රැවුල කොණ්ඩය වවාගෙන ඇඩ්මිෂන් අත්සන් කරන්න ඇවිත් – ගුරුවරයාට පහරදුන් සිසුහු 4 ක් රිමාන්ඩ්

165

පුත්තලම අධ්‍යාපන කලාපයේ තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හතර දෙනකු ලබන මෙම මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

සිසුන් පිරිසක් 23 වැනිදා විභාග ප්‍රවේශ පත්‍ර අත්සන් කර ගැනීමට විද්‍යාලයට පැමිණ ඇත්තේ විද්‍යාලයට ඇතුල් කර ගැනීමට නුසුදුසු අයුරින්ය.

එම අවස්ථාවේ විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා එම සිසුන් පිරිසට විද්‍යාල පරිශ්‍රයට ඇතුළු කර ගැනීමට නොහැකි බවත් නිසි පරිදි රැවුල සහ කොණ්ඩය කපා ගෙන පැමිණෙන ලෙසත් අවවාද කර තිබේ.

පසුව එම සිසුන් පිරිස නිසි පරිදි කොණ්ඩය හා රැවුල කපාගෙන විභාග ප්‍රවේශ පත්‍ර අත්සන් කර ගැනීමට පැමිණ ඇති අතර පසුව එදින රාත්‍රියේ එම සිද්ධියට සම්බන්ධ සිසුන් තිස් දෙනකු පමණ පිරිසක් එම ගුරුවරයාගේ නිවසට පැමිණ තර්ජන කර ඔහුට පහර දී තිබේ.

එම ගුරුවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසියට පැමිණිලි කර ඇති අතර එහිදී පහර දීමට සම්බන්ධ සිසුන් 5 දෙනකු හඳුනාගත් බවත් ඉන් එක් සිසුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සිසුන් හතර දෙනෙතු අත්අඩංගුවට ගෙන ඊයේ (24 වැනිදා) දහවල් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් පුත්තලම මූලස්ථාන පොලිසියේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත නන්ද බණ්ඩාර මහතා පැවසීය.
අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment