තෑගි මුදලක් ගන්න රෝහලේ බෝම්බය අටවලා

189

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ මදුරු දඟරයක් සවිකළ අත් බෝම්බය තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

රෝහල් පරිශ‍්‍රයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ සමාගමක සේවය සඳහා මීට දින 12කට පැමිණ තිබූ මෙම පුද්ගලයා රෝහලින් ත්‍යාග මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදු කළ බව ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු විසිහයක් වන සැකකරු ත‍්‍රිකුණාමලේ පදිංචි දමිළ ජාතිකයෙක් වන අතර සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අධික ලෙස ණය වී සිටින පුද්ගලයකු බවට අනාවරණය වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු ගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් නිලධාරියා කීය. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනවලට අමතරව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ද විමර්ශන පැවැත්වීමට යොදා ඇතැයි එම නිලධාරියා කීය

එම රෝහල් පරිශ‍්‍රයේ පළමු වන මහලෙහි වැසිකිළියට ගිය පුද්ගලයකු මෙම බෝම්බය මුලින්ම දැක ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ දැනුම් දීමකින් පසු ඔහු විසින් සුරක්ෂිතව බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කර සේවකයන්ගේ රථගාල අසල ආරක්ෂාකාරීව තැබීමට කටයුතු කර තිබිණි. බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යෑමට සකස් කර තිබූ බව පොලිස් නිලධාරියා කීය

මෙවැනි ආකාරයෙන් බෝම්බය පුපුරා යා හැකි වන ආකාරයෙන් සැලසුම් කළ හැක්කේ බෝම්බ පිළිබඳ මනා දැනුමක් තිබෙන තැනැත්තෙකුට පමණක් බවත් අත්අඩංගුවට ගත් සැකකරුට ඒ සම්බන්ධයෙන් පුහුණුව ලැබී ඇත්තේ කුමන කණ්ඩායමකින් ද? පුද්ගලයකුගෙන් ද? යන්න වැඩිදුරටත් සොයා බලන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. එස්. සුසන්ත මහත්වරු සමග ඒකාබද්ධව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහත්වරුද පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment