ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පසුගියදා බන්ධනාගාරයෙන් නිදහස් විය. ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ රහසිගත තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් සිය විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම නිසා වසර 5කට වැඩි කාලයක් ලන්ඩන් නුවර බන්ධනාගාරයක ගත කිරීමට ඔහුට සිදුවිය. අමෙරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සහ හෙළි කිරීමට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් 52 හැවිරිදි ජුලියන් අසාන්ජ්ට චෝදනා එල්ල වී තිබුණි. ඔහු ලන්ඩන් නුවර ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපොළ වෙත රැගෙන ගොස් නිදහස් කර ඇති අතර, පසුව පෞද්ගලික ජෙට් යානයකින් ලන්ඩන් නුවර සිට තම මාතෘභූමිය වූ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජුලියන් අසාන්ජ් නිදහස් කර ඇත්තේ එක්සත් ජනපද රජය සමග ඔහුගේ නීතිඥ කණ්ඩායම ගිවිසුමකට එළැඹීමෙන් පසුව බව ද වාර්තා වෙයි. තමාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකාව සමග පවතින එකඟතාවයක කොටසක් ලෙස ඔහු අදාළ අපරාධ චෝදනාවලට වරද පිළිගත් බව දැක්වේ. වරද පිළිගැනීමෙන් පසු මාස 62ක සිර දඬුවමක් නියම කිරීමට නියමිතව තිබුණත් ඔහු දැනටමත් එම කාලය ලන්ඩන් නුවර බන්ධනාගාරයේ ගතකර ඇති බැවින් පූර්ණ නිදහස ලැබීමට ඔහුට හැකි වෙතැයි වාර්තා වෙයි.

කවුද මේ හිතුවක්කාරයා

1971 වසරේ ඔස්ට්‍රේලියාවේ දී උපත ලැබූ ජූලියන් පෝල් අසාන්ජ් කුඩා කල සිටම අමුතු දරුවකු විය. දෙමව්පියන් විසින් පවත්වාගෙන ගිය ජංගම සිනමාහලක් සමග එහෙ මෙහෙ ගිය අසාන්ජ්ගේ ළමා විය ඉක්මනින්ම නිමාවට පත්විය. ඇටෙන් පොත්තෙන් එළියට එන විටම දරුවකුට තාත්තකු වූ ඔහුට හැමදාම සිදු වූයේ උසාවි හා පොලිසි ගාණේ බඩගාන්නටයි.

පරිගණක තාක්ෂණය පිළිබඳව අසාමාන්‍ය කුසලතාවයක් පෙන්වූ තරුණ අසාන්ජ් ඒවා ‘හැක්’ කිරීමේ කප්පිත්තකු විය. තම නව යොවුන් වියේදී එවැනි චෝදනාවකට වැරදිකරු වීම නිසා මුදලින් වන්දි ගෙවීමට ද ඔහුට සිදුවිය. නැවත එවැනි නසරානි වැඩ නොකිරීමේ පොරොන්දුව මත ඔහුව සිරගත නොකිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය එවර කටයුතු කළේය.

ලෝක බලවතා කැළඹූ විකිලීක්ස්

ඉන්පසුව 2006 වර්ෂයේදී ඔහු ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවිය හඳුන්වා දුන්නේ අන්තර්ජාලයේ ඕපාදූප පිපාසාවෙන් පෙළුණු අනුගාමිකයන් කණ්ඩායමක ආශිර්වාදය සහිතවයි. මුලින්ම නළු නිළියන්ගේ ‘කොටු පනින’ කතා පසුපස පැන්නූ විකිලීක්ස්ලා පසුව බෙල්ල ගහලා යන වැඩවලට අත දැම්මේය. බලවත් රටවල ජාතික ආරක්ෂාවට හා යුද කටයුතුවලට සම්බන්ධ අතිශයින් රහසිගත කාරණා අඩංගු රාජ්‍ය ලියකියවිලි දහස් ගණනක් මෙම වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබුණි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම තානාපති කාර්යාල සමග සිදුකළ රාජ්‍යතාන්ත්‍රික කේබල් සංවාද දෙලක්ෂ පනස්දහසක් පමණ විකිලීක්ස් මගින් හෙළිකර තිබුණි. කේබල්ගේට් සිදුවීම ලෙස ප්‍රසිද්ධ වූ මෙම අනාවරණයන් හේතුවෙන් එවකට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු ඇමෙරිකානු රජය දැඩි අපහසුතාවකට පත්විය. තව ද ඒ හේතුවෙන් ලෝකයම කැළැඹී ගියේය.

විකිලීක්ස් වෙබ් අඩවිය මාධ්‍ය නිදහස හා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා අන්තර්ජාතික සම්මාන රාශියකට පාත්‍ර වී තිබේ. විශේෂයෙන් 2009 වර්ෂයේ ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සම්මානය ද අසාන්ජ්ට හිමිවිය. ලෝකය පුරා මහත් කතාබහට ලක්වූ එම සම්මානය ඔහුට පිරිනැමුණේ කෙන්යාවේ සිදු වූ සාහසික මරණ දඬුවම් හා අතුරුදහන් කිරීම් පිළිබඳ සිදුකළ හෙළිදරව්වක් හේතුවෙනි. ලෝකයට වැඩිම බලපෑමක් කළ හැකි සහ ලෝකය වෙනස් කළ මිනිසුන් අතරට අවස්ථා ගණනාවකදී ඔහුගේ නම ද එක්වීම අපූර්වත්වයකි. ඇමෙරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරයක් ආධාරයෙන් බැග්ඩෑඩයේ සිවිල් වැසියන් 18 දෙනකු මරා දැමූ ආකාරය දැක්වෙන වීඩියෝවක් විකිලීක්ස් මගින් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අන්දුන් කුන්දුන් වී ගියේය. ඒත් එක්කම වාගේ ඇමෙරිකානු හමුදාවේ බුද්ධි විශ්ලේෂකයකු වූ චෙල්සි මැනිං විසින් ලබාදුන් සිය දහස් ගණනක් වූ රහස්‍ය ලියකියවිලි විකිලීක්ස් මගින් ප්‍රසිද්ධ කර තිබුණි. ඒ මගින් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන රාශියක් හෙළිකර ඇත. එසේම ඉරාක යුද්ධයේදී සිදු වූ 66000 ක ඝාතන හා ඉරාක හමුදා විසින් සිරකරුවන්ට කරන ලද වධහිංසා පිළිබඳව ද හෙළි කර ඇත. මේ සියල්ල හේතුවෙන් අසාන්ජ්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ඇමෙරිකාවට තිබූ දැඩි උවමනාව සැඟවීමට නොහැක.

ඉක්වදෝරයේ රැකවරණ මැද

කෙසේ නමුත් ඇමෙරිකානු බුද්ධි අංශයන්ගෙන් බේරීමට කාලයක් තිස්සේ ඔහුට යටිබිම් ගත වෙමින් රටින් රටට කට්ටි පනිමින් සිටින්නට සිදුවිය. 2012 ජුලි මාසයේදී දිනයක අසාන්ජ් හදිසියේ ම ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් නැවත කරළියට පැමිණියේය. ඔහු තම කොණ්ඩය කළු පැහැයට හරවාගෙන, ඇස්වල පැහැය වෙනස් කරගෙන, බයිසිකල් පණිවුඩකරුවකු ලෙස සැරසී තානාපති කාර්යාලයට රහසිගතව පැමිණියේය. ඉන් පසු ඉක්වදෝරයේ දේශපාලන රැකවරණ ලබා ගත්තේය. අසාන්ජ් තම රැකවරණය සඳහා ලතින් ඇමෙරිකානු රටක් වූ ඉක්වදෝරයම තෝරා ගැනීමට තවත් හේතුවක් තිබුණි. ඒ එවකට ඉක්වදෝර ජනාධිපතිවරයා වූ රෆායෙල් කොරයා විකිලීක්ස් වෙබ් අඩවියට දැඩි පක්ෂපාතීත්වයක් දැක්වීමයි.

ඒ වන විට ස්වීඩනයේදී කාන්තාවක දූෂණය කිරීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි. මෙම චෝදනාව පදනම් කරගෙන ස්වීඩනය විසින් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබුණි. කෙසේ නමුත් ස්වීඩන අධිකරණයට අසාන්ජ්ට නොතීසි භාර දීමට නොහැකි වූයේ තානාපති කාර්යාලයට ඇතුළු වීමට ඔවුනට නොහැකි බැවිනි. ස්වීඩනය නම් බිලීපිත්ත අල්ලා සිටින්නේ ඇමෙරිකානු මසුන් මරන්නා බවට අසාන්ජ් දැඩිව විශ්වාස කළේය. ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ බින්න බසින මොහොත වන විට ඔහුව බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

තමාව අත්අඩංගුවට ගැනීමට ඇත්ත උවමනාව තිබුණේ ස්වීඩනයට නොව ඇමෙරිකාවට බව අසාන්ජ්ගේ අදහස වී තිබුණි. රහස් ලියකියවිලි ප්‍රසිද්ධ කිරීම නිසා තමාව ඇමෙරිකාවට උදර්පනය කෙරෙනු ඇති බවට ඔහු බිය විය. ‘ගෑනු හුටපටය’ ඇමෙරිකාවේ උවමනාව මත තම කීර්ති නාමය කෙලෙසීමට ස්වීඩනය විසින් ඇටවූ උගුලක් බව ද ඔහු පවසයි.

අසාන්ජ්ට පිහිට වූ වියානා සම්මුතිය

ජූලියන් අසාන්ජ් ඇත්තටම නිදහස්ද?

යම් රටක් තවත් රටක පවත්වාගෙන යනු ලබන තානාපති කාර්යාලවලට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමිය. 1961 දී අත්සන් තබන ලද ‘රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය’ අනුව ස්වාධීන රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු පවත්වා ගැනීමේ නිල ව්‍යුහයක් හඳුන්වා දී ඇත. ඒ අනුව තානාපති පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක වන්නේ සත්කාරක රාජ්‍යයේ නීතිය නොවන අතර ඒ තුළට පැමිණ කිසිවකු අත්අඩංගුවට ගැනීමට සත්කාරක රාජ්‍යයන්ට නීතිමය ප්‍රතිපාදන නොමැත. ජූලියන් අසාන්ජ්ට තානාපති කාර්යාලයේ ජනේලයෙන් එබී එළියේ සිටින බ්‍රිතාන්‍ය පොලිස් භටයන්ට “කොකා පෙන්වන්නට” හැකි වූයේ ද මේ නීතිරීතිවලට පිංසිදු වන්නටය.

දෙවන ලෝක යුද්ධය අවසාන වත්ම එම යුද්ධයේදී මානව වර්ගයා මුහුණ දුන් අමානුෂික ඝාතන හා කෲර වධහිංසාවන්ට එරෙහිව ලොව පුරා හඬක් නැගෙමින් පැවතුණි. එසේම ඒවා නැවත සිදුනොවීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කතිකාවක් ඇති වී තිබුණි. ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් රටවල් ගණනාවක් එක්ව 1948 දී “මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය”ට අත්සන් තැබුණි. පසුව එහි 14 වන වගන්තියේ පදනම මත “1951 සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” ද බිහි විය. ඒ අනුව සරණාගතයකු යනු කවුදැයි නිර්වචනය කර ඇත. තවද දේශපාලන රැකවරණ පතන්නකු හෝ සරණාගත තත්ත්වය හිමිවූවකු සතු අයිතිවාසිකම් හා ඔවුන් සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන් සතු වගකීම් ද එහි මැනැවින් විග්‍රහ කොට ඇත. තව ද සම්මුතිය අනුව සරණාගත භාවය ලැබීමට නුසුදුස්සන් ද සාරාංශගත කොට ඇත. යුද අපරාධ චෝදනා ලැබූවන්ට මේ අනුව සරණාගතයන් ලෙස අයැදුම් කිරීමට හිමිකමක් නොමැත. මෙම සම්මුතියට රටවල් 146 ක් අත්සන් තබා ඇති අතර එක්සත් ජනපදය සරණාගතයන් පිළිබඳව වූ 1967 ප්‍රොටෝකෝලයට පමණක් අත්සන් තබා ඇත. එසේම ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියට අත්සන් කර නොමැති බව කිව යුතුය.

කන්න දීපු අත සපා කෑ අසාන්ජ්

ලෝක පොලිස්කාරයාගේ බැටන් පොල්ලෙන් බේරීමට තැනින් තැනට කට්ටි පනිමින් සිටි අසාන්ජ් අවසානයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයට රිංගා වසර හතක්ම ඒ තුළ ජීවත් විය. ඔහුට ඉක්වදෝරයේ රැකවරණය ලැබී තිබුණත් අවසානයේ අනපේක්ෂිත අයුරින් සියල්ල කණපිට පෙරළීමට කටයුතු යෙදී තිබුණි. අවසන් කාලය වන විට ඉක්වදෝරයට අසාන්ජ්ව ‘බෝල්ට් ඇණයක්’ වී තිබුණු බවක් වාර්තා වෙයි. ජූලියන් අසාන්ජ්ගේ දීර්ඝ කාලීන හැංගිමුත්තන් සෙල්ලම නිමාවට පත්කරමින් බ්‍රිතාන්‍ය පොලිසිය 2019 දී ඔහුව අත්අඩංගුවට ගත්තේය.

ඉක්වදෝර රජයේ රැකවරණය අවසන් කිරීමෙන් පසුව තානාපතිවරයාගේ දැනුම් දීම මත පැමිණි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් විසින් අසාන්ජ්ව කුදලාගෙන රැගෙන යන ලදි. ඉක්වදෝරයට අසාන්ජ්ව දොට්ට දැමීමට බොහෝ හේතු තිබුණ ද ඔහුගේ ‘කාල බීල නිදලා -කාපු තැනද වනසා දමන’ නොසණ්ඩාල ගති පැවතුම් ඊට මූලිකවම බලපෑ බවක් පෙනෙන්නට තිබේ.

අවසාන කාලය වන විට අසාන්ජ් දේශපාලන රැකවරණ ලබන්නෙකුට වඩා තානාපති කාර්යාලය තුළ සිරකරුවෙක්ව සිටි බවක් වාර්තා වෙයි. වැසිකිළියට ගිය ද ඔහු පසුපසින් රැකවලුන් යොදවා තිබුණි. ඔහු වටා කැමරා සවිකර තිබුණි. තානාපති කාර්යාලයේ දොරකඩ බ්‍රිතාන්‍ය පොලිස් භටයන් පැය විසිහතර පුරාම යොදවා තිබුණි. මේ සියලු අඩන්තේට්ටම් හමුවේ නන්නත්තාර වී සිටි අසාන්ජ් නොසෑහෙන්න දඩබ්බරයෙකු වූ බව පැවසෙයි.

ඔහු තානාපති නිලධාරීන්ට බැණ වැදුණු බවත් ඔවුනට කීකරු නොවුණ බවත් වාර්තා විය. නෑමට හෝ ඇඳුම් සේදීමට ඔහුට උවමනාවක් නොවීය. “අමුම අමු හඩ්ඩෙකු” වී සිටි අසාන්ජ්ගේ හිතුවක්කාරකම් කෙතරම් ඉහවහාගියාදැයි කිවහොත් ඔහු තානාපති පරිශ්‍රයේ තාප්පවලට පවා මුත්‍රා කළේය. තම තනිකම හා කාංසිය මකා ගැනීමට ඔහුම ඇති කළ සුරතල් පූසාට නොසලකා ඌට අයාලේ යන්නට හැරියේය. ‘Embassy Cat’ ලෙස සමාජ මාධ්‍යකරුවන්ගේ ආදරය දිනා ගත් මෙම පූසාද අසාන්ජ් මෙන්ම ලෝකයේ අවධානය දිනාගෙන තිබුණි.

“ජූලියන් අසාන්ජ් මහතාගේ අවිනීත හා කලහකාරී හැසිරීම එසේම ඉක්වදෝරයට එරෙහි සතුරු හා තර්ජනාත්මක ප්‍රකාශ, විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් කඩකිරීම හේතුවෙන් ඔහුට රැකවරණය දීම තවදුරටත් කළ නොහැකි බවත් එය ඉදිරියට වලංගු නොවන බවත් ප්‍රකාශ කරමි.” එවකට ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝ අසාන්ජ් සම්බන්ධයෙන් තම ස්ථාවරය එසේ පැහැදිලි කර සිටියේය.

කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැත. අසාන්ජ්ටත් තම සුපුරුදු රැකියාව අමතකව නොතිබිණි. ඔහු ආරක්ෂකයන්ගෙන් “ගේම” ඉල්ලුවේය. අමුතු අමුතු ඉලෙක්ට්‍රොනික උපාංග තානාපති කාර්යාලය තුළ ඇටවීමට උත්සාහ කළේය. ආරක්ෂක කැමරා අවහිර කළේය. රහස්‍ය ලිපිගොනු ඉස්සුවේය.

“අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. මිනිහට යන එන මං නැතිව ඉන්න කොට ගෙදරට වද්දාගෙන කන්න බොන්න දුන්නාම ගෙදර මිනිහට කෙළින්න ආවා. අපි ඒ කාලකන්නියාට රැකවරණය සැලසීමෙන් ඉවත් වෙනවා. යාන්තම් අපි ඒ කටුව ගලවා ගත්තා.” ඉක්වදෝර ජනාධිපතිවරයාගේ උදහස පිට වූයේ එලෙසිනි.

කෙසේ නමුත් සුඛෝපභෝගී හෝටල් කාමරයක ඇඳක් මත දිගා වී පොකිරිස්සන් බුදින තමාගේ පිංතූරයක් අන්තර්ජාලයට මුදා හැරීම පිළිබඳව ඉක්වදෝර ජනාධිපතිවරයා අසාන්ජ් සමග උදහසින් සිටි බවක් විකිලීක්ස්වාදීහු හෙළිදරව් කරති. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පටි තදකර ගන්නැයි කියන ජනාධිපතිවරයා මෙලෙස මුදල් කාබාසිනියා කිරීම යෝග්‍යදැයි මේ හේතුවෙන් කසුකුසුවක් ඇතිවී තිබුණි. එය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට ද දැඩිව බලපා තිබුණි.

නිදහසින් පසු මව්බිමට

කෙසේ වෙතත් අසාන්ජ්ගේ නිදහසට අදාළ එකඟතාව අනුව, ඔහු විසින් ඇමෙරිකාවේ උතුරු මරියානා අධිකරණය ඉදිරියේ පෙනී සිට තමන් විසින් අනීතිකව ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂාවට බලපාන රහස්‍ය තොරතුරු පරිහරණය කිරීම සහ ප්‍රසිද්ධ කිරීමට අදාළ වරද පිළිගැනීමට එකඟ වී ඇත. එකඟතාව අනුව ඔහුට වසර 5ක සිරදඬුවමක් හිමි වනු ඇති නමුත් දැනටමත් එය ලන්ඩන් බන්ධනාගාරයේ ගත කිරීම නිසා අහෝසි වනු ඇත. අසාන්ජ් වරද පිළිගනිමින් නිදහස් වන්නේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මහත් සේ පිරිහීම නිසා බව වාර්තා වෙයි.

පසුගිය වසර 14 පුරා අසාන්ජ්, තමන්ට එරෙහි චෝදනාවන්ට එරෙහිව එක්සත් ජනපද නිලධාරීන් සමග නීතිමය සටනක යෙදී සිටියේය. එය නීතිමය සටනක් පමණක් නොව ජීවිතය හා මරණය අතර සටනකි. නිදහස් වීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළට පැමිණි ඔහුව පිළිගැනීමට විශාල පිරිසක් රැස්ව සිටියහ. අසාන්ජ්ගේ නව බිරිඳ හා පියා ද ඒ අතර සිටියහ. 2022 දී බන්ධනාගාරය තුළදී ඔහු සිය පෙම්වතිය වූ ස්ටෙලා සමග විවාහ විය.

“ජූලියන්ට සුවය ලැබීමට, නිදහසට හුරු වීමට කාලය අවශ්‍යයි. අපට පවුලක් ලෙස ජීවත්වීමට අවශ්‍යයි” අසාන්ජ්ගේ බිරිඳ මාධ්‍ය හමුවේ පවසා සිටියාය.

අසාන්ජ් වීරයෙක්ද දුෂ්ටයෙක්ද?

අසාන්ජ් කෙතරම් නොහොබිනා වැඩ කළත් ඔහුගේ අනුගාමිකයන්ට ඔහු වීරයෙකි. මිනිසාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බලවතුන්ගේ යකඩ හස්තයෙන් මුවා නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි. ඇමෙරිකාවට එරෙහිව සත්‍යවාදී තොරතුරු හෙළි කළ වැරැද්දට යම් මාධ්‍යවේදියකු චෝදනාවට ලක්වන්නේ නම් එය භයානක පූර්වාදර්ශයක් වනු ඇති බව ඔවුන් කියා සිටියි. ඇමෙරිකානු සිංහයාට අභියෝග කළ අසාන්ජ්ව සිංහ ලෙනට ඇතුළු නොකිරීමට ඔවුහු උපරිම ප්‍රයත්න දැරුවේය.

ජූලියන් අසාන්ජ් එකවර වීරයකු හා දුෂ්ටයකු වී සිටියි. යමෙක් ඔහු රාජ්‍යයන් අස්ථාවර කරන රාජද්‍රෝහියකු ලෙස දකියි. තවකෙකුට අනුව ඔහු සීමා මායිම් නැති ගවේෂකයෙකි. කෙසේ වෙතත් අසාන්ජ් යනු නිර්භීත හා ආදර්ශවත් මාධ්‍යවේදියකු ලෙස ඔහුගේ අනුගාමිකයන් ගෙනෙන ප්‍රබල තර්කය, ඔහුට එරෙහිව තිබූ අපරාධ චෝදනාවලින් යටපත් කිරීමට හැකිවේදැයි කීමට තවම කල් වැඩිය. අසාන්ජ් යම් එකඟතාවයන් මත නිදහස් වුණා නම් ඔහුට තම ඉදිරි කාලයේදී හිතුවක්කාර හෙළිකිරීම් කළ නොහැක. නීතිමය පොරොන්දුවලට අනුගත වීමට ඔහුට සිදුවනු ඇත. එහෙත් ඔහු ඉදිරියට කුමක් කරාවිදැයි උපකල්පනය කළ නොහැක. තවද කමකට නැති හැකර්කරුවකු, කන්න දුන් අත සපා කෑ අසමජ්ජාතියකු ලෙස දැනට හංවඩු ගැසී ඇති මේ හිතුවක්කාර ඔස්ට්‍රේලියානුවා පිළිබඳව ලියැවෙන කතාන්දරයට නැවතීමේ තිත තැබීමට දැනට ඉඩක් නොමැත. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමට මිනිසාට ඇති අයිතිය පිළිබඳව අනාගත ලෝකයේ ඇති වන ඕනෑම සංවාදයකදී ජූලියන් අසාන්ජ්ගේ නාමය ප්‍රබලව ඉස්මතු වනු ඇති බව නම් නිසැකය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment