පැරණි රැහේ මිතුරෙක් අග්බෝ බලන්න නිතර නිතර කණුමුල්ලේගම වැවට එනවාලු

823

මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරණ අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහා රැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

එහි ආසන්නතම සිදුවීමක් ලෙස පෙරේදා (09) උදෑසන කණුමුල්ලේගම වැවට මෙම අලියා පැමිණ අග්බෝ ඇතා රැගෙන යෑමට උත්සාහ දරා ඇති අතර පසුව අග්බෝ ඇතා වැවේ සිටිය දී එම අලියා පමණක් නැවත කැලයට ගොස් තිබේ.

මාස ගණනාවක් වම් පාදයේ ආබාධයක් නිසා රෝගාතුරව සිටි අග්බෝ ඇතා තුවාල සුවවීමෙන් පසු තිරප්පනේ ඇතුන්ගම ඇතුළු ප්‍රදේශ කීපයකම සැරිසරමින් ආහාර ගනිමින් ජීවත්වීමට පුරුදුව සිටී.

රෝගාතුරවීමට පෙර සිටි අලි රංචුවේ අලියෙකු පසුගිය දිනවල වරින්වර අග්බෝ ඇතා සිටින තැන්වලට පැමිණි බවත්, අග්බෝගේ රෝගී තත්ත්වය හා ආහාර සපයාදීමට බාධාවක් වූ නිසා එම අලියා කැලයට පන්නා දැමූ බවත්, වනජීවී නිලධාරී කාර්යාලය කීය.

කෙසේවෙතත් යළි අග්බෝ ඇතා කැලයට රැගෙන යාම සඳහා මෙම අලියා විටින්විට අග්බෝ සිටින තැන්වලට පැමිණීමට ඉඩ ඇතැයිද වනජීවී කාර්යාලය කීය.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment