මින්නේරිය පොම්පාගාරයේ විදුලිය විසන්ධි කිරීමෙන් ගම්මාන තුනකට – පාසල් දෙකකට මාස තුනක් තිස්සේ වතුර නෑ

29

එකතු කරපු මුදල විදුලිබිල ගෙවන්න මදිවුණා – පටපිළිකන්දේ රන්ජිත්

මින්නේරිය, පටපිළිකන්ද, සමගිපුර හේන්යාය යන ගම්මානවල ජනතාව පිරිසිදු පානීය ජලය ලබා ගන්නා ලද ජල පොම්පාගාරයේ විදුලිය කැපීම නිසා මාස තුනකට අධික කාලයක් තිස්සේ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිව එම ජනතාව පීඩාවට පත්ව සිටිති.

රුපියල් පනස් අටදහසක විදුලි බිලක් නොගෙවීම නිසා මෙම කුඩා ජල පොම්පාගාරයේ විදුලිය විසන්ධි කර ඇත.

ජර්මන් රජයේ ආධාර ව්‍යාපෘතියක් යටතේ මින්නේරිය නාගලකන්ද මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර ඇති මෙම ජල පොම්පාගාරයෙන් මින්නේරිය නාගල කන්ද මහා විද්‍යාලයේ හා මින්නේරිය කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ද පානීය ජලය ලබා ගන්නා ලද අතර මේ නිසා ඔවුන්ටද මාස තුනකට අධික කාලයක් තිස්සේ පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති.

මේ පිළිබඳව අදහස් දැක්වූ මින්නේරිය පටපිලිකන්ද පදිංචි ඩබ්ලිව්. එම්. රන්ජිත් මහතා පැවසුවේ,

ප්‍රජා මූල ජල ව්‍යාපෘතියක් ලෙස තමා මෙය පවත්වාගෙන ගියේ. ගම්මාන තුනක පවුල්වල ජනතාව හැමෝම මාසෙකට රුපියල් 100 ක 150ක් මුදලක් මේ සඳහා ගෙවනවා.

නමුත් පසුගිය කාලේ රුපියල් 58000ක ලයිට් බිලක් ඇවිල්ලා ලයිට් කැපුවා. එදා ඉඳලා මින්නේරිය, පටපිළිකන්ද හා සමඟි පුර ජනතාවට හා නාගල කන්ද විද්‍යාලය හා කන්නන්ගර විද්‍යාලයේ දරුවන්ට බොන්න හොඳ පිරිසිදු වතුර නෑ. අපි එකතු කරපු මුදල මදි වුණා විදුලිබිල ගෙවන්න. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ විදුලි බිල කපා හැරලා අපිට පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න කියලා.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment