ලංකාවේ ISIS ඉන්දියාවට ගහන්න ගිහින් මාට්ටු…

451

එහෙම ගැහුවනම් වෙන දේ හිතාගන්නවත් බෑ

අත්අඩංගුවට පත් වූ ත්‍රස්තයින් අතර පොට්ට නව්ෆර්ගේ පුත්‍රයාත්

ලොවක් කම්පා කළ ලංකාවේ පාස්කු ප්‍රහාරයේ උණුසුම පහව යන්නටත් පෙර එම බිහිසුණු ප්‍රහාරයට වගකිවයුතු ISIS ත්‍රස්තවාදී නැවතත් ඉන්දියාවේ ප්‍රහාරයත් දියත් කිරීමට සැලසුම් කිරීමේදී ඉන්දීයාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු පසුගියදා ඉන්දීය ආරක්‍ෂක අත්අඩංගුවට පත්විය. ක්‍රියාකාරී අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගත් ඔවුන් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවාසීන්ය. ගුජරාට් පොලිස් ප්‍රධානී චිකාස් සාහේ ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තහවුරුවී ඇත්තේ ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්ව ඉන්දියාවට ආ බවය.

ලංකාවේ ISIS ඉන්දියාවට ගහන්න ගිහින් මාට්ටු…

ඉන්දීය ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් අතර 33 හැවිරිදි නුස්රත් අහමඩ් ගානි මීගමුවේ පදිංචිකරුවෙකි. එමෙන්ම 27 හැවිරිදි නෆ්රාන් නවුෆර් හා 35 හැවිරිදි ෆාරිස් ෆාරික්ද, 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් යන අය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අහමඩ් ගානි නමැත්තාට පාකිස්තාන වීසා බලපත්‍රයක්ද හිමිව තිබූ බවද ඉන්දීය ආරක්‍ෂක අංශ පවසති. ත්‍රස්තයන් ඉන්දීය අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකතන, ගමන් මලු සහ ගුවන් ගමන් බලපත්‍ර හා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ කොඩියක්ද ඔවුන් සතුව තිබූ බවද එරට පොලිස් ප්‍රධානියකු පවසා ඇත. මෙම ත්‍රස්තවාදීන් සිවුදෙනා ඔවුන්ගේ භාරකරු වූ පාකිස්තානයේ පදිංචි අබු නමැත්තකුගේ උපදෙස් ලැබෙන තුරු අහමදාබාද් ගුවන්තොටෙහි රැඳී ඇත. මොවුන්ගේ දුරකථන පරීක්‍ෂාවේදී ඉන්දියාවේ විවිධ ස්ථානවල ඡායාරූප සහ වීඩියෝ දර්ශනද ඒ ඔස්සේ පරීක්‍ෂණ ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්දන ඒකකය ස්ථානයක් සෝදිසි කොට පිස්තෝල හා පතුරම් කිහිපයක්ද සොයාගත් බව ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රකාශ කරයි. මෙම අයිඑස් ත්‍රස්තවාදී සාමාජිකයන් සිව්දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නන් බවට ඉන්දීය ආරක්‍ෂක අංශ මේ වන විට සොයාගෙන අවසන්ය. මෙවන් වාතාවරණයකදී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද අයිඑස් ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම හා එම ත්‍රස්තවාදීන් ලාංකිකයන් වීම පිළිබඳව ලංකාවට ඇතිවන්නේ ද කළු පැල්ලමකි.

පාස්කු ප්‍රහාරය

අයිඑස් ත්‍රස්තවාදීන්ගේ මෙරට ප්‍රථම ප්‍රහාරය දියත් වන්නේ 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා දිනයේය. මෙරට ක්‍රිස්තියානි බැතිමත්හු එල්ල කරගත් ම්ලේච්ඡ ප්‍රහාරය ක්‍රිස්තියානි පල්ලි තුනකදී සහ කොළඹ පිහිටි සුපිරි හෝටල් තුනකදී ඉස්ලාමීය ත්‍රස්තවාදීහු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කළෝය. එම දිනදීම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්තා වන්නට විය. මෙම ප්‍රහාරයෙන් අයිඑස් ත්‍රස්තවාදීන් අට දෙනකුද ඇතුළුව පුද්ගලයින් 277 දෙනකු මරණයට පත්විය. 550 ක් පමණ තුවාල ලැබීය. එම ප්‍රහාරයේ විශේෂත්වයක් වන්නේ මීගමුව, මඩකලපුව සහ කොළඹ කොච්චිකඩේ පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර සිදුකරන්නේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුරදී වීමය. එහිදී රාජ්‍ය බුද්ධි සේවයට අනුව දෙවන ප්‍රහාර මාලාවක් ද ත්‍රස්තවාදීන් සැලසුම් කළ තිබුණද මෙරට රජයේ හා ආරක්‍ෂක අංශවල මැදිහත්වීමෙන් එම ප්‍රහාර නැවැත්වීමට ක්‍රියා කළේය. මෙම පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ වූ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයෝය. ඔවුන් ජාතික තව්හිත් ජමාත් නම් සංවිධානයේ සාමාජිකයෝය. මෙම පාස්කු ප්‍රහාරයට පෙරද බෞද්ධයන් හා සුෆී මුස්ලිම්වරුන් ඔවුන්ගේ ප්‍රහාරක ඉලක්ක විය. තවමත් නොවිසඳුන ලංකාවේ පාස්කු ප්‍රශ්නය පැටලුණු නූල් බෝලයක් වැනිය. එම ප්‍රහාරය නිසා ඇතැම්හු ආබාධිත වන්නට විය. තවත් අයගේ දෑස් අන්ධය. දරුවන්ට මවුපියන් ද සහෝදරයින්ද, දෙමපියන්ට දූ දරුවන් හා සහෝදර සහෝදරියන්ද ඥාතීන්ද මෙම ප්‍රහාරය අහිමි කළේය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තවමත් බලාසිටින්නේ තමන්ට කෙදිනක හෝ යුක්තිය ඉටුවේදැයිද යන්නය. එහෙත් මෙම පාස්කු ප්‍රහාර පිටුපස සිටින්නේ දේශපාලන කුමන්ත්‍රණයක් යැයිද යන්න තවමත් පවතින්නේ ප්‍රශ්නයකි. මෙරට දේශපාලකයින් සිදුවූ ඛේදවාචකයේ වගකීම එකිනෙකාට පැවරුවද එහි චූදිතයන්ද තවමත් නිදැල්ලේය.

කවුද මේ නෆ්රාන් නවුෆර්

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වන අයිඑස් ත්‍රස්තවාදීන් අතර මෙරට පාතාල ප්‍රබලයකුගේ පුතකු සිට ඇත. දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව 27 හැවිරිදි නෆ්රාන් නවුෆර් යනු පොට්ට නවුෆර්ගේ පුත්‍රයාය. පොට්ට නවුෆර් යනු කවුදැයි නැවතත් හඳුන්වාදෙන්නේ මෙරට පාතාලයේ ගිනි පුපුරු තවමත් අළුයට පවතින වග පෙන්වා දීමටය. කොළඹ අලුත්කඩේ අධිකරණයේ අති දක්‍ෂ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය ඝාතනයේ මහමොළකරු වන්නේ පොට්ට නවුෆර්ය.

පිටකොටුව අලුත්කඩේ ප්‍රදේශයේ උපන්ගම කරගත් මොහොමඩ් නියාස් නවුෆර් හරිහැටි අධ්‍යාපනයක් නොලැබූවෙකි. ජීවත්වීමට විවිධ වෙළෙඳාම් කර්මාන්ත කරන ඔහු මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් අනුව ගංජා සහ හෙරොයින් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වූවෙකි. කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම එකල පාතාල කණ්ඩායම් දෙකක් මගින් සිදුකළ අතර එකල දමිළ පාතාලයට සම්බන්ධවී සිටි එකම මුස්ලිම් ජාතිකයා ද වූයේ මොහොමඩ් නියාස් නවුෆර්ය. අලුත්කඩේ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගේ නායකයකු ලෙස කටයුතු කළ මොහිදින් හාජියාර් වෙඩි තබා ඝාතනය කරන්නේ ද පොට්ට නවුෆර්ය. දේශපාලන බලය, පොලිසිය හා මුදල් අතින්ද මේ කියන නවුෆර් එවක බොහෝ පොහොසත්ව සිටි අයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම කප්පම් ගැනීම වැනි ක්‍රියාවන්ට අමතරව නීති විරෝධී සිගරැට් කන්ටේනර් පිටින් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ ජාවාරම ද එකල සිදුකළේ ද නවුෆර් අතිනි. තවද කොන්ත්‍රාත් මිනීමැරුම් පවා නවුෆර්ගේ පාතාල කල්ලිය විසින් භාර ගෙන සිදුකළ අතර විවිධ හිතවත්කම් මත සිදුකළ මිනීමැරුම් රැසක් ද එකල ඔහුගේ ඝාතන ලැයිස්තුවට එක්වන්නේය.

ලංකාවේ ISIS ඉන්දියාවට ගහන්න ගිහින් මාට්ටු…

එකල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ ලබාදුන් විනිසුරුවරයකු ලෙස අඹේපිටිය මහතා දැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේය. එහිදී තමන්ට එරෙහිව විභාග වන කුඩු නඩුවේ දැඩි දඬුවමක් පවරාවී යන්න පොට්ට නවුෆර් දැන සිටි හෙයින් එයට පෙර අඹේපිටිය මහතාව ඉරණම් ගමනක් යැවීමට ඔහු තීරණය කරන්නේය. සිය පාතාල සගයන්ද යොදවා සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමට කටයුතු කරන්නේ ඉන් පසුවය. අඹේපිටිය මහතා ඝාතනය කළ පසු සියල්ල ඉවරයි යැයි සිතු නවුෆර් හැමවිටම හිතුවේ සියල්ල යහපත් වනු ඇතැයි කියාය. එහෙත් සියල්ල උඩුයටිකුරු කරමින් අඹේපිටිය මහතා ඝාතනය කර දින කීපයක් ගතවන්නට මත්තෙන් නවුෆර් ඇතුළු ගෝලබාලයින් පස්දෙනකුගේ දෑතට විලංගු දැමීමට පොලිසිය සමත් විය. මාස 7 කට ආසන්නව පැවැති නඩු විභාගයෙන් පසුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 5 දෙනට මරණීය දන්ඩනය නියම විය. ඒ 2005 වර්ෂයේ ජූලි මස 04 වැනිදාය.

එතැන් සිට වසර 16 කට අධික කාලයක් පොට්ට නවුෆර්ට වූයේ බන්ධනාගාරයේ සිරබත් කෑමටය. බන්ධනාගාරයේදීද සුපුරුද හොර ජාවාරම්, කප්පම් ගැනීම් ඒ ආකාරයෙන් ඔහු සිදු කළේය. එහෙත් කොතරම් කෙරුවාවන් කළද ඔහුට මරුවාගෙන් ගැලවීමක් නැතිවූයේ බූස්ස බන්ධනාගාරයේ සිටියදී වකුගඩු අමාරුව උත්සන්න වීමෙනි. ප්‍රතිකාර ලබාදීමට ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ඒමෙන් පසු ඔහුට සිදුවන්නේ කොවිඩ් වෛරසයට ගොදුරු වන්නටය. ඉන්පසු සිය ඉරණම ගමන වැලිකඩ බන්ධනාගාර රෝහල තුළම යෑමට සිදුවන්නේ මිනිස් ජීවිත තිස්ගණනකට වගකිවූ නවුෆර්ට සොබාදහමෙන් දුන් දඬුවමක් ලෙසිනි. ඉන්දීය අත්අඩංගුවේ පසුවන 27 හැවිරිදි නෆ්රාන් නවුෆර් ද සිය පියා ගිය අඩිපාරේ යන්නෙකි. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත්ව සිටින නෆ්රාන් නවුෆර්ද ඉන්දීය ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ පාතාලය මෙන්ම අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායමකටද සිය සාමාජිකත්වය ලබාදෙමින් සිටියදීය.

අයිඑස් ත්‍රස්තවාදීන් ගැන මුල්ම හෙළිදරව්ව

ඉන්දීය රහස් ඔත්තු සේවය 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත වාර්තාවක් ලබාදෙමින් නැගෙනහිර පළාතේ ගොඩනැගෙමින් ඇති මුස්ලිම් සංවිධාන කීපයක් හා එම පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකිදැයි විමසීය. එනම් ගෝලීය ත්‍රස්තවාදී ව්‍යසනයක පෙරනිමිති ලෙස මුස්ලිම් අන්තවාදය ව්‍යාප්තවීම ගැන ඉන්දීය රහස් ඔත්තුසේවා ඒ වනවිටද අවධානයෙන් පසුවිය. ඔවුන්ගේ එම ඉල්ලීමත් සමගම නැගෙනහිර මුස්ලිම් සංවිධාන ගණනාවක් සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශවල විශේෂ අවධානය යොමුවන්නේය. එහෙත් සැලකිය යුතු තොරතුරක් සොයාගැනීමට එකල හැකියාවක් නොලැබුණි. ඉන්පසු 2011 දී නැගෙනහිර බිහිවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය ආරම්භ වන්නේ එකල පැවැති අයහපත් දේශපාලන වාතාවරණය යටතේය. වර්ෂ 2011 දී ඊශ්‍රායල මොසාඩ් සංවිධානයෙන් හමුදා බුද්ධි අංශ දැනුවත් කරන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් ඊශ්‍රායලය වෙත පැමිණ ඇති බවය. එම වර්ෂයේම නැවතත් මොසාඩ් වාර්තාවක් නිකුත් වන්නට විය. එහි සඳහන් වූයේ සිරියාවේ අයි.එස්. අන්තවාදී යුද්ධයට සම්බන්ධ වීමට සිරියාව බලා යන ශ්‍රී ලාංකිකයන් ගැනය. පසුව 2015 ජූලි මස 11 දින මොහොමඩ් මුෂීන් සහරාස් නිලාම් නමැති ශ්‍රී ලාංකිකයා ISIS සටන්කරුවකු ලෙස සිරියාවේදී මියගිය බව හෙළිවිය. එම මරණය මෙරටට වාර්තා කරන්නේ නිලාම්ගේ බිරියගේ දෙවන සොයුරා වන තස්කීර් අහමඩ් තාජුඩීන්ය. ඔහු ද ISIS සටන්කරුවකු වන අතර ඔහු මෙම මරණ වාර්තා කරන්නේ ISIS සටන්බිමේ සිටය. මෙම ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් දෙදෙනා පිළිබඳව ලැබෙන තොරතුරු මත කරන ලද පරීක්‍ෂණ මගින් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබෙන්නේ අදාළ පුද්ගලයින් පවුල් පිටින්ම සිරියාවට ගොස් ඇති බවය. 2015 වර්ෂය වන විට ශ්‍රී ලාංකික මුස්ලිම් පවුල් පහක පුද්ගලයන් 37 දෙනකු සිරියාව බලා ගොස් සිටියහ. ඉන් පවුල් තුනක් දෙමටගොඩය. තවත් පවුල් දෙකක් දෙහිවලය. එම පිරිසෙන් නව දෙනකු අයි.එස් සටන්කරුවෝ ද වූහ. එම තොරතුරු එවක රජයේ ඉහළ නිලයන්හි හෙබවූ සෑම වගකිවයුත්තෙකුම දැන සිටියහ.

තව්හිද් ජමාද් නිකාය මෙරට බිහිවන්නේ දශක ගණනකට පෙරය. එය පළමුවෙන්ම බිහිවන්නේ ඕල් සිලෝන් තව්හිද් ජමාද් ලෙසය. ඒ දෙමටගොඩ මල්ලිකාරාමයේ පිහිටි දෙමටගොඩ පල්ලිය වටාය. ඉන්පසු ඕල් සිලෝන් තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් කුරානය විග්‍රහ කරගන්නා ආකාරය අනුව නිකාය ගණනකට කැඩී ගියහ. එනම් ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාද්, ජාතික තව්හිද් ජමාද්, එක්සත් තව්හිද් ජමාද් ආදී කණ්ඩායම්ය. පසුව 2011 දී හෂීම් සහරාන් නමැත්තකු කාත්තන්කුඩියේ ආරම්භ කළ ජාතික තව්හිද් ජමාද් නමැති සංවිධානයක් මෙරට අන්තවාදය වපුරවමින් සිටියේය. මෙම ජාතික තව්හිද් ජමාදයේ අන්තවාදීන් 47 දෙනකුගෙන් එකල සමන්විත විය. 2017 මාර්තු 10 දින කාත්තන්කුඩියේ සුන්නතුල් අල් ජමාද් මුස්ලිම්වරු හා ජාතික තව්හිද් ජමාදය අතර ගැටුමක් ඇතිවූ අතර ජාතික තව්හිද් ජමාදයේ අනුගාමිකයන් විසින් සුන්නතුල්වරු කපා කොටා දැමූහ. මෙම සිද්ධියට සහරාන් හෂීම් හා ඔහුගේ සගයන්ද අත්අඩංගුවට ගැනීමට ඕනෑතරම් අවකාශයක් තිබුණද එසේ අත්අඩංගුවට ගැනීමක් එකල සිදුනොවීමද මෙරට අයිඑස් ත්‍රස්තවාදයට රැකුලක්ද වූවේය. තවද ලංකාවේ ඉහළම ධනවත් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන උගත් තරුණ පිරිසක්ද මෙකල වෙනත් ආගමික අන්තවාදයක් වෙත ඇදී ගියේය. එම නිකාය හැදින්වූයේ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි යනුවෙනි. මෙම සංවිධානය අල්කයිඩා සංවිධානයේ ත්‍රස්තවාදය වෙනුවෙන් අන්තවාදී දේශන පවත්වමින් ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි නිකායක් පිහිටුවා ගන්නේ 2015 වර්ෂයේදීය.

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ හෂීම් සහරාන් විසින් චතුර ලෙස දේශන මාලාවන් පවත්වා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි කණ්ඩායම ආකර්ෂණය කරගෙන තිබිණ. තමන්ට අවශ්‍ය දෘෂ්ටිවාදය සහරාන් ළඟ තිබෙන බව ඔවුන් දුටු හෙයින් කාත්තන්කුඩියට ගොස් හෂීම් සහරාන් මුණ ගැසුණේය. එහිදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වන ඊබ්‍රහීම් දෙසොහොයුරන්, අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් ද එම ගමනට එකල එක්විය. මෙම කණ්ඩායම් දෙක 2017 දී මල්වාන ජාතික තව්හිද් ජමාද් තිප්පළක ආගම වෙනුවෙන් මියයෑම සඳහා “බයියත්” නමැති දිවුරුමද ලබාදුන්නේය. පාස්කු ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් එක්වූයේ එසේය. එම සංවිධානය අලුතෙන් සාමාජිකයන් 147 දෙනකු දක්වා බඳවාගන්නා ආකාරය බුද්ධි අංශ ද දුටුවේය. එම පිරිස අතරින් බිහිසුණු ප්‍රචණ්ඩකාරීත්වයක් ප්‍රකට කළ තරුණයෝ 39 ක් ද හඳුනාගැනුනද එම පිරිස අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටිය ද එවක රජය ආරක්‍ෂක අංශ ඉල්ලීම ඉවත හෙළනුයේ එතුළින් මුස්ලිම් සමාජය කැළඹීමකට පත්වීමකට පත්වේ යැයි මතයක් පළවූ නිසාය. ජාතික තව්හිද් ජමාද් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි කණ්ඩායමවල සියලු හැසිරීම් හමුදා බුද්ධි අංශ මුල සිටම හෙළිදරව් කරගෙන තිබුණ ද ඊට සම්බන්ධව පුද්ගලයන් 147 දෙනා වෙනුවෙන් ලිපිගොනු 147 ක් විවෘත කර ඔවුන්ගේ තොරතුරු ද යාවත්කාලීන කරමින් 2017 දක්වාම පවත්වාගෙන ගියද රටේ පැවැති දේශපාලන වාතාවරණය මත අදාළ පරීක්‍ෂණ පැවැත්වූ බුද්ධි අංශයේ නිලධාරීන් 500 ක් අත්අඩංගුවට ගැනීමෙන් පසු සියලු පරීක්‍ෂණ ද ඇනහිටියේය. ඉන්පසු 2018 වර්ෂයෙන් පසු එළැඹි වසර එකහමාර තුළ අයිඑස් අන්තවාදය වැඩි වර්ධනය වන්නට විය. මෙම ක්‍රියාවලියේ අන්තිම ප්‍රතිඵලය වූයේ ලෝකයේ පළමු වරට එකම දිනයක වැඩිම මරාගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාවක් එල්ලවූ රට ලෙස ලංකාව ඉතිහාස ගත වීමය.

පාස්කු ප්‍රහාරය රටට බලපෑ හැටි

ලංකාවේ ISIS ඉන්දියාවට ගහන්න ගිහින් මාට්ටු…

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මෙන්ම සමාන පාස්කු ප්‍රහාර සිදු වූ දින සිට රට ආර්ථික ප්‍රපාතයකට ගෙන ගියේය. පාස්කු ප්‍රහාරයත් සමග රජය මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර පොලිස් ඇඳිරිනීතිය පවා පනවා මෙරට ජනයාගේ ආරක්‍ෂාව එකල තහවුරු කළේය. මෙරට පාසල් පද්ධතිය මෙන්ම විශ්වවිද්‍යාල පවා සති කිහිපයක් තිස්සේ වසා දමමින්, වැරදි තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය පවා එකල අවහිර කිරීමට රජය පියවර ගත්තේය. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මෙහෙයුම් කටයුතු ද 2019 අප්‍රේල් 22 දින තාවකාලිකව අත්හිටු වූයේය. ලංකාවේ ආර්ථික පරිහානිය ද සිදුවන්නේ මේ ප්‍රහාර මාලාවෙන් පසුවය. රටට සංචාරකයා පැමිණීම නතර වන්නට විය. මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රය, වෙළෙඳාම් කටයුතු පවා ඇනහිටිණි. කෘෂිකර්මය ආදී රටේ සංවර්ධනයට උරදෙන අංශ ද මෙයින් අඩපණ විය. ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන්නේ මෙතැන් සිටය.

තවමත් “ඉස්ලාමීය රාජ්‍යයක්” පිහිටුවීමේ අදහස අත්හැරගැනීමට අයිඑස් ත්‍රස්තයන් සූදානම් නැත. කැමැති ආගමක් ඇදහීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව අප පිළිගන්නෙමු. එහෙත් ත්‍රස්තවාදය තුළ තම ආගම ප්‍රචාරය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. පාස්කු ප්‍රහාරයෙන් ඇතිවූ ආර්ථික, සාමාජීය, රාජ්‍යතාන්ත්‍රික බලපෑම රටක් වශයෙන් තවමත් අපට බලපාන්නේය. අප මේ මොහොතේ අවධානය යොමුකළ යුත්තේ සැලකිල්ල යොමුකළ යුත්තේ ඒ කාරණය ගැන පමණක් බව අවධාරණය කරමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment