නවනැලියේ ඛේදවාචකය
අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ජැන්ඩි පහට ඇඳ පොල් කැඩීමේ නිරත වූ පුද්ගලයකුට දිගින් දිගටම ඒ පිළිබඳව සමච්චලයට ලක් කිරීම නිසා කුපිත වූ ඔහු තම අත රැඳි තියුණු ආයුධයකින් පහරදී විසි හය හැවිරිදි තරුණයකු මරා දමා ඇති බව පරීක්ෂණ පවත්වන ගලහා පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්තොට නවනැලිය කොටගෙපිටිය ප්‍රදේශයේ පදිංචි නදීර වසන්ත රණසිංහ යන අයයි. සැකකරු කුඩා කල නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි සිය අත්තම්මා හා සීයා ළඟ හැදී වැඩි ඇති අතර අට ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීමෙන් පසු සිය පාසල් ගමන අතහැර වී ඇඹරුම් හලක සේවය කර තිබේ.
පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු ඔහු යුද හමුදා සේවයට එක් වුවද වසර දෙකක් පමණක් එහි සිට ඉන් පලා ගොස් කොළඹ ප්‍රදේශයේ කුරුඳු සමාගමක සේවය කර තිබේ.
එහිදී හඳුනාගත් කාන්තාවක හා විවාහ වී ඇගේ ගම වන මෙම නවනැලිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය පවසයි. ගමට පැමිණියත් රැකියාවක් නොමැති මොහු මෙම ගමේදී පොල් ගස් නැග ගෙඩි කැඩීමේ රැකියාවක් ආරම්භ කර ඇත. ඒ සඳහා මොහු විසින් අත් පොරොවක ආකාරයට සකසා ගත් විශේෂ ආයුධයක් ද භාවිතා කර ඇති බව පොලිසිය සඳහන් කරයි. පොල් කැඩීම රස්සාව වුවත් මොහු නවීන විලාසිතා යොදමින් කලිසම් කමිස ඇඳ, අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ගමන් බිමන් යාම හා එම විලාසිතාව සමග පොල් කැඩීම ද සිදු කිරීම නිසා ගමේ සිටි බොහෝ දෙනාගේ උසුළු විසුවලට මොහු නිතර ලක්වීම සිදුව තිබේ. මේ නිසාම මොහු බොහෝ අය සමග නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබුණත් මෙම විහිළු තහළු නතර වීම වෙනුවට ඒවා වැඩි වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එළැඹි අවුරුදු උදාව සමග මෙම ගමේ නිවසක සියලු දෙනා වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබේ.
නමුත් පොල් කඩන මොහුට ඒ සඳහා ආරාධනා කර නොමැති අතර මොහු එය අමතක කර නිවසට පහළ ඔයේ දියනෑමට ගොස් තිබේ.
එහිදී මිය ගිය නදීර යන අය ඇළ ඉවුර දිගේ සාදය තිබෙන නිවසට ගමන් කරන අතරතුර සැකකරු දැක සුපුරුදු පරිදි විහිළු කර තිබේ. මෙයින් කුපිත වූ මොහු දිය නෑම අතහැර ඇළෙන් ගොඩට විත් ඇළ ඉවුරේ ගමන් කරන නදීර අල්ලා තමා සතුව තිබූ තියුණු ආයුධයෙන් ඔහුගේ බෙල්ලට පහර දී තිබේ. ඉන්පසු දෙදෙනාම පොරබැදීමත් සමග ඇළ ඉවුරින් පහළට පෙරළී ඇති මුත් ගැටුම දිගටම පවතිත්දී ඒ අසලින් සාදයට ගිය තවත් තරුණයන් දෙදෙනකු මෙය දැක තිබේ.
නදිර අතහල සැකකරු ඔහුගේ නිවසට ගොස් ඇති අතර මෙම තරුණයන් හා ගමේ පිරිස එක්ව තුවාලකරු දෙල්තොට පල්ලේගම රෝහලට රැගෙන ගියත් එහිදී ඔහු මිය ගොස් තිබේ. මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මෙහි ස්ථානීය පරීක්ෂණය පැවැත්වීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ මහාචාර්ය අධිකරණ වෛද්‍යය එස්. කොඩිකාර මහතා මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
මිය ගිය අයගේ සිරුරේ මරණීය කැපුම් තුවාල හයක් තිබී හඳුනා ගෙන තිබේ. අධික රුධිර වහනය හා එම කැපුම් තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බව නිගමනය කර තිබුණි. ගලහ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ගම්පොළ ස්ථානීය පරීක්ෂණාගාරය (සොකෝ) නිලධාරිහු මෙහි පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති සුගත් විජේසිංහ, පොලිස් සැරයන්වරුන් වන (66709) ප්‍රියන්ත, (64275) මාරසිංහ, පොලිස් කොස්තාපල් (71956) ජයසිංහ යන නිලධාරීහු මෙහි පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ -සුරංග දිල්හාන්