හරිත බලශක්ති කලාප ඇති කිරීම සහ ආර්ථික ඵලදායිතාවයට ආකෘතීන් හදන්නට G20 හරහා දෙන පණිවුඩය

76

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන රටක් වන ඉන්දියාවට මේ වන විට ගෝලීය ඉදිරි දැක්ම සහ එහි ප්‍රධාන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවී ඇත. ඒ G20 සංවිධානයේ සභාපති ධූරය ඉන්දියාවට හිමි වීමත් සමගය. ඒ අනුව ඉන්දියාවේ නායකත්වය හරහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ පිහිටි රටවල් වලට ප්‍රතිලාභ හිමිකර ගැනීමට නියමිතය.

● ගෝලීය සන්දර්භය තුළ

ඉන්දියාවේ උපායමාර්ග සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රිකභාවය එයට හිමි G20 සභාපති ධුර කාලය තුළ පරීක්ෂණයට ලක් වනු ඇත. යුක්රේනය රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය යුරෝපා සංගමයේ සහ විවිධ බටහිර රටවල ද බොහෝ අවධානය යොමු වී ඇත.

ඉන්දියාවට G20 වැනි ප්‍රබල සංවිධානයක සභාපතිත්වය හිමි වීම දකුණු ආසියානු කලාපයට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එහි ආර්ථික අර්බුදයෙන් මිදීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇති බවට සැකයක් නැත.

ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට G20 සංවිධානයේ වැඩකටයුතු සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථා පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධුරයට අදාළව ප්‍රධාන සම්බන්ධීකාරක ලෙසට කටයුතු කරන හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා අතර පසුගියදා හමුවක් සිදු වී අතර මේ කරුණු සම්බන්ධයෙන් එහිදී පුළුල් ලෙසට සාකච්ඡා කර ඇත.

ඔවුන් දෙදෙනා නවදිල්ලියේදී හමුවී ඉන්දීයාව G20 සංවිධානයේ සභාපතිත්වය දරන කාලය තුළදී ශ්‍රී ලංකාවට ඊට සම්බන්ධ විය හැකි මාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවට මාධ්‍ය වාර්තා පලකර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රවේශය පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා ෆර්ජානා ෂර්මින් පැවසුවේ මීළඟ සමුළුවට පෙර ඉන්දියාවට G20 සංවිධානය හරහා දකුණු ආසියාව වෙනුවෙන් බොහෝ දේ කළ හැකි බවයි.

නමුත් ඉන්දියාව ඉදිරියේ ඇති වඩා අභියෝගාත්මක ක්ෂේත්‍රය වනුයේ G20 සංවිධානය භූ දේශපාලන, කලාපීය ආරක්ෂාවට අදාළ ගැටළු විසඳීමට සහ සාමාජික රටවල් අතර ඇති සබදතා වල පරතරය අඩු කිරීමට යොදා ගැනීමයි. ඒ අනුව පශ්චාත් වසංගත සමයේදී ආර්ථික අර්බුදය විසඳීමේදී ඉන්දියාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බවට ෂර්මින් වැඩිදුරටත් පැවසීය.

ආර්ථික ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධන අරමුණු සදහා 2030 වර්ෂයේ දී ඉලක්ක සපුරා ගැනීම, බලශක්ති හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, ආහාර, පොහොර සහ ඉන්ධන සුරක්ෂිතතාව දකුණු ආසියා කලාපයට වඩාත් අදාළ වන කරුණු මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත.

කොරෝනා වසංගතය තුළදී දකුණු ආසියානු කලාපය ඉතා දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් වලින් සමන්විත කලාපයක් බවට පසක් කර දෙන ලදී. මෙම කලාපයේ රාජ්‍යන්ට මහා පරිමාණයේ හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට මුහුණ දිය යටිතල පහසුකම් අල්ප බවට ඉන් ඔප්පු කර පෙන්වා දෙන ලදී. ඒ අනුව විශ්ව සෞඛ්‍ය ආරක්ෂණය නැමැති සංකල්පය G20 සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද තිරසාර සංවර්ධන ඉලක්කවල වලද කොටසකි. ඒ අනුව කලාපයේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා සැපයුම තහවුරු කිරීම සදහා ඉන්දියාවේ නායකත්වය යටතේ G20 සංවිධානයේ අවධානය යොමු වීමට නියමිතය.

2021 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වීය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම යන මැයෙන් පල වූ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ දකුණු ආසියාතික රටවල් තම පුරවැසියන්ට සෞඛ්‍ය සේවා සැපයීමේදී බොහෝ පසුපසින් සිටින බවයි.

ඉන්දියාව ගෝලීය දකුණට හඬක් සැපයීමට උත්සාහ කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන පොදු ගැටලු විසදා ගැනීමට උපරිම දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරයි. දරිද්‍රතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, දේශගුණික විපර්යාස මෙම කලාපයට බලපාන පොදු ගැටලු කිහිපයකි.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සෑම විටම එහි අසල්වැසියාට ප්‍රථම තැන ප්‍රතිපත්තිය මත පදනම් වන බැවින්, එය G20 සංවිධානය හරහා න්‍යාය පත්‍රයක් හරහා ඉදිරියට ගෙන යාමට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටියි.

එහි G20 සංවිධානයේ සභාපති ධුර කාලය තුළදී ඉන්දියාව ගෝලීය නායකයකු ලෙස, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග අධ්‍යාපනය, වෙළඳාම, තාක්‍ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ අනුව මේ මොහොතේ ගෝලීය නායකයකු වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මහගු අවස්ථාවක් උදාවී ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන විපත් ලෝකයේ ඇති ප්‍රබල අනාගත අභියෝගයක් ලෙසට වර්තමානයේ හදුනාගෙන ඇත.

බොහෝ දකුණු ආසියාතික රටවල් බලශක්ති උත්පාදනය සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කරයි. 2021 ලෝක බැංකු වාර්තාවකට අනුව, බලශක්ති නිෂ්පාදනය හරහා ජනනය වන හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 63ක් සඳහා දායකවී ඇත්තේ මෙම කලාපය තුලින් බවයි.

ලෝක ඉන්දන මිල ඉහළ යාම සහ ඩොලර් සැපයුම හිඟ වීම නිසා බලශක්ති නිෂ්පාදනය අද බොහෝ රටවලට අභියෝගයක්ව පවතී. බංගලිදේශය සිය විදුලියෙන් සියයට 70ක් නිෂ්පාදනය කරනු ලබන්නේ ද්‍රව ස්වභාවික වායු භාවිතය මගිනි. ඉන්දියාව සිය විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ නිෂ්පාදනය කිරීමට ගල් අඟුරු භාවිතා කරයි. හරිත බලශක්තියට සංක්‍රමණය වීම මෙම කලාපයේ රාජ්‍යන් වල ප්‍රධාන අවශ්‍යතාවය බවට පත් වී තිබේ.

ඉන්දියාව G20 සංවිධානයෙහි ප්‍රධානියා වීමත් සමඟ පුනර්ජනනීය බලශක්තිය සදහා කලාපීය රටවල් යොමු වීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටියි. සුළං සහ සූර්ය බලශක්තිය කලාපයේ ඉරණම වෙනස් කරන සාධකය බවට පත් කිරීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ අරමුණයි. ජාත්‍යන්තර සූර්ය සන්ධානය තුළ දකුණු ආසියානු රටවල් රැසක් නියෝජනය කරයි. දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ද සැලකිල්ලට ගනිමින් තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාම සඳහා හරිත බලශක්ති සංක්‍රාන්තිය සඳහා සූර්ය බලශක්තිය මහගු ලෙස උපකාරී වනු ඇත.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන ස්වභාවික විපත්වලට ගොදුරුවී කලාපයේ රටවල් රැසක මිලියන ගණනක් පිරිස් වාර්ෂිකව අවතැන් වන බව ලෝක බැංකු වාර්තා මගින් අවධාරණය කර සිටියි. පාකිස්තානයේ ඇති වූ ගංවතුර හේතුවෙන් දහස් ගණන් පිරිස් මාස ගණනක් තිස්සේ තවමත් අවතැන්ව සිටියි.

පසුගිය දශක දෙක තුළ අවම වශයෙන් දේශගුණික ව්‍යසන වලින් මෙම කලාපයේ මිලියන 750 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇත.

● හරිත බලශක්ති කලාපයක් ඇති කිරීම

දකුණු ආසියාතික රටවල් විශේෂයෙන් නේපාලය, භූතානය සහ ඉන්දියාව ජලවිදුලි බලයෙන් ද බලශක්ති අවශ්‍යතා සපුරා ගනියි.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව, බංග්ලාදේශ, භූතානය, ඉන්දියාව සහ නේපාල උප කලාපීය සහයෝගීතාවයේ රාමුව තුළ දේශසීමා අතර විදුලි ජාල සම්බන්ධ කිරීම සහ නව සම්ප්‍රේෂණ මාර්ග ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

සිලිගුරි-පර්බතිපූර් සහ මෝතිහාරි-අම්ලෙක්ගුන්ජ් නල මාර්ග හරහා බලශක්ති සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති කිහිපයකි. භූතානය ජලවිදුලිය භාවිතයෙන් මෙගාවොට් 10,000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටියි. ඉන්දියාව සමග 50% බැගින් වූ හවුල් ව්‍යාපෘතියට මේ වන විටත් අත්සන් තබා ඇත. නේපාලයට දැනට මෙගාවොට් 2,190ක විදුලි උත්පාදන ධාරිතාවක් ඇති අතර එය ඉන්දියානු බලශක්ති හුවමාරුවේ එක් කොටස්කරුවකු බවට පත් කර ගැනීමට නියමිතය.

කෙසේවෙතත්, කලාපය හරිත බලශක්තිය වෙත යොමු වීමට වසර කිහිපයක් ගතවනු ඇත.

පසුගිය දසක එකහමාරක කාලය තුළදී දකුණු ආසියාව යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති සඳහා චීනයෙන් විශාල ආයෝජන අවස්ථා සපුරා ගෙන ඇත. වර්තමානයේ ඇති වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත් කළ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති ආර්ථික වශයෙන් ඵලදායි නොවීම නිසා දරාගත නොහැකි ණය උගුලකට රට පත්වී ඇති බව නොරහසකි.

චීනයේ ප්‍රශ්න සහගත ණය ව්‍යාපෘති වල අසාර්ථක බව නිසා මෙම කලාපයේ රටවල් ජපානය සහ ඉන්දියාව යන රටවල් හා සම්බන්ධ යටිතල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘති සහ බලශක්ති ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමට පටන් ගෙන ඇත. G20 සංවිධානයට අවශ්‍ය වන්නේ ගුණාත්මක බවින් සහ ආපදාවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමය. එහි අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා G20 සංවිධානය අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සංවාදයක් ද ආරම්භ කර ඇත. G20 සංවිධානය හරහා ගෝලීය දකුණ සදහා නැඹුරු වූ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීමට ඉන්දියාවට අවස්ථාව උදාවී ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදී අවධාරණය කරන්නේ G20 සභාපති ධුර කාලය අතරතුර ඉන්දියාව තම අත්දැකීම්, උගත් දෑ මොඩලයක් ලෙසට විශේෂයෙන්ම සංවර්ධනය වන ලෝකයට සහ අනෙකුත් රටවලට භාවිත කළ හැකි ආකෘතීන් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ආචාර්ය විකුම් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment