අකුර මිල නොකළ අපේ කාලේ මෙන්න දිසාපාමොක්ලා..!

264
රාත්‍රී පාසලේ ඉගැන්වීම් කරන ආකාරය

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ…..

මේ කතාව වෙන කොහේවත් නොවේ.. වැලිමඩින්

මුදල් පසු පස හබා යන වත්මන් සමාජයට ආදර්ශයක් දෙමින් පාසල් පැවැත්වෙන වේලාවේ අධ්‍යාපනය ලබා දීමට අමතරව රාත්‍රී කාලයේදීත් පැය හතරක් ඉගැන්වීම් කටයුතුවල නිරත වන දෙවිවරුන් වැනි වූ ගුරුවරුන් සිටින පාසලක් පිළිබඳව වැලිමඩ අධ්‍යාපන කලාපයෙන් අපට වාර්තා විය.

මේ ආදර්ශවත් පාසල වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් ඌව පරණගම බ/යහලඅරාව මහා විද්‍යාලයයි. සාමාන්‍යයෙන් පාසල පැවැත්වෙන කාලයට අමතරව පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා මෙම පාසලේ ගුරුවරු සිය පාසලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරයි. බ/යහලඅරාව මහා විද්‍යාලයේ විදුහල්පති රෝහණ බණ්ඩාර මහතාගේ මූලිකත්වය ඇතිව එම විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් විසින් මෙම රාත්‍රී පාසල පවත්වාගෙන යනු ලබයි. මෙම රාත්‍රී පාසල සඳහා සහභාගි වන ගුරුවරු මෙම පාසල සඳහා පැමිණෙන ළමයින්ගෙන් කිසිදු මුදලක් අය නොකර නොමිලයේ මෙම ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සිදු කරන අතර මෙම වත්මන් සමාජයට ගෙන දෙන්නේ මහත් ආදර්ශයකි.

අකුර මිල නොකළ අපේ කාලේ මෙන්න දිසාපාමොක්ලා..!

මෙම සත්ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වු බ/යහලඅරාව මහා විද්‍යාලයේ විදුහල්පති රෝහණ බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

යහලඅරාව විද්‍යාලය කියන්නේ වැලිමඩ අධ්‍යාපන කලාපයේ විෂය හා විෂය සමගාමි කටයුතු වලින් සුවිශේෂි ස්ථානයක් දිනාගෙන සිටින පාසලක්. මේ පාසලේ දරුවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ක්‍රීඩා අංශයෙන් හිමිකරගෙන සිටිනවා. මේ පාසල පිහිටලා තියෙන ප්‍රදේශය අඩු පහසුකම් සහිතව ජීවත් වන පිරිසක් සිටින ප්‍රදේශයක්. බොහෝ දෙනෙක්ගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය හා කුලී වැඩයි. ඉතිං මේ පාසලට පැමිණෙන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව අපි ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනක් තමයි මේ රාත්‍රී පන්ති පැවැත්වීම. දැනට වසරකට වැඩි කාලයක් මේ පන්ති අපේ පාසලේ පැවැත්වෙනවා. සුවිශේෂි ඉගෙනුම් ප්‍රතිකාර වැඩසටහනක් ලෙස මෙම රාත්‍රී පන්ති පැවැත්වීම හඳුන්වලා දෙන්න පුළුවන්. මේ පන්ති සඳහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම මේ පාසල අයත් වන පෝෂක ප්‍රදේශයේ ඉන්න ඕනෑම දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. මේ පාසලේ උදය කාලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරුවරු පාසල අවසානයේ නිවෙස් වලට ගිහින් නැවත පැමිණිලා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා නැවත දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. මේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන ගුරුවරු කිසිදු අමතර මුදලක් මේ දරුවන්ගෙන් ලබාගන්නේ නැහැ. ස්වෙච්ඡාවෙන් තමයි මේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. අපි මේ වැඩසටහන ආරම්භ කළායින් පස්සේ මේ දරුවන් විෂයන්ට දක්වන උනන්දුව වැඩිවෙලා තියෙනවා. ඒ වගේම විභාග වලින් විශිෂ්ට දස්කම් පෙන්වලා තියෙනවා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. මේ වැඩසටහන කරන්න මට ගුරුවරුන්ගේ සහය නැත්තම් කරගෙන යන්න බැහැ. අපි මේක එක පවුලක් හැටියට ඉඳන් තමයි කරන්නේ. මමත් විදුහල්පති කියලා උපදෙස් දීලා නිකං ඉන්නේ නැහැ. මමත් මේ රාත්‍රී කාලයේ පැවැත්වෙන පන්තිවල ළමයින්ට උගන්වනවා.

පාසලේ ගණිත ගුරුවරයෙකු වන ඉන්දික මධුෂංක මහතා මෙසේ පැවසීය.

අනේ අත්සන් අරන්. ඒ වගේම භාරකාරත්වය තහවුරු කරගෙන. ඒ නිසා දෙමාපියන්ටත් මේ රාත්‍රී පන්ති ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. අපි උදේ වරුවේ පාසල නිමා වු පසු නිවෙස් වලට ගිහින් නැවත පස්වරු 5.30 පමණ වන විට පාසලට එනවා. අපි මේ රාත්‍රී පන්ති පවත්වන්නේ ගොඩක් සතුටින්.

පාසලේ භුගෝලය විෂය භාර ආචාර්ය අශෝක රත්නායක මහතා මෙසේ පැවසීය.

අපේ ගුරුවරු මේ වැඩසටහනේදී එකාවන්ව කටයුතු කරනවා. අපි සතියේ දවස් පහේම රාත්‍රි පන්ති පවත්වනවා. ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට අමතරවත් තවත් ගුරුවරුන් කිහිප දෙනෙක් පන්ති පැවැත්වෙන අවස්ථාවල පාසලට පැමිණිලා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසලේ රැඳී සිටිනවා. දෙමාපියනුත් සමහර වෙලාවට පාසලට පැමිණිලා ඉන්නවා. මේ පාසල දැන් ගමත් එක්ක සම්බන්ධ වෙලා. ගමෙන් අපට ලොකු ශක්තියක් දෙනවා මේ කටයුතු සිදු කරන්න. අපි ඉගැන්වීම් කටයුතු වලට සහභාගී කරවාගන්නේ නැති දරුවන්ට පාඩම් කරන්න අවස්ථාව පාසලේදී හදලා දීලා තියෙනවා. ඒ ළමයි පාඩම් කරන ආකාරය අපේ ගුරුවරුන් නිරන්තරයෙන් අධික්ෂණය කරනවා. විෂය සම්බන්ධයෙන් පැන නගින ගැටළු වලට ඒ ගුරුවරු පිළිතුරු සපයා දෙනවා. අපි මේ කටයුතු ඉදිරියටත් කරගගෙන යන්න තමයි බලාපොරොත්තුව. මේ ළමයි මේ රටේ ඉහල තැන් වල ඉදිමින් මේ රටට සේවයක් කරනවා දකින එකයි අපේ එකම පැතුම.

අකුර මිල නොකළ අපේ කාලේ මෙන්න දිසාපාමොක්ලා..!

රාත්‍රී පන්තිය සඳහා සහභාගි වන දරුවෙකුගේ දෙමාපියෙකු වන උඩපේරුවේ පදිංචි කේ. එම්. ලීලසේන මහතා මෙසේ පැවසීය.

අපි කුලී වැඩ කරමින් තමයි ජීවත් වෙන්නේ. මේ කාලය ආර්ථිකමය වශයෙන් කාටත් අමාරු කාලයක්. අපිට අපේ දරුවන් අමතර පන්ති සඳහා මුදල් ගෙවලා නගරයේ පන්ති සඳහා යවන්න ශක්තියක් නැහැ. ඒ නිසා මේ ගුරුවරුන් කරන්නේ අපිට ලොකු දෙයක්. මේ රාත්‍රී පන්තිය නිසා අපේ දරුවන් අපිට මුදල් ගෙවලා අමතර පන්ති වලට යවන්න ඕනි නැහැ. අපේ දරුවන් ඉතා උනන්දුවෙන් තමයි මේ පන්ති වලට සහභාගී වෙන්නේ. මේ සියලු දේවල් මේ ගුරුවරු කරන්නේ ස්වෙච්ඡාවෙන්. මේ අය මේ කරන දේට හැකි අය උදව් කරනවා නම් ඒක මේ කාර්යය ඉදිරියටත් කරගෙන යන්න ලොකු ශක්තියක්. රාත්‍රී කාලයේ පන්ති පැවැත්වෙන පන්ති කාමරවල විදුලි පහන් දල්වා තිබුණත් පාසල් භූමිය පවතින්නේ අන්දකාරයේ. ඉතිං කට හරි පුළුවන් නම් සූර්ය විදුලි පහන් කිහිපයක් හෝ මේ පාසලට පරිත්‍යාග කරන්න පාසල් භුමිය ආලෝකමත් කරලා දෙන්න ඒක ලොකු උදව්වක්. මොකද ළමයි නැවත නිවෙස් වලට නැවත ගෙනියන්න එන්නේ දෙමාපියන් රෑට. ළමයින්ට වැසිකිළියකට යන්න අවශ්‍ය වුණොත් කළුවරේ තමයි යන්න වෙලා තියෙන්නේ. ගුරුවරුන් නිවෙස් වලින් ටෝච් කිහිපයක් ගෙනත් තියෙනවා. මේ උදව්ව කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.

රාත්‍රී පන්තිය සඳහා සහභාගි වන දරුවෙකුගේ දෙමාපියෙකු වන ප්‍රියංකා දර්ශණි මහත්මිය මෙසේ පැවසුවාය.

මේ රාත්‍රී පන්තිය නිසා අපේ දරුවන්ගේ ආරක්ෂාව අපිට තහවුරු වෙලා තියෙනවා. දරුවන් නගරයේ පන්ති සඳහා යවන්න අපිට ඇතැම් අවස්ථාවල භයත් හිතෙනවා අහන්න දකින්න ලැබෙන දේවල් වලින්. මේ විද්‍යාලයේ ගුරුවරු මේ කරන දේ මුළු රටටම ආදර්ශයක්. අපි දැකලා තියෙනවා ඇතැම් ගුරුවරු රාත්‍රි කාලයෙත් අන්තර් ජාලය හරහා පන්ති කරනවා මුදල් අය කරලා. එහෙම බලනකොට මේ ගුරුවරු මේ රාත්‍රී කාලයේ පාසලට පැමිණිලා ස්වෙච්ඡාවෙන් තම කාලය වැය කරමින් මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අපි දකින්නේ මිහිපිටි දෙවිවරු කරනු ලබන දෙයක් හැටියටයි. මේ කාර්යය කරන ගුරුවරු අඩු පහසුකම් යටතේ තමයි මේ කාර්යයන් කරන්නේ.

රාත්‍රී පන්තිය සඳහා සහභාගි වන දරුවෙකුගේ දෙමාපියෙකු වන ආනන්ද ජයරත්න මහතා මෙසේ පැවසීය.

අපේ එකම අරමුණ මේ අපේ දරුවන්ගේ අනාගතය ජය ගන්න පාර හදන එකයි. ඒකට මේ රාත්‍රී පන්තියෙන් ලැබෙන්නේ ලොකු දෙයක්. හැකි අය ඉන්නවානම් අපේ මේ පාසලට ස්මාර්ට් බෝඩ් කිහිපයක් ලබා දෙන්න. අපි දැකලා තියෙනවා කොළඹ පාසල්වල මේ ඩිජිටල් බෝඩ් තියෙනවා. අපේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙයි ඒවායේ පහසුකමුත් මේ පාසලට ලැබුණාම.

රාත්‍රී පාසලට සහභාගි වන සිසුවියක වන ජයනි චරිත්මා මෙසේ පැවසීය.

අපි මේ පන්ති සඳහා එන්නේ ගොඩක් ආසාවෙන්. අපේ ආරක්ෂාවත් මේ ගුරුවරු සලසලා තියෙන්නේ. අපිත් ආසයි මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් එහෙම දාගෙන ඉගෙන ගන්න. පුළුවන් නම් අපිට ඒ දේවල් ලබාදෙන්න. අපේ පාසල මේ පළාතේ තියෙන හොඳම පාසල කරන්නයි අපිටත් ඔනේ. අපි මේ රාත්‍රී පන්තියේ ඉගෙන

ගන්නේ ගොඩක් ආසවෙන්. මේ දිනවල දහවල් තියෙන දැඩි උෂ්ණත්වය නිසා අමාරුයි. ඒත් රැ පන්තිය නම් ගැටලුක් නැතිව ඉගෙන ගන්න පුළුවන්.

අකුර මිල නොකළ අපේ කාලේ මෙන්න දිසාපාමොක්ලා..!

රාත්‍රී පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකු වන කළණ නුවන් මෙසේ පැවසීය.

අපි පාසල නිම වෙලා නිවෙස් වලට ගිහින් නැවත සවස පාසලට එනවා මේ රාත්‍රී පන්ති සඳහා. ගුරුවරුත් නැවතත් පාසලට එනවා. අපේ අධ්‍යාපන කටයුතු වලට මේ රාත්‍රී පන්තිය ගොඩක් උපකාරි වෙනවා. මේ ප්‍රදේශයේ සිට වැලිමඩ නගරයට යන්නත් ටිකක් දුරයි. අපේ දෙමාපියන්ට අමතර පන්ති වලට අපිව යවන්නත් ශක්තියක් නැහැ. ඉතිං මේ රාත්‍රී පන්ති නිසා ඒක අපේ දෙමාපියන්ටත් ලොකු සහනයක් වෙලා තියෙනවා. අපේ අරමුණ රටට වැඩදායි පිරිසක් වෙන එක. ඒ දේට මේ ගුරුවරු ගොඩක් කැපවෙලා ඉන්නේ. උදෙත් මහන්සියෙන් අපිට උගන්වලා රෑත් අපිට ඉගැන්වීම් කරනවා කියන්නේ ලොකු මහන්සියක්. ඒ මහන්සිය නොතකා මේ ගුරුවරු කරන්නේ ලොකු කැප කිරීමක් අපි වෙනුවෙන්. අපි ඒ ගුරුවරු කරන කැප කිරීමට සාධාරණයක් කරන්න හොඳට ඉගෙන ගන්නවා. මේ පාසල් වලට ලැබෙන සම්පත් අඩුයි. අපේ පාසලට පරිගණකත් අඩුයි. අපිත් ආසයි පරිගණක ඉගෙන ගන්න. අපේ පාසලට තව පරිගණක කිහිපයක් හරි ලබා දෙනවා නම් ඒක මේ පාසලේ ඉගෙන ගන්න ළමයිනට ලොකු ශක්තියක්. අපිට රාත්‍රී පාසලේදි පරිගණක අධ්‍යාපනය ලබන්නත් පුළුවන්. අපිටත් ඕනි නගරයේ තියෙන පාසල් එක්ක තරග කරන්න. අපිටත් පුළුවන් ලෝකය ජය ගන්න කියලා තමයි අපේ ගුරුවරු හැමදාම කියන්නේ. අපි ඒ ගුරුවරුන්ගේ බලාපොරොත්තුව ඉටු කරනවා. එතකොට තමයි මේ ගුරුවරු මේ රෑ පවා ඇවිත් අපේ අධ්‍යානය ඉහළ නන්වන්න කරන කාර්යයට සාධාරණයක් වෙන්නේ.

බ/ යහලඅරාව මහා විද්‍යාලයේ විදුහල්පති රෝහණ බණ්ඩාර මහතාගේ දුරකථන අංකය – 071 4420075

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment