත සුභ ඵල නොවඩුව ලැබේ. එහිදී ලග්නාධිපති 6, 8, 12ක වී සිටී නම් ඉහත සඳහන් අශුභ ඵල අවම වී යනු ඇත.

ජන්මියාගේ නැගීම සහ වැටීම තීරණය කෙරෙන ලග්නාධිපති

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0382239729

advertistmentadvertistment
advertistmentadvertistment