දරුවා පාසලට ඇරලවා එමින් සිටි අඹුසැමි යුවළට හීනටිගලදී වෙඩි

193

සැමියා මරුට – බිරිඳට තුවාල

හබරාදුව, හීනටිගල ප්‍රදේශයේදී ඊයේ (24 දා) උදෑසන වෙඩි තබා ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල්පෙ, හීනටිගල හේනගෙදරවත්ත පදිංචි වික්‍රම සෙනරත් යාපාගේ ලක්ෂිත රුවන් කුමාර නමැති 37 හැවිරිදි තිදරු පියෙකි. මියගිය පුද්ගලයා ඊයේ උදෑසන බිරිඳ සමග ත්‍රිරෝද රථයෙන් දරුවන් මාගාල්ලේ පාසලට ඇරලවා ආපසු නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පොල්දූව පන්සල අසලදී එම්.එම්. 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත. මෙහිදී වෙඩි අටක් පමණ තබා ඇති අතර මියගිය අයගේ පපුවට සහ මුහුණට වෙඩි වැදී ඇත. ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන විටත් මියගොස් සිටි බව පොලිසිය පැවසීය.

මෙහිදී සුළු තුවාල ලැබූ නවතුන් කෝරළගේ ගයනි ධනුෂ්කා නමැති ඔහුගේ බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. පොලිසිය පැවසුවේ ඝාතනය වූ පුද්ගලයා හිටපු හමුදා සෙබළෙකු වන අතර 2021.10.14 දා උණවටුන මැටරඹ වෙළඳසලක් අසලදී ගොලුව හේවගේ සිසිර කුමාර යන අය ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ ඇති අයෙක් බවය. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතාගේ රියැදුරෙකු ලෙස සේවය කර ඇති බවත්, මෙම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයකු බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි. ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් සතිස් ගමගේ

යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අශෝක කරුණාරත්න මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අහංගම – සුගතපාල දීයගහගේ, හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment