‘ජිනා මැඩම්’ නිදොස් කොට නිදහස්

3387

දේශීය හා විදේශීය රූමත් තරුණ කාන්තාවන් 16 දෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ටනය කිරීම) ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකාරියන් දෙදෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළේය.

එම ගණිකා මධ්‍යස්ථානයේ හිමිකාරිය යැයි කියන රෝස් මේරි සෙල්ෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් හා එහි සේවිකාවක ලෙස කටයුතු කළ රුෂි මල්ලවආරච්චි නමැති විත්තිකාරියන් එලෙස නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

එලෙස ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන කාන්තාවන් කිසිවකු පැමිණිල්ලේ සාක්‍ෂිකාරියන් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල පියවර ගෙන නොමැති බවත් ඔවුන් පිරිස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ චෝදනාවට වරද පිළිගෙන දඩ ගෙවා ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එකී චෝදනාවලට සමාන චෝදනා යටතේ පෙර කී ජිනා මැඩම් නමැත්තිය ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් 2006 වසරේ පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණය ලබාදුන් තීන්දුවකට එරෙහිව ජිනා මැඩම් නමැත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කර තිබිණි. අංක 154/2014 දරන එම නඩුව සම්බන්ධයෙන් 2020.12.14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුව අනුව එක්වරක් කුට්ටනයට ලක්වූ කාන්තාවක් නැවත කුට්ටනයට ලක් කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නාමල් කරුණාරත්න මහතා එම නඩුවේ පළමුවන විත්තිකාරිය වන ජිනා මැඩම් නමැත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. 2008 වසරේදී පොලිසිය විසින් උපාය දූතයන් යොදවා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ 8 වන මහලේ පවත්වාගෙන ගිය එකී ගණිකා මධ්‍යස්ථානය වටලා තිබූ අතර පෙර කී විත්තිකාරියන් දෙදෙනා ඇතුළු පස් දෙනකුට එරෙහිව චෝදනා 61ක් යටතේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ දෙවන විත්තිකාර කළමනාකාරවරයා වරද පිළිගෙන තිබිණි. එකී විත්තිකරුට මහාධිකරණය විසින් නියම කළ දඩ හා වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment