ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ගනයේ සාහිත්‍යධරයකු, කවීන්ද්‍රයකු, සංස්කෘතික කලා ප්‍රාඥයකු මතු නොව, අභීත විචාරකයකු හා දේශපාලන චින්තකයකු ද වන ආචාර්ය ගුණදාස අමරසේකර සූරීහු ඉකුත් නොවැම්බර් 12 වැනිදා සිය දිවිමඟෙහි අනූපස් වන වියට සපුරාලූහ.

ගාලු දිස්ත්‍රික්කයේ යටලමත්ත ග්‍රාමයෙහි ජන්ම ලාභය ලද ඔවුන් විසින් මෙරටේ සාහිත්‍ය කලා ධාරාවන් අරබයා කරන ලද සම්ප්‍රදානයන් වුවද අසාමාන්‍ය ද සුවිශිෂ්ට ද වේ. ඉහත සඳහන් කළ නන්විද සාහිත්‍ය කලා භූමිකාවන් ස්වකීය දුර්ලභ ප්‍රතිභාවෙන් ද පාණ්ඩිත්‍යයෙන් ද උජ්වලිත කළ අමරසේකරයන්ගේ කීර්ති ප්‍රශංසා රශ්මි මාලා සමස්ත ධරණි තලය ම සිසාරා පැතිර ගොස් ඇත. ඔවුන් දායාද වශයෙන් ලද නෛසර්ගික ප්‍රතිභාව ද නිර්මල සංස්කෘතික පරිචයෙන් උද්දීපනය වූ නිර්මාණ සමුච්චයද ඔවුන්ගේ විශිෂ්ටත්වයට දෙස් දෙන්නකි. ඒ ඒ සෞන්දර්ය කලා භූමි විභූෂණය කළ අමරසේකරයන් සදිසි උතුමෝ වෙත්නම් ඒ ස්වල්ප වශයෙනි. තම තමන්ගේ නම්වලට නානප්‍රකාර වන වාසගම් ඈදා ගත් ඇතැම් අල්පශ්‍රැත අල්ප පඨික ව්‍යාජ දෘෂ්‍ය රූප අතර අමරසේකරයන්ගේ ප්‍රතිභා ලීලාව ද සරල නිහතමානී ගුණය ද පසළොස්වක සඳක් සේ සුදිලෙයි. අමරසේකරයන්ගේ ඒ උත්තුංග සාහිත්‍ය කලා දර්ශන මෙහෙවරෙන් බිඳක් හෝ උපුටා දැක්වීමට අප දරන තැත අපට සිහි කරන්නේ ද සාගර ජලය සිඳින්නට ලේනකු විසින් ගන්නා ලද උත්සාහය මතක් කළ බුදුගුණ අලංකාර කවියාගේ උපමාවමය. එනිසා ම ඒ කාර්ය ප්‍රාමාණික විද්වතුන්ට භාර කර ඔවුන් පිළිබඳ අපගේ ධාරණාවන්ගෙන් බිඳක් මෙහි දක්වම්හ.

අමරසේකර සූරීන් වරප්‍රසාද සහිත පන්ති සමාජයට අයත් නොවූවද ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සහිත මධ්‍යම පන්තික ජීවිතයක උරුමය හිමිව තිබුණි. සිංහල වෙද මහතකු වූ පියා (හෙන්ද්‍රික් සූරියාරච්චි අමරසේකර) හා පාසල් මුල්ගුරුවරියකවූ මව (ඇග්නස් කාරියවසම් බටුවත්ත) එකල ගමෙහි ප්‍රභූවරු සේ බුහුමන් ලද්දෝය. ගමේ පාසලේ පස්වැන්න තෙක් උගත් අමරසේකරයන්ගේ ද්විතීය අධ්‍යාපන විද්‍යාලය වූයේ කොළඹ නාලන්දාවය. එහිදී උසස් පෙළ සමත්වන ඔවුන්ට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ භාග්‍ය හිමිවෙයි. 1957 දී දන්ත වෛද්‍යවරයකු ලෙස සමත්ව 1986 දී ඒ සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වනවිට ඔවුහු ස්වකීය වෘත්තීය ජීවිතයෙහි සියලු කඩඉම් ජයගෙන එහි විශිෂ්ට කාර්ය සාධනයකට ද හිමිකම් කීහ. මේ ඔවුන්ගේ වෘත්තීය ජීවිතයෙහි අප අසා පුරුදු තොරතුරුවල සංක්ෂිප්ත සටහනකි.

අප මෙන්ම මෙරටේ සාහිත්‍ය කලා රසික පරපුර ද අමරසේකරයන් හඳුනන්නේ සාහිත්‍ය කලා සෞන්දර්ය හා සමාජ දේශපාලන ක්‍රියාකාරී පසුබිමක පුරෝගාමියකු ලෙසය. අමරසේකරයන් මා මුල්වරට හඳුනාගන්නේත් හැටදසකයේ අග භාගයේදී පමණ අප පේරාදෙණි සරසවි සිසු මානවකයන් ලෙස සිටි සමයෙහිදීය. පේරාදෙණි සාහිත්‍ය ව්‍යාපාරයෙහි සමාරම්භකයකුව සිටි ඔවුහු ඒ වනවිට සාහිත්‍ය සමාජයෙහි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකටව සිටියහ. අමරසේකරයන්ගේ සාහිත්‍ය කලා දොරටුව විවර වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මැදිහත්වීම නිසා බව මගේ අදහසය. අප සමග කළ නොයෙක් සාකච්ඡාවලදී පවා අමරසේකරයෝ එය තහවුරු කළහ. මේ අමරසේකරයන් විසින්ම මා සමග කරන ලද අනාවරණයකි.

“මගෙ හිතේ ඒ 1950 නැත්නම් 51 වගෙ. ජාත්‍යන්තර කෙටිකතා එකතුවකට යවන්න මං ලියපු “සෝමා” කියන කතාව මායි අයියයි එකතු වෙලා ඉංග්‍රීසියට පරිවර්තනය කළා. පස්සෙ මට හිතුණා ඒක ගිහිල්ල සරච්චන්ද්‍ර මහත්තයට පෙන්නල උපදේශයක් ගන්න ඕන කියලා. පස්සෙ මායි අයියයි දෙන්න එක්ක ගියා සරච්චන්ද්‍රගේ ගෙදරට. ඒ කාලේ සරච්චන්ද්‍ර උන්නැහෙ හිටියෙ කොළඹ. පස්සෙ ඒක පළ වුණේ එයා කරපු පරිවර්තනේ.”

(පේරාදෙණි වාද මුසාවාද හා අවලාද – ගාමිණී සුමනසේකර – 2021 කෘතියෙහි සම්පූර්ණ විස්තරයක් ඇත.)

පසුව පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අමරසේකරයන්ට මහාචාර්ය සරච්චන්ද්‍ර සමග සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකිවී ඇත. ඉහත සඳහන් කළ කෘතියෙහි අමරසේකරයන් විසින් සරච්චන්ද්‍රයන් ගැන මෙන්ම පේරාදෙණි සාහිත්‍යය ඇතුළු සමකාලීන සාහිත්‍ය කතිකාවන් පිළිබඳව ද විස්තර ඇතුළත්ව තිබේ.

මේ දීර්ඝ සාහිත්‍ය කලා සක්මනට අමරසේකරයන්ට අප්‍රමාණ අනුග්‍රහ අනුබල දුන්නාහු මහාචාර්ය සරච්චන්ද්‍රයෝය. 1953 “රතු රෝස මල” කෙටිකතා කෘතිය රචනා කළ අමරසේකරයන්ට “ජීවන සුවඳ” – 1956 කෙටිකතා සංග්‍රහය පළ කිරීමට දිරි ලැබුණේ ද පේරාදෙණි ශිෂ්‍යයකුව සිටිය දීමය. ඔහුගේ කාව්‍ය සංග්‍රහ දෙකක් වන භාව ගීත (1955) උයනක හිඳ ලියූ කවි (1957) නිකුත් වන්නේ ද ඒ කාලයේ දීමය. ඇත්ත වශයෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍ර ඇසුර නිසා අමරසේකරයන්ගේ හද තුළ නිධන්ව තිබුණු ප්‍රතිභා කලා සංස්කෘතික උල්පත් පෑදුණු බව මගේ අදහසය. එයට මුල්ම ආභාසය ලැබුණේ යටලමත්ත මහගෙදර දීම වියයුතුය. ප්‍රාචීන පඬිවරයකු ද වූ අමරසේකරයන්ගේ පියාගේ මුවඟ නිතර රැව් දුන් සම්භාව්‍ය සාහිත්‍යයෙහි ඇතැම් වග වාසගම් මෙන්ම සංස්කෘත ශ්ලෝකද අමරසේකර සිසු මනසෙහි තැන්පත්ව තිබුණි. අම්මාගේ සාහිත්‍ය ඉගැන්වීම් ද ඔහු තුළ සෞන්දර්යාත්මක කම්පනයකට තුඩු දුන් බව නිසැකය. මේ සාහිත්‍යය හා සංස්කෘතික ප්‍රාග්ධනය රැගෙන කොළඹට පැමිණි තරුණ අමරසේකරයන්ගේ නිර්මාණ ජීවිතයට ඉන් ලද උත්තේජනය කෙබඳු දැයි අමුතුවෙන් කිවයුතු නැත. අමරසේකරයන්ගේ විනෝදය හා විචාරය (1955) සාහිත්‍ය හා කලාව පිළිබඳ ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඉදිරිපත් කළ කතා පෙළක් ලෙස පළවී තිබේ. ඒවා සරලව ඉදිරිපත් වූ ලිපි මාලාවකි. මා මෙය සඳහන් කළේ ඔවුන් තුළ වූ සාහිත්‍ය ලෝලීත්වය කෙබඳුදැයි පෙන්වා දීමය. ඔහුගේ සාහිත්‍ය ආමන්ත්‍රණය චිර කාල අභ්‍යාසයක් වූ බව තහවුරු කිරීමටය.

අමරසේකරයන්ගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානයන් නොතකා හෝ ඒවා මඟහැර යෑමට ද සිංහල සාහිත්‍ය පාඨකයාට හෝ විචාරකයන්ට නොහැකි බව පමණක් සඳහන් කරන්නේ ඒ සාහිත්‍ය කලා මහමෙර දෙස බිම සිට බලන කුඩා මිනිසකු ලෙසය. ඔහුගේ කරුමක්කාරයෝ (1955) සමග සමාජගත වන නවකතා අතර යළි උපන්නෙමි (1960) දෙපා නොලද්දෝ (1962) ගන්ධබ්බ අපදානය (1966) අසත්‍ය කතාවක් (1977) ප්‍රේමයේ සත්‍ය කතාව (1978) මගේ මතකයට නැඟෙයි. මේවා අතරින් විශාල සමාජ කතිකාවකට තුඩු දුන් නවකතා ලෙස කරුමක්කාරයෝ හා යළි උපන්නෙමි හැඳින්විය යුතුය.

මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් මෙම යළි උපන්නෙමි නවකතාව පිළිබඳ දැක්වූ අදහස් එකල දැඩි විවාදාත්මක විය. මෙම නවකතාව ඉංග්‍රීසියට නඟා ජගත් නවකතා ක්ෂේත්‍රයට එක් කළ යුතු යැයි සරච්චන්ද්‍රයන් විසින් කරන ලද යෝජනාව මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ද දැඩි විවේචනයට ලක් වූවකි. එපමණක් නොව, පේරාදෙණිය සාහිත්‍ය ව්‍යාපාරයේ පුරෝගාමීන් ලෙස සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සිරි ගුණසිංහ මෙන්ම ආචාර්ය ගුණදාස අමරසේකර යන සිවුදෙනාට මෙරට සාහිත්‍යයේ ප්‍රබලම සෙන්පතියන් සිවුදෙනා බව ද අප සඳහන් කරන්නේ ඒ පිළිබඳ තිබෙන සාධනීය විවේචන ද පිළිගනිමින්ය. ඒ කුමක් වුවත් අමරසේකරයන් පේරාදෙණි සාහිත්‍ය සමාජයෙන් අබිනික්මන් කරමින් මෙරටේ සාහිත්‍ය කලා පුනරුදයේ නව පරිච්ඡේදයක සමාරම්භකරුවා බවට ද පත්විය.

අමරසේකරයන් හා සරච්චන්ද්‍රයන් අතර තිබුණේ ගුරු ගෝල සබඳතාවක් නොව, සාහිත්‍යමය බැඳීමකි. ඔවුහු සමීප මිතුරෝ වූහ. සාහිත්‍ය ක්ෂේත්‍රයේ සමීප ගනු දෙනු කුමක් වුවමත් ඒවා විවෘත මනසකින් ආවර්ජනය කිරීමට ද අමරසේකරයෝ සමත් වූහ. විශේෂයෙන් ඔහුගේ පසුකාලීන සාහිත්‍යය කෙරෙහි වඩාත් බලපෑවේ ජාතික හා සංස්කෘතික හේතු බව පැහැදිලිය. මෙරටේ මැද පන්තියේ පරිණාමය සමාජ සංස්කෘතික දේශපාලන සන්දර්භයක් තුළ ප්‍රතිනිර්මාණය කරමින් ගමනක මුල (1984) ගම්දොරින් එළියට (1985) ඉණිමඟේ ඉහළට (1992) වංක ගිරියක (1993) යළි මඟ වෙත (1993) දුරු රටක දුකට කිරිය (2001) ගමනක මැද (2006) අතරමඟ (2009) මෙන්ම ගමනක අග (2010) යන නවකතා මාලාව ඉදිරිපත්ව තිබේ. “මහගෙදර” (2023) නමින් ලියූ නවකතාව ද සුවිශේෂ අගයකින් යුතු ඔහුගේම සමාජ සංස්කෘතික කම්පනයන් අනාවරණයකි. මා නම්නොකළ තවත් නවකතා කීපයක්ම ඇත. යටලමත්තේ ගමින් කොළඹට පැමිණි ඔවුන්ගේ නිර්මාණ ජීවිතය සුපෝෂණයේ මුල්යුගය පේරාදෙණි සමය සමග බැඳී පවතින්නකි. එහෙත් ඔහු ඒ ඇතැම් ව්‍යාජ වටිනාකම් බැහැර කළ සිය ජාතික සංස්කෘතික මහ පොළොව මත දෙපා රඳවා ගත් සිංහයකුයි ද මට අප්‍රමාණව සිතුණි. ඇත්තට ම ඔහුගේ කෙටිකතා ගැන ද සිහිපත් කළ යුතුය. එකම කතාව (1969) එක්ටැමෙන් පොළොවට (1972) කතාපහක් (1983) ගල් පිළිමය සහ බොල් පිළිමය (1989) මරණ මංචකයේ දුටු සිහිනය (1998) විල්තෙර මරණය (2007) කියනු මැන දිවි අරුත (2013) ඒවා අතර වේ. මේවා පිළිබඳ සැකෙවින් හෝ යමක් ලිවීමට මේ අවස්ථාව නොවේ.

කෙසේ හෝ අමරසේකරයන්ගේ සාහිත්‍ය කලා පාරමිතාවේ අග්‍රඵලයක් ලෙස මා දකින්නේ ඔහුගේ කාව්‍ය නිර්මාණ කීපයයි. 1971 අප්‍රේල් කැරැල්ලේ කම්පනය ඔහුගේ පසුකාලීන නිර්මාණවල පමණක් නොව, වෙනත් ලිපි ලේඛනවල ද දැක ගතහැකි විය. ආවර්ජනා කාව්‍ය සංග්‍රහයෙහි එන දිනපොතේ ලියූ කවිය බොහෝ අවධානයට ලක්වූ නිර්මාණයකි. මේ එහි එක් කවියකි.

“උඹේ මුද්ද අත්ඔරලෝසුව පෑන
ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොටද
මතක් වෙන්නවද නැත්නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නටද?”

මෙහි එන මෙම කවද සුවිශේෂය.

“මම කවියෙකි හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එදුක ලොවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම”

මෙරටේ තරුණ පරපුර පිළිබඳව තමන් හද ගැහෙන රාවයන්, දේශපාලන භාරකාරත්වයෙහි නග්න ස්වරූපයත් මෙහිලා කවියාගේ විවේනයට හසුවෙයි. සිංහල කවිය එහි ආකෘතිය හා භාෂාව ගැන ඔහු විසින් දක්වන ලද අදහස් ද බොහෝය. සිංහල කාව්‍ය සම්ප්‍රදාය (1996) තුළින් ඔහු පවසන්නේ ද අපේ හදවත් කවිය බවය. මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක ස්වරූපය ගත් එසේම කවිය පිළිබඳ තිසරු මත විවේචනයට ද හසු කරන විචාරාත්මක කෘතියකි. නිසඳැස් කවිය ගැන ඔහු දක්වන අදහස් ප්‍රබලය. ජනකවිය කෙරෙහි ඔහු දක්වන රුචිය ද ඉතා පැහැදිලිය. ඔහුගේම අමල්බිසෝ රචනාව හා අසක්දා කව (2003) මගේ මතකයට නැඟෙයි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ දෘෂ්‍ය කාව්‍ය ගැන මෙහි එන විග්‍රහය ද අගය කළ යුතුය. පැරණි කව් බසෙහි රුව, ගුණ, තෙද ඔහු මෙහිදී සිහිපත් කරයි. නූතන කවීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු ගණනාවක්ම මෙහිදී ඔහු ඉදිරිපත් කර ඇත.

අවසන් වශයෙන් සැකෙවින් හෝ අමරසේකරයන්ගේ විචාර භූමිකාව හා දේශපාලන සංස්කෘතික චින්තන ධාරා උල්පත් වෙත ද අවධානය යොමු කළ යුතුය. ඔහුගේ අලියා සහ අන්ධයෝ (1966) ඔහුගේ සාහිත්‍ය නිර්මාණ හා විචාර ආකල්ප පිළිබඳ අතීත මං සලකුණක් වැන්න. මෙහි අඩංගු ලිපි ඔහුගේම මතවාද යළි විමසූවිට ලක් කරනසුලුය. ඒ ඔස්සේ පැරණි පේරාදෙණී සාහිත්‍යය මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ හා සරච්චන්ද්‍ර ගැන ද අලුත් කියැවීමකට අපට ආරාධනා කර තිබේ. ඔහුගේ තවත් විචාර කෘතියක් වන අබුද්දස්ස යුගයක් (1976) පේරාදෙණියට එල්ල කළ තවත් ප්‍රහාරයක් වැන්න. අමරසේකරයන් මෙහිදී යොදාගත් “පේරාදෙණී වස්සන්” වැනි නිර්දය යෙතුම් ද වියත් සබා මැද සංවාදයට ලක්ව තිබේ. මෙහිලා ඔහු අවධාරණය කරනු ලබන සාහිත්‍ය විචාරය සංස්කෘතික විවේචනයක් විය යුතුය යන අදහස ද සංවාදයට ලක් වූවකි. විචාරකයන්ගේ දෑස් අඳ කළ සන්දර්භ මෝස්තර ද එහිදී ඔහු හෙළා දකී. අමරසේකරයන් පසුකාලීනව අගය කළ ජාතික සංස්කෘතික වටිනාකම් පිළිබඳ බීජය හඳුනාගැනීමට ද මේ කෘතිය ඉවහල් වනු ඇත. ඔහු විසින් උත්කර්ෂයට නංවන ලද අනගාරික ධර්මපාල චින්තනය මෙන්ම මුල් යුගයේ පියදාස සිරිසේන වැනි ලේඛකයන්ට දැක්වූ ගෞරවය ද අපට හඳුනාගත හැකිය. ධර්මපාලතුමන්ගේ ජාතික අරගලය හා පියදාස සිරිසේනගේ නවකතා ඔහු සංවාදයට ලක් කරන්නේ බටහිර ගැති කොමිප්‍රදෝරු, කළු සුද්දන් කෙරෙහි වූ කෝපය ද සමගය. ඔහුගේ අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද? (1980) කෘතිය ඔහුගේ ජාතික සංස්කෘතික මනස විදහාපාන අපූර්ව කැඩපතක් වැන්න.

ඔහු විසින් ලියන ලද “ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු” (1988) අරුණලු සෙරෙන් අරුණෝදයට (1991) යහපත්ව රාජ්‍යක් කරා (2016) ඔහුගේ ජාතික චින්තන සිතුවිලි සභ්‍යත්ව හා සංස්කෘතික විඥානය ද හෙළි කරයි. ඔහු ඒ ජාතික සංස්කෘතික අභිලාෂයන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස නියෝජනය කරන භූමිකාවක් ද ඇත. ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය (1993) නමැති කුඩා පොත් පිංචක් ජනගත කරමින් ඔහු මෙරටේ විවෘත ආර්ථිකයට අධිචෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කර ඇත. නිසැකයෙන්ම ඔහු පවසන්නේ ජාතික ආර්ථිකයක් හා සංස්කෘතික අභිලාෂයක් නොමැතිව මේ රටට අනාගතයක් නොමැති බවය. අධිරාජ්‍යවාදයේ නටඹුන් මතින් නැඟෙන ඊළාම්වාදයක අනතුර ද ඔහු දකියි.

කෙසේ හෝ වේවා මේ රචනාව ආරම්භයේ දීම මවිසින් සඳහන් කරන ලද පරිදිම මෙය අතිශය සියුම්ව ද විවේක බුද්ධියෙන් යුතුව ද කළ යුතු අභ්‍යාසයකි. ඇත්තට ම අපගේ නිරන්තර ගෞරවයට ද බුහුමනට ද පාත්‍ර වූ මේ අසාමාන්‍ය වූද විරල ගනයේ චින්තකයකු වූද ගුණදාස අමරසේකර සූරීහු මේ ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි උදාර මහා පුරුෂයෙක් බව සඳහන් කළ යුතුය. සිය දිගු ජීවිත ගමනේ සැඳෑ වෙරළට සම්ප්‍රාප්තව සිටින ඔවුහු අදත් නිසසල මනසින් ද ගැඹුරු විමර්ශනයකින් ද අපගේ මාතෘ භූමිය දෙස බලා සිටියි. ඔහුගේ ජාතික සංස්කෘතික අභිලාෂයන් නිවැරදිව හඳුනා නොගත් අය මෙන්ම ඇතැම් සමාජ දේශපාලන කඳවුරුවල සිරකරුවන් බවට පත්ව සිටින්නෝ ද ඔහුට පස මිතුරුව සිටිති. එහෙත් ගොදුරු ලොව දුරු කලාවූ ද සරල නිරහංකාර ජීවිතයක යථාර්ථය පසක් කරන්නාවූද අමරසේකරයන් වැනි ප්‍රබුද්ධ සාහිත්‍යධරයන්, සංස්කෘතික කලා ප්‍රාඥයන් දුර්ලභ මෙවන් රටක ඔහුවන් ධීර වීර බලැති ශ්‍රේෂ්ඨයකු අපට ආඩම්බරයක්. ජාතියට අභිමානයක් බවද ලියා තබමි. ඔහුට තිර ජීවනයත් නිදුක් නිරෝගී සම්පතත් ප්‍රාර්ථනා කරන්නේ මේ ස්වර්ණ භූමියට විචිත්‍ර කාව්‍ය නිර්මාණ දායාද කළ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණියෙන් දෙපදයක්ද උපුටා ගනිමින්ය.

සෙනෙහස බැඳුණු තැන නොහරින කැර දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ…

ගාමිණි සුමනසේකර


advertistmentadvertistment