ජන ජීවිතයට නැහැ අස්වැසි – දිගටම වැටෙනව මහවැසි

241

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

මල්වාන, යබරලුව, බියගම, මාබිම හා පට්ටිවිල ගඟ අසබඩ වාසය කරන්නෝ බියෙන් පසුවෙති

දොම්පේ – මල්වාන මාර්ගයේ ගමනාගමනය ඇනහිටී

මල්වාන – බියගම බියගම – කැලණිය මාර්ගවල ගමනාගමනයට බාධා

පහත්බිම්වල වගාවන්ට දැඩි හානි

දින දෙකක සිට නොකඩවාම ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් මල්වාන, යබරලුව, බියගම, මාබිම හා පට්ටිවිල යන ප්‍රදේශවල ගඟ අසබඩ වාසය කරන්නෝ ගංවතුර බියෙන් පසුවෙති.

මේ වනවිට ඇතැමුන් සිය නිවෙස් අතහැර ආරක්ෂක ස්ථාන වෙත පැමිණිමට ද පටන් ගෙන තිබේ. මේ අතර දොම්පේ – මල්වාන මාර්ගය වැසි ජලයෙන් යටවී තිබෙන බැවින් එහි ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇත. මීට අමතරව මල්වාන-බියගම මහා මාර්ගයේ හා බියගම – කැලණිය මහා මාර්ගයේ ස්ථාන කිහිපයක්ම වැසි ජලයෙන් යටවීමට පටන් ගෙන තිබෙන නිසා එම මාර්ගවල ගමනාගමනයට ද මේ වනවිට බාධා එල්ල වෙමින් පවතී. තවද මේ වනවිට එම පෙදෙස්වල පහත් බිම් වැසි ජලයෙන් යටවෙමින් පවතින අතර ඒ හේතුවෙන් එම පෙදෙස්වල වගාවන්වලට ද බලවත් හානි සිදු වී ඇත.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊයේ (11 වැනිදා) දහවල් 11.00 පමණ වනවිට කැලණි ගඟ මල්වාන ප්‍රදේශයෙන් දිස්වූ අයුරු හා මල්වාන ප්‍රදේශයේ පහත්බිම් යටවෙමින් පවතින අයුරුයි.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

කළු ගඟේ ජලමට්ට ඉහළ යෑමත් සමග ගංවතුර අවදානමක්

ජන ජීවිතයට නැහැ අස්වැසි - දිගටම වැටෙනව මහවැසි

අධික වර්ෂාපතනය නිසා කළු ගගේ ජල මට්ටම රත්නපුර ජල මාපකයට අනුව ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟාවී ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්යාලය සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ඊයේ (11 දා) උදෑසන 10.30 වනවිට කළුගගේ ජල මට්ටම මිටර් පහයි දශම තුන දක්වා ඉහළ ගොස් තිබේ. කළු ගඟේ ජල මට්ටම මීටර් පහයි දශම දෙක ඉක්මවා ගිය විට ගංවතුර අවදානම් මට්ටමට ළඟාවේ. තවදුරටත් වර්ෂාපතනය ලැබුණොත් රත්නපුර ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර වාරිමාර්ග කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

පවතින අධික වර්ෂාපතනය නිසා අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ අතර ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබිණි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

මිල්ලනිය සහ මදුරාවල පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ජන ජීවිතයට නැහැ අස්වැසි - දිගටම වැටෙනව මහවැසි

පුද්ගලයෝ 1600ක් දැඩි පීඩාවට

නිවාස හතරකට හානි 12ක් වතුරෙන් යටවෙලා

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දින තුනක පමණ කාලයක සිට පවත්නා අධික වර්ෂාව හේතුවෙන් මිල්ලනිය සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත්බිම් රැසක්ම ජලයෙන් යටවෙමින් පවතී.

මේ වනවිට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් දහයක පවුල් 342ක පුද්ගලයන් 1660 දෙනෙක් පවතින වර්ෂාවෙන් දැඩි පීඩාවට පත්ව ඇත. එසේම බල ප්‍රදේශයේ නිවාස හානි දෙකක් ද සිදුව ඇත. බල ප්‍රදේශයේ මාර්ග බොහොමයක් මේ වන විට ජලයෙන් යට වී ඇත.

මේ වනවිට මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් හයක නිවාස දොළහක් ගංවතුරෙන් යටවී ඇති අතර නිවාස හානි දෙකක් සිදුව ඇත. මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා ප්‍රවාහන දුෂ්කරතා මතුවී ඇත.

මදුරාවල සහ මිල්ලනිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාසල් සහ රජයේ කාර්යාලවල පැමිණීම ඉතාමත් අඩු මට්ටමක පවතින අතර තවදුරටත් වර්ෂාව පවතී. මේවන විට කුකුළේගග ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පවත්නා වර්ෂාවත් සමග කුකුලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ජලය පිට කිරීමේ වේගය තත්පරයට ඝන මීටර් 110 කි. බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දඹල නාලියද්ද ප්‍රදේශය ගංවතුරෙන් යටවී ඇති අතර ප්‍රවාහන කටයුතු ඇනහිට ඇත.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න


advertistmentadvertistment