අම්බුරාජ් පාලමෙන් බස්සවන්නේ කෙසේද?

916

නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි එක්දරු පියකු වූ 39 හැවිරිදි රාමලිංගම් අම්බුරාජ් ඉකුත් මැයි පළමුවැනිදා මුළු දවසම හිටියේ කෙසෙල්ගමු ඔය හරහා ඉදිකර ඇති පාලමේ ඇන්ද උඩය. එය විරෝධතා ව්‍යාපාරයක කොටසකි. ඔහු අතේ විශාල බෝඩ් එකක් තිබිණ. අවුරුදු 200 ක් තිස්සේ මේ රටේ තේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන වතු කම්කරු ප්‍රජාවට නිසි ගෞරවයක් නොලැබෙන බවත් වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් නංවාලීමට කිසිදු රජයක් පියවරගෙන නොමැති බවත් වතු ප්‍රජාවගේ දරුවන් ඉතා මහන්සියෙන් හොඳින් ඉගෙනගෙන ඇතත් එම දරුවන්ට රජයේ රැකියා නොලැබෙන බවත් එම බෝඩ් එකේ ලියා තිබිණ. මේ අසාධාරණයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන්නැයි අම්බුරාජ් ආණ්ඩුවෙන් ඉල්ලුවේය. අම්බුරාජ් මෙයට කලකට පෙර කොටි සංවිධානයේ සාමාජිකයෙකි. බලයට පත්වූ ආණ්ඩු දෙමළ වතු කම්කරු ජනතාව සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළ කුණු විදිහ නිසා අම්බුරාජ් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නට ඇති. අන්තිමේදී හමුදාවට කොටු වූ ඔහු පුනරුත්ථාපනය වී නැවතත් එළියට පැමිණියේය. එහෙත් ඔහුගේ විරෝධය අවසන් නැත. ලංකා වතු කම්කරු සංගමයේ නායකයන් බෙර ගසමින් මැයි පෙළපාලි යද්දී අම්බුරාජ් තෝරා ගත්තේ පාලම් ඇන්දට නැග හුදකලා විරෝධයක නිරත වීමය. දෙමළ වතු කම්කරු සංගමය හෝ දෙමළ සන්ධානය හෝ මේ රටේ තිබෙන වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් කෙරෙහි අම්බු රාජ් තුළ විශ්වාසයක් ඇති බව නොපෙනේ. ඔහු විඳින මේ අසහනය දිගටම තිබුණොත් ඉදිරි අවුරුදු 20 ඇතුළත අම්බුරාජ්ලා දහස් ගණනක් අලුතින් බිහිවීමටත් පාලම් මත හිටගෙන විරෝධය පෑමටත් ඉඩ තිබේ. එහෙම වුණොත් දැනට වැළලී ඇති කොටි සංවිධානය වෙනුවට අලුත් නමකින් යුත් දෙමළ විරෝධතා සංවිධානයක් බිහිවනවා ඇත. ඊළඟට තමන් තෝරාගත යුතු අවි මොනවාදැයි ඔවුන් උපකල්පනය කරනවා ඇත. අම්බුරාජ් පාලමෙන් බැස්සවීම පොලිසියට කළ හැකි දෙයක් නොවේ. එය කළහැක්කේ මේ රටේ දේශපාලනඥයන්ට ය. වතුකරයේ තරුණයන්ට නිසි කාලයේදී ආණ්ඩුවේ රැකියාත්, වතුකරයේ කම්කරුවන්ට හැමවිටම නිසි ගෞරවයත් කහට කෝප්පයෙන් හා රොටියෙන් එහා ගොස් බඩට යමක් දමා ගැනීම පිණිස දෛනික වැටුපකුත් ලබාදිය හැකිනම් අම්බුරාජ්ලා වහාම පාලමෙන් බිමට බසිනවා ඇත.

දෙමළ වතු කම්කරුවා යනු මේ රටේ කඳුකරයේ පිහිටි උසම කඳුවලටත් වඩා උසස් සේවයක් ආර්ථිකයට සිදුකළ පිරිසකි. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී මේ රටේ කෝපි වවමින් සිටි දෙමළ කම්කරුවන් ඉතා ස්වල්ප පිරිසක් කඳුකරයේ තේ වගාව පටන්ගැනීමේදී සේවයෙහි පිහිටුවනු ලබන්නාහ. මෙය වහල් සේවයකි. ලංකාව තේවලින් වැසීගිය කඳුකරයක් බවට පත් කළ යුතු නම් විශාල වශයෙන් කම්කරුවන් අවශ්‍ය බව සුදු වතු පාලකයන්ට වැටහින. එවිට වතු පාලකයෝ සිංහලයන්ට කතාකර දවස් පඩියට තේ වතුවල වැඩට එන්නැයි දැන්වූහ. එහෙත් දවසේ කුලියට වැඩ කිරීමක් සිංහලයන්ට පුරුදුවී තිබුණේ නැත. ඔවුන් පුරුදුව සිටියේ අත්තමට වැඩ කිරීමටය. ඒ මෙසේය; සුද්දා තේ වවන කාලයට සිංහලයෝ ඒ සඳහා නොමිලේ ශ්‍රමය ලබා දෙති. ඒ අතර සිංහලයා කුඹුරු කොටන කාලය එළඹුණු කල්හි සුද්දා සිය ගෙදර කට්ටිය රැගෙන එම කුඹුරු කෙටීම සඳහා සිංහලයන්ගේ කුඹුරුවලට පැමිණිය යුතුය. හැමදේම සල්ලිවලට කරන යුරෝපීය කාර්මික සංස්කෘතියට අනුව සිංහලයාගේ ආකල්පය මළ විකාරයක් සේ සැලකීමට සුදු වතු පාලකයන්ට සිදුවිය. සුද්දා හිටියේ සිංහලයා පාලනය කිරීමට මිස සිංහලයාගේ කුඹුරු හෑමට නොවේ. මේ නිසා Plan B වෙත හැරීමට වතු පාලකයන්ට සිදුවිය. ඒ වූකලී ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් මෙහි ගෙන්වීමය. මෙය බි්‍රතාන්‍ය යටත්විජිතවාදියාගේ පරණ පුරුද්දකි. එක්දහස් අටසිය ගණන්වල මුලදී කැරිබියන් රටවල් අල්ලාගත් සුද්දෝ එහි යුරෝපීය කෘෂිකාර්මික කොලනි පිහිටුවා උක් වවන්නට පටන් ගත්හ. මේ සඳහා සෙනඟ මදිවූ විට අප්‍රිකාවට නැව් යවා ඒ රටින් කැරිබියන් දූපත්වලට වහලුන් ගෙන්වන ලදි. වහලාට වැටුප් නොලැබුණු අතර ඔහුට ලැබුණේ කෑමට යමක් පමණි. ඊට අමතරව වහල් තරුණියෝ සිය සුදු ජාතික හාම්පුතුන්ගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ද සූදානමින් සිටිය යුතු වූහ. මේ නිසා සුද්දන්ට හැදුනු හැම සමාජ රෝගයක්ම වහලුන්ට ද බෝවිය. සුද්දා ඒ රෝග සඳහා එකල තිබූ ප්‍රාථමික රසායනික ද්‍රව්‍යය වූ ආසනික්, පල්මානික්කම්, ගෙන්දගම් යනාදියෙන් නිපද වූ බෙහෙත් ගත් නමුත් වහලුන්ට ඒ බෙහෙත් ලැබුණේ නැත. එබැවින් මේ අසරණ කළු ජාතික ගැහැනුත් මිනිස්සුත් සිය රෝග උත්සන්නවී රහස් අවයව කුණු වී මිය ගියහ. මේ සෙල්ලම ශ්‍රී ලංකාවේ වතුකරය සම්බන්ධයෙන් මේ ආකරයෙන්ම කිරීමට සුද්දන්ට බැරිවීම වාසනාවකි. එයට එක හේතුවක් වූයේ සුද්දන් කාට අසාධාරණයක් කළත් ජාති ආගම් භේද නොබලා ඒ වෙනුවෙන් නැගී සිටීමට සිංහල බෞද්ධයන් කටයුතු කිරීමය.

කෙසේ හෝ වේවා වතුකරයේ ජීවිතය එකල අපායකි. කටු ඉඹුල, ලෝදිය හැලිය සහ මිනිසුන් ඉරන කියත ඇරෙන්නට අපායේ ඇති සියලු ලක්ෂණ එකල වතුකරයේ තිබිණ. මේ කියන කාලයේදී ලීක්ස්, කැරට්, ගෝවා, බෝංචි, බීට් රූට්, රාබු, අර්තාපල් යනාදිය ලංකාවේ තිබුණේ නැත. එබැවින් ඒවා විජලනය කර ඕලන්දයෙන් ලංකාවට ගෙන්වා සුද්දන්ට ගිල්ලවීමට යටත්විජිතය පියවර ගත්තේය. සිංහල ජනයා ගොවිතැන් කොට බත් සහ එළවළු අනුභව කළහ. ඒ අතර දෙමළ කම්කරුවාට තුන්වේලම කන්නට ලැබුණේ පාන් පිටිවලින් සෑදූ රොටි පමණි. පාන් පිටි යනු පිෂ්ටය සහ සීනි ද ග්ලුටන් නමැති කුණු ගොඩද සහිත කබල් ආහාරයකි. මෙයින් පෝෂ්‍ය පදාර්ථ නොලැබේ. ඇඟට ෆිට් එකක් නැති වතු කම්කරුවන්ට ෆිට් එක ලබාදීම සඳහා සුදු ජාතික වතු හිමියෝ තේ වත්තට අරක්කු සැපයීමට පටන් ගත්හ. මේ කතාවේ තවත් බොහෝ දුක් සහගත තැන් තිබේ. ඒවා දිගින් දිගටම කතා කළොත් මන්නයක් ගෙන එංගලන්තයට යෑමට දෙමළ වතු කම්කරුවන්ට සිතෙනවා ඇත. අද වනවිට දෙමළ වතු කම්කරුවන්ගේ ජීවන මට්ටම යම් තරමකට උසස් වී ඇති නමුදු හරියටම හරි ගොස් නැත. මෙය හරියටම හරියන තුරු බෝඩ් අතින් ගත් අම්බුරාජ්ලා පාලම් මතට නැග විරෝධතා දැක්වීම ද නැවැත්විය නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment