කූට ලේඛන සකසා වාහන කුලියට ගෙන ජාවාරම් කළ ගුරුවරියක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

102

හැඳුනුම්පත්, විදුලි බිල්පත් සහ රියැදුරු බලපත් කූට ලෙස සකස්කර කුලීගෙවීමේ පදනම මත වාහන ලබාගෙන ඒවාටද ව්‍යාජ ලේඛන සකස් කර වාහන ජාවාරම් කරන කණ්ඩායමක ගුරුවරියක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

දඹුල්ල, පොළොන්නරුව සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42, 37 සහ 36 වියැති තිදෙනකු බව පොලිසිය කීය.

පානදුර ප්‍රදේශයේ වාහන කුලියට ලබාදුන් ව්‍යාපාරිකයෙක් විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෝටර් රථ දෙකක්, ව්‍යාජ හැඳුනුම්පත්, රියැදුරු බලපත් විදුලි බිල්පත්, පැවරුම් සහතික සහ වාහන හිමිකම් පොත් සොයාගත් බවද පොලිසිය කීය.

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දිවයින පුරා මෙසේ වංචා කරමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් වාහන දෙකක් ගම්පහ පොලිසිය විසින් සොයාගෙන ඇති බවද සඳහන් වේ.

ප්‍රධාන සැකකරු වාහන ලබාගෙන ඒවායේ ජීපීඑස් යන්ත්‍ර ගලවා තවත් සැකකරුවෙකු සමග එක්ව පැය 72 ක වැනි කාලයකදී ව්‍යාජ ලෙස හිමිකම් පත්‍රය සකස්කර සහන මිලට අලෙවි කිරීම කලක පටන් සිදුකර ඇති බවත් පොලිසිය කීය.

වාහනයේ සත්‍ය හිමිකරු කාන්තාවක වුවහොත් අත්අඩංගුවේ පසුවන ගුරුවරියගේ නමින් ව්‍යාජ හිමිකම් සහතික සකස් කිරීම සිදුකර ඇති බවද පොලිසිය කීය.

පානදුර ප්‍රදේශයේ වාහනය ලබාගැනීම සඳහා එහි පදිංචි බවට ලියකියවිලි ඉදිරිපත් කර ඇතත්, විදුලි බිල්පත උතුරු මැද පළාතට අයත් ව්‍යාජ විදුලි බිල්පතක් බවට හෙළිව ඇති බවද පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන රවීන්ද්‍ර (869), අනුර (27061) සහ කොස්තාපල් ප්‍රසාද් (54582) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment