26 වැනිදා කලා වැවෙන් ජයග්‍රාහී ගමන පටන් ගන්නවා

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය, දිනෙන් දිනම ආසන්න වෙමින් පවතී. මේ වන විටත් සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයත් එම පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයා නම් කර ඇතත් මේ දක්වා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරන අපෙක්ෂකයා නම් කර නොමැත. එසේ වුව ද එම පක්ෂය ඉදිරි මැතිවරණ ඉලක්ක කර පවත්වන රැස්වීම් මාලාවේ පළමු වන රැළිය අද (26) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ තලාව නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ පිළිබඳව මෙන්ම ශී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පිළිබඳවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳව මහලේකම් සාගර කාරියවසම් මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය- මේ වනවිට දේශපාලන භූමියේ සාකච්ඡා වන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පළමුවෙන්ම පවත්වන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද කියන එක. පළමුවෙන්ම මහ මැතිවරණය පැවැත්විය යුතුය යන යෝජනාව ඉදිරිපත් කරන ලද්දෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ලෙස ඔබට එම ප්‍රශ්නයට ලබාදිය හැකි පිළිතුර කුමක්ද?

පිළිතුර – රටේ පවතින නීතිය අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව අපි නිශ්චිතවම දන්නවා. බලයේ සිටින ජනාධිපතිවරයාගේ කාලය අවසන්වීමට මසකට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බව නීතියේ සඳහන් වනවා.

එහෙත් පාර්ලිමේන්තුව පත්වීමෙන් වසර දෙකහමාරකට පසුව, එම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. එම බලය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හෙට විසුරුවන්නත් පුළුවන්. විසුරුවන්නේ නැතිව ඉන්නත් පුළුවන්. එම නිසා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වනවා ද කියන එක දන්නේ ජනාධිපතිතුමා පමණයි. එම නිසා ඒ සම්බන්ධයෙන් අපි කාටවත් ස්ථීරව කිසිවක් සඳහන් කිරීමට බැහැ. අපි දන්නේ මෙම වසරේ ඔක්තෝබර් මාසයේ 18 වැනි දිනට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බව පමණයි.

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා සඳහන් කරලා තිබෙනවා ලබන මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවන බව. ඒ සම්බන්ධයෙන් කීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මමත් දුටුවා උදයංග වීරතුංග මහතා එබඳු ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ මහතා රුසියාවේ හිටපු තානාපතිවරයා. මම සිතනවා එතුමා කරපු එම ප්‍රකාශය සම්බන්ධයෙන් කලබල වියයුතු නැහැ කියලා.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලසීමාව පිළිබඳව. නමුත් තවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් කරලා නැහැ. එම ප්‍රමාදයට හේතුව කුමක්ද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් පසුව පැවැත් වූ සෑම මැතිවරණයකින්ම අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම, අපි විශ්වාස කරනවා මීළඟට කුමන මැතිවරණය පැවැත්වුවත් අපි ජයග්‍රහණය කරනවා කියලා. වෙනත් පක්ෂ වගේ අපේ පක්ෂය බංකොලොත් තත්ත්වයට වැටිලා නැහැ. අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ මොහොතේ සිට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා ඊළඟ ජනාධිපතිවරණයෙත් අපේක්ෂකයා තමන් බව. ප්‍රේමදාස මහතා එලෙස සඳහන් කිරීමට හේතුව තමයි, ඉදිරි ජනාධිපතිවරණයේ අපේකෂකත්වය තමාට ලැබේ ද යන්න සම්බන්ධයෙන් එතුමාට තිබුණ සැකය.

ඒ වගේම අපි දුටුවා අනුර කුමාර මහතාත් සඳහන් කරනවා, ජනාධිපති අපේක්ෂකයා තමන් බව. එතුමා එලෙස සඳහන් කිරීමට හේතු වූ කාරණය තමයි ඔවුන්ගේ පක්ෂය තුළින්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා පත් කළ මන්ත්‍රිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ඉස්මතු වීම.

එහෙත් අපේ පක්ෂය තුළ එහෙම තත්ත්වයක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත. මේ පක්ෂය නිර්මාණය කළේ මේ රටට ආදරය කරන ජනතාව. අපි එම ජනතාව සමග එකතුවෙලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා රටට ආදරය කරන, රට පාවා දෙන්නේ නැති, රටේ ආර්ථිකය ඉහළට ගෙන එන්න පුළුවන් නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනවා. එම ඉදිරිපත් කිරීම කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමයි.

ප්‍රශ්නය – ප්‍රධාන ව්‍යාපාරිකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ධම්මික පෙරේරා මහතාත් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ඒ මහතා මේ වනවිටත් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බවත් වාර්තා වනවා?

පිළිතුර – ධම්මික පෙරේරා මහතා කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය පිළිගනිමින්, එතුමා සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරපු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම එතුමා අමාත්‍යාංශයක ලේකම්වරයා ලෙසත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී කටයුතු කළා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. මහින්ද ජනාධිපතිගේ කාලයේදී නිදහසින් පසුව මේ රටේ ආර්ථිකය ඉහළ තලයකට ආවා. එම මහා ආර්ථික විප්ලයටත් එතුමා දායක වෙලා තිබෙනවා. ඒ වගේම මහින්ද චින්තනයේ ආර්ථික දැක්මත් පිළිගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත් වී තිබෙනවා. එතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළත් මේ රටෙත් දේශපාලනය කිරීමට තිබෙන අයිතියට අපි ගරු කරනවා.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේ සූදානමින් පසුවන බව පේන්න තිබෙනවා. ජනාධිපතිතුමාගේ එම අපේක්ෂාව ඉෂ්ට වේවිද?

පිළිතුර – අපි පක්ෂයක් විධියට ඉදිරියේ දී අපගේ අපේක්ෂකයා තීරණය කරනවා. අපි ඉදිරියේදී අපේක්ෂකත්වය ලබා දෙන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකුට. ඒ පිළිබඳව අවසන් තීරණය ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින්. අපගේ පක්ෂයේ නායකයන් විසින් දැනුම් දී තිබෙනවා මෙම කාරණය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වළකින්න කියලා. එම නිසා ඔය කාරණය පිළිබඳව ඊට වඩා දෙයක් මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට බැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ දී ශාඛා සමිති රැස්කිරීමටත්, පක්ෂයේ සංවත්සරය පැවැත්වීමටත්, පක්ෂයේ සම්මේලනය පැවැත්වීමටත් කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පියවර කුමක්ද?

පිළිතුර – දැන් පක්ෂය මැතිවරණයට සූදානම් වනවා. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් පළමු ආසන සම්මේලනය මෙම මස 26 වැනිදා අනුරාධපුර, කලාවැව ආසනයෙන් ආරම්භ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑමදාම රැස්වීම් ආරම්භ කළේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින අනුරාධපුරයෙන්. ඒ අනුව මෙවරත් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රථම රැස්වීම අනුරාධපුර, කලාවැව ආසන්නයේ දී 26 වැනිදා අතිසාර්ථකව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රශ්නය – අතීතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් විශේෂයෙන්ම මැතිවරණ අවස්ථාවලදී ජාතිකවාදි සහ වාමාංශික බලවේග පුරෝගාමී වැඩ කොටසක් කරනවා. නමුත් මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධයක් නොමැති ජාතිකවාදී සහ වාමාංශික බලවේග එම පක්ෂය සමග සමීපව කටයුතු කරන බවක් පෙන්න නැහැ. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – එහෙම කියන්න බැහැ. අපත් සමග මීට පෙර කටයුතු කළ ජාතිකවාදි බලවේග යම් කිසි කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී සිටියා ද කියන සැකය අපට තිබෙනවා. ඒ වගේම එම කුමන්ත්‍රණයේම කොටසක් ලෙස අපත් සමග කටයුතු කළ ජාතිකවාදීන් අපගෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිද්ධ වුවාය කියන විශ්වාසයත් අපට තිබෙනවා. අපෙන් ඉවත් වූ ජාතිකවාදි කණ්ඩායම් යළිත් අපත් සමග සම්බන්ධ කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් සිටිනවා.

කෙසේ වුවත් ජාතික බලවේගය අපත් සමග නැහැ කියන කාරණයට මම එකඟවන්නේ නැහැ. මොකද මේ රටේ ජාතික බලවේගයේ සලකුණ තමයි මහින්ද රාජපක්ෂ මහතා. එතකොට මේ රටේ ජාතික බලවේගයේ සලකුණ තමයි අපගේ පක්ෂයේ නායකයා. මීළඟට අපි දකින මේ රටේ ජාතික බලවේගයේ පුරුකක් තමයි දිනේෂ් ගුණවර්ධන මහතා. එතුමා අදත් අපත් සමග ඉතා සමීපව සංධානගතව කටයුතු කරනවා. ඒ අනුව මේ රටේ ජාතික බලවේගය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ අපත් සමග කියන එක අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මහා සංඝරත්නයත් මේ රටේ ජාතික බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක අවිවාධයෙන් පිළිගෙන අපට නිරන්තරනේ ආශීර්වාදය ලබා දෙනවා. ඒ වගේම මේ රටේ සියලුම දේශප්‍රේමී සංවිධාන පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය තේරුම් අරගෙන නැවත ඔවුන්ගේ එකඟතාවය සහ ආශීර්වාදය අපට ලබා දී තිබෙනවා. ජාතික බලවේගය නියෝජනය කරන යම් සුළු කොටසක් අපෙන් ඉවත් වී සිටිනවා නම් ඔවුන් එක්කෝ වැරදි තීරණ ගන්න අය. නැතිනම් කුමන්ත්‍රණකරුවන්.

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා වත්මන් ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් බවත්, එබඳු ආණ්ඩුවකට රටේ දේපළ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව මේ වනවිටත් “ආර්ථික පරිවර්තන පනත” නමින් වූ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. එම සිදුවීම්වලින් පැහැදිලි වනවා නේද ආණ්ඩුව තුළ යම් ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව?

පිළිතුර – මහින්ද රාජපක්ෂ මහතා කරපු ප්‍රකාශය පක්ෂයක් විධියට අපි සියයට සියයක් අනුමත කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේම දේශීය සම්පත් සුරැකිය යුතුය යන පදනමින්. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා එදා හම්බන්තොට මහා සංවර්ධනයක් කළා. අධිවේගී මාර්ගයකින් කටුනායක ගුවන්තොටුපළට සම්බන්ධ කළා. මත්තල ගුවන්තොටුපළක් ආරම්භ කළා. හම්බන්තොට වරායක් නිර්මාණය කළා. ඒ වගේම හෝටල්, රෝහල්, සම්මන්ත්‍රණ ශාලා නිර්මාණය කළා. එම කටයුතු කළේ රට සංවර්ධනය කිරීම සඳහා සැලස්මක් ඇතිව. නමුත් අද එම සැලසුම ඉදිරියට ගෙන යෑමට නොහෙැකි වී තිබෙන්නේ හම්බන්තොට වරාය විකුණපු නිසා. 2015 බලයට ආපු ආණ්ඩුව නිසා හම්බන්තොට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මහා සංවර්ධන ව්‍යාපෘතිය නතර වූවා. අද හම්බන්තොට යන පුද්ගලයකු දකින්න පුළුවන් හම්බන්තොට තිබෙන සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු යටිතල පහසුකම් නාස්තියක් ලෙස. නමුත් එම තත්ත්වය නිර්මාණය වූයේ මත්තල ගුවන්තොටුපළේ වී පුරවල, හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණල දාලා එම සැලසුම කඩාකප්පල් කළ නිසා.

දේශීය සම්පත් සුරැකීම සඳහා වර්ධනය කිරීම සඳහා පිහිටුවපු පක්ෂයක ආධාරයෙන් බලයට ආපු නායකයෙක් යළිත් එම වරදම කරනවා නම් අපි එය අනුමත නරන්නේ නැහැ. ඉදිරියේදී ජාතික සම්පත් විකිණීමේ පදනමින් යම් පනතක් ගෙන එනවා නම් අපටත් පක්ෂයක් ලෙස විරුද්ධව ඡන්දය ලබාදීමට සිදුවන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට සිද්ධ වෙනවා.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment