ජාතික ජන බලවේගයේ සැලැස්ම සම්පත් ගොඩනැගීමයි

35

ජාජබ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ මංගල ප්‍රචාරක රැළියේදී කියයි
රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම සම්පත් විකිණීමයි

රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම තිබෙන්නේ සම්පත් විකිණිම බවත් ජාතික ජන බලවේගයේ සැලැස්ම තිබෙන්නේ සම්පත් විද්‍යාත්මකව පර්යේෂණ කර ගොඩනගා අපේ ආර්ථිකය දියුණු කිරීම බවත් එනිසා අපේ රටේ සම්පත් ඉතා හොඳින් උපයෝජනය කරමින් නව කර්මාන්ත බිහිකිරීම සඳහා නව ගමනකට අපේ රට පරිවර්තනය කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ජාතික ජන බලවේගයේ සැලැස්ම සම්පත් ගොඩනැගීමයි

අනුර කුමාර දිසානායක මෙසේ පැවසුවේ පුනරුදයට රටම එකට’ තේමාව යටතේ හොරණ නගර සභා පිටියේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මංගල ප්‍රචාරක රැළියට සහභාගි වෙමිනි.

මෑත කාලීන ලෝක ඉතිහාසයේ ජනතාව පාරට බැහැලා පාලකයෙක් පලවා හැරි ජනතාවක් අද ඉන්නේ. රනිල් වික්‍රමසිංහ තාම කල්පනා කරන්නේ ලංකාවේ පැරණි ජනතාවත් එක්ක. නමුත් අද ලංකාවේ ඉන්නේ අඑත් ජනතාවක්. මෙතන ඉන්න වැඩි පිරිසක් පැරණි පක්‍ෂවල හිටපු අළුතින් මාලිමාවට එකතුවුණ මාලිමාවේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය තබන ඒ වෙනුවෙන් වැඩකරන දහස් සංඛ්‍යාත ජනතාවක් තමයි අද මෙතන ඉන්නේ. එනිසයි කියන්නේ පැරණි ජනතාව නෙමෙයි අළුත් ජනතාව කියලා.

සජිත් ප්‍රේමදාස එක වෙලාවක කිව්වා එයාගේ ආණ්ඩුවේ හොරු අල්ලන්න සරත් ෆොන්සේකාට භාර දෙනවා කියලා. ඒ කියන්නේ පොලිස් ඇමැතිකම දෙනවා කියලා. ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලගෙන. කැසිනෝ සල්ලි ගැන කියන්නේ. එනිසා ඒ කඳවුර ගැන තවත් කතා කිරීමෙන් පලක් නැහැ.

මහජනයාගේ ධනය උපයෝගී කරගෙන රනිල්ට පක්‍ෂපාතී කණ්ඩායමට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලි බාගන්න උත්සාහ කරනවා. විපක්‍ෂයේ අසූවකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් විමධ්‍යගත අයවැයවලින් කෝටි 120ක් මන්ත්‍රිවරු දහනවයකට දුන්නා. මේවා මහජනයාගේ ධනය. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කෝටි ප්‍රාකෝටි ගණන් නාස්ති කරන්න රනිල් වික්‍රමසිංහ කැසකවමින් ඉන්නවා. විකුණන එක අපේ ආර්ථිකයේ හරි ගමනක් නම් විකුණ විකුණ ඉඳලා ආර්ථිකය ගොඩයන්න එපෑ. අපේ සියලු කර්මාන්ත පද්ධති විකුණලා දැම්මා. අපේ පාලකයෝ සියළු කර්මාන්ත වහලා දැම්මා. විකුණලා දැම්මා. මුඑමනින්ම කඩා වැටුණු රාජ්‍යක් නිර්මාණය කළා. ටෙලිකොම් ආයතනය ශ්‍රි ලංකා රක්‍ෂණ සංස්ථාව ලංකා හොස්පිට්ල් ගෑස් සමාගම් හෝටල් කලාගාර අක්කර විසිඅටදහසක

ගොවිපලවල් විකුණන්න පිඹුරුපත් සකස් වුණා. ඔන්න රනිල්ගේ වැඩ. එප්පාවල පොස්පේට් නිධිය නඩු තීන්දුවක් නිසා විකුණන්න බැහැ. නමුත් හොර පාරෙන් අමුපස් රට පටවනවා. ඔන්න එයාගේ ආර්ථික ගමන. රටේ ජාතික සම්පත් විකුණමින් අකර්මණ්‍ය කරමින් වසා දමමින් යන ගමනක්ද ඕනෙ. ජනතාවට ඕනෙ වෙනසක්.

රනිල් වික්‍රමසිංහට පුඑවන්ද හොරකම් ගැන කතා කරන්න. මහින්ද කිව්වා රනිල් හොරා කියලා. රනිල් කියනවා මහින්ද හොරා කියලා. සජිත්ට පුළුවන්ද හොරකම් ගැන කතා කරන්න. හොරකම් නතර කිරීමේ හැකියාවක් තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය විතරයි.

හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම රැළිය ජාතික ජනබල වේගය මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලංකාවේ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන ප්‍රථම රැලිය විය. මෙම ජනරැළිය අමතා හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඔෂිණි උමංගා හපුආරච්චි, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරිණි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, නීතිඥ නිලන්ති කොට්ටිආරච්චි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කතිකයින් රැසක් රැසක් ඇමතූහ.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment