ඉංග්‍රීසීන් දැක්ක කැප්පෙටිපොල චරිතය… 204 වැනි කැප්පෙටිපොල ස්මරණය

199

2022 නොවැම්බර් මස 26 දිනට කැප්පෙටිපොල විරුවාණන්ගේ 204 ගුණානුස්මරණය යෙදී තිබේ. මෙරට ඓතිහාසික යටගියාවේ, විවිධ කාලසීමා විවිධ චරිතවලින් වර්ණවත් වී ඇති බව ඉතිහාසය පිළිබඳ යම් පමණකට හෝ දැනීමක් ඇති බහුතර මහජනතාව දනී. එහිදී අගය කිරීමකට ලක්වන්නේ ඒ ඒ චරිතයන් එම යුගයේ ගන්නා ලද සුවිශේෂ තීරණ හා ක්‍රියාමාර්ගයන්ය.

යුගයෙන් යුගය එම අභිමානවත් පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාදාම ඊළඟ පරපුරට ආදර්ශයක් හා මඟ පෙන්වීමක් වන්නේය. එවන් විශිෂ්ටයෙකු බි්‍රතාන්‍ය පාලකයන් විසින් ලක් මවට අහිමි කර වර්ෂ 204 ක් සපිරෙන අවස්ථාව මෙම නොවැම්බර් මස 26 දිනට උදාවන්නේය.

මෙතුමා පිළිබඳව විවිධ ලේඛකයන් පසුගිය කාලයක් තිස්සේ නොයෙකුත් ලිපි ලේඛන වරින්වර ජනමාධ්‍ය තුළින් එළිදක්වා තිබේ. මේවාට උපයෝගී කරගෙන ඇත්තේ දහඅටවන ශත වර්ෂයේ අවසන් භාගයේ හා දහනව වන ශත වර්ෂයේ මුල් භාගයේ ඓතිහාසික සටහන්ය. ඒ තුළින් කැප්පෙටිපොල චරිතය ආශ්‍රිත සංසිද්ධි හා නොයෙක් මත පළ කිරීම් දක්නට ලැබේ. මෙහිදී මූලාශ්‍ර පෙළගැස්වීමකදී පසමිතුරු ඉංග්‍රීසීන්ගේ ඓතිහාසික සටහන් කැප්පෙටිපොල විරුවාණන්ගේ චරිතය විනිවිද දැකීමට වඩාත් උපකාරීවේ.

කැප්පෙටිපොල නිලමෙතුමාගේ ඓතිහාසික ප්‍රකාශය වූයේ “තොපේ තුවක්කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්කු තොපේ ආණ්ඩුකාරයාට භාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්.”

මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාට විරුද්ධව ඉංග්‍රීසි යුද්ධාධිකරණයේදී ඉදිරිපත් කරන ලද ප්‍රධාන චෝදනාව වූයේ බි්‍රතාන්‍ය මහ රජුගේ නීත්‍යානුකූල රජයට විරුද්ධව යුද වැදීම යන්නය. එම චෝදනාව කැප්පෙටිපොල නිලමේතුමා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එතුමා කිසිදු විටෙක බි්‍රතාන්‍ය මහ රජුගේ නීත්‍යානුකූල රජය යන්න පිළිගත්තේ නැත.

සමකාලීන සටහන් තුළින් කැප්පෙටිපොල චරිතය පිළිබඳ ඉංග්‍රීසීන් විසින් දකින ලද ස්වභාවය අධ්‍යනය කිරීම කැප්පෙටිපොල විරුවාගේ ශ්‍රේෂ්ඨත්වය කෙබඳු ද යන්න තහවුරු කරන්නක් බවට තර්කයක් නැත. මන්ද එදිරිවාදී කඳවුරක පිළිගත් පුද්ගලයන්ගේ දැක්ම අපගේ දැක්ම හා බොහෝ විට පරස්පර විය හැකි බැවිනි. අපට වීරවරයෙකු වන අයෙකු තවත් අයෙතුට ද්‍රෝහියකු විය හැක. කැප්පෙටිපොල ඉංග්‍රීසි අධිරාජ්‍යයේ රාජ ද්‍රෝහියතු ලෙස නම් කර හිස ගසා ඝාතනය කලේ ද එබැවිනි.

1815 ඉංග්‍රීසි – සිංහල ගිවිසුමට සිංහලෙන් අත්සන් කළ කැප්පෙටිපොල නිලමේතුමා 1817 වනතුරු ඉංග්‍රීසින් යටතේ බදුල්ල හා මාතලේ දිසාවල අධිකාරම් ධුරය දැරීය. එහිදී ඉහළ පෙළේ ඉංග්‍රීසි ප්‍රධානීන් හා ළඟින් ඇසුරු කළ බවට ඉතිහාස සටහන් රැසක්ම දක්නට ලැබේ. එයින් සයිමන් සෝයර්ස්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්, ජෝන් ඩොයිලි, වෛද්‍ය හීල් වැන්නන් ප්‍රධාන ස්ථානයක් ගනී.

කැප්පෙටිපොල නිලමේතුමා ඌව දිසාව භාරව කටයුතු කරන සමයේ ආණ්ඩුවේ උප ඒජන්ත ලෙස රාජකාරි කලේ සයිමන් සෝයර්ස්ය. මෙම දෙදෙනා පසමිතුරු කණ්ඩායම් නියෝජනය කළත්, දෙදෙනාම පුද්ගලිකවම කිට්ටු හා හිතවත්කම් පැවැත් වූ අයෙතු බව ඉතිහාස ගත කරුණකි. මෙම සම්බන්ධය කොතෙක් ද යත් කැප්පෙටිපොල නිලමේතුමාගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ළඟ සිටි අය අතර සයිමන් සෝයර්ස් ද විය. එසේම හිස ගැසුම් කිරීමට මොහොතකට පෙර තම ඉනෙහි රඳවාගෙන තිබූ බන පොතක් සෝයර්ස් මහතාට දෙන්නැයි පවසා සිංහල හේවායෙකු අතට දුන් බව සඳහන්ය. (වීර මොණරවිල කැප්පෙටිපොල මහ නිලමේ – බණ්ඩාර ඇට්පොල – 166 පිට)

ඉතා වැදගත් තවත් කාරණයක් වන්නේ 1817 නොවැම්බර් 17 දින එංගලන්තයේ බැතර්ට්ස් සාමිවරයා වෙත ලංකාවේ තත්ත්වය පිළිබඳව ලිපියක් ලියන රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා “දිසාවේ (කැප්පෙටිපොල) කලේ ද්‍රෝහිකමක් බව පිළිගන්නට තරම් හේතු යුක්ති ඇති බවක් ඩොයිලි මහතාට ඒත්තු ගියේ නැති බවත්, සෝයර්ස් මහතා ඔහු සමපූර්ණයෙන්ම නිර්දෝස යැයි පිළිගත් බවත්” සටහන් කර තිබේ.

එමෙන්ම කැප්පෙටිපොල නිලමේතුමාගේ දඬුවම ලිහිල් කර අභය දානය දී රටින් පිටුවහල් කිරීමේ කාර්යයට උත්සහ කළ බව ඉතිහාස ලේඛනවලින් පෙනී යයි.

කැප්පෙටිපොල නිලමේතුමා ළඟින් දැන හැඳිනකම් පැවැත් වූ ඉංග්‍රීසි ප්‍රධානියෙකු වන්නේ දොස්තර හෙන්රි මාෂල් මහතාය. ඔහු විසින් ලියන ලද “සිලෝන්” නමැති ග්‍රන්ථයේ ඉඳහිට තමන් ඇහැලේපොල වලව්වේදී කැප්පෙටිපොල හමු වී ඇති බවත් ඉංග්‍රීසින් විසින් ආරම්භ කළ එන්නත් කිරීමේ වැඩ සටහනේ දී, එන්නත ලබාගත් පළමු උඩරට ප්‍රභූවරයා කැප්පෙටිපොල නිලමේතුමා බවත් සඳහන් කරයි.

කැප්පෙටිපොල නිලමේතුමාට මරණ දඬුවම නියම කළ පසු හෙන්රි මාෂල් මහතා කිහිපවිටක්ම කැප්පෙටිපොල හමු වූ බවත් නොවැම්බර් මස 13 දින සිට 26 දක්වා කාලය තුළ ඉතාමත් සන්සුන් ලීලාවෙන් පසු වූ බවත් තම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. දොස්තර හෙන්රි මාෂල් මහතා සමග කථාබහේ දී තමන් ඇඳ සිටි කිළුටු වස්ත්‍ර පෙන්වා තමන් ඉස්සර ඇන්දේ මෙසේ නොවන බවත් කියා සිටි බවත් එහිදී මාෂල් මහතාගේ නෙතට කඳුළු ඉනූ බවත් එම ග්‍රන්ථයේ දැක්වේ.

දොස්තර හෙන්රි මාෂල් මහතා විසින් තබන ලද සටහන් වලදී කැප්පෙටිපොල දිසාව යුරෝපීයන් ඇසුරු කිරීමට ප්‍රිය කළ බවත් සෝභන හා විශිෂ්ට ඉරියවු පළ කළ අයෙකු බවත් දක්වා තිබේ.

කැප්පෙටිපොල නිලමේතුමා ඝාතනය කිරීමට නියමව තිබූ දින උදයේ සිට මරණය දක්වා ක්‍රියා කළ ආකාරය දොස්තර හෙන්රි මාෂල් මහතා තම සටහන්වල පැහැදිලිව දක්වා ඇත. එතුමාට කරන ගෞරවයක් ලෙසින් කැප්පෙටිපොල හිස් කබල මහා බි්‍රතාන්‍යයේ එඩින්බරෝ කෞතුකාගාරය වෙත ගෙන යෑම සඳහා මූලිකවම ක්‍රියා කර ඇත්තේ ද හෙන්රි මාෂල්ය. ඒ අනුව පරිපාලන වශයෙන් පසමිතුරන් වුවද මිනිසුන් ලෙස ඔවුනොවුන් අතර කෙබඳු සම්බන්ධකමක් තිබුණේද යන්න පැහැදිලි වේ.

හෙන්රි මාෂල් මහතාගේ කැප්පෙටිපොල නිලමේතුමා පිළිබඳව සටහන් අතර එතුමා දැඩි බෞද්ධයෙතු වූ බවත්, තමන් අභාග්‍ය සම්පන්න පුද්ගලයෙතු බව විස්වාස කළ බවත්, ඒ පෙර ජන්මයකදී කරන ලද අකුසල කර්මයක් පලදීමක් සිදුව ඇති බව දැඩිව විශ්වාස කළ බවත් “සිලෝන්” නමැති ග්‍රන්ථයේ දැක්වේ.

කැප්පෙටිපොල හිස් කබල පරීක්ෂා කළ බි්‍රතාන්‍යයේ එඩින්බරෝ කෞතුකාගාරයේ වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය හීල් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ එම හිස් කබල ලෝකයේ ඉතා දුර්ලභ ඝනයේ පුරුෂයෙකුගේ බවයි.

ඉංග්‍රීසි භාෂා පරිවර්තකයෙකු වූ ජෝන් ඩොයිලි පවත්වා ගෙන ගිය තමන්ගේ දින පොතෙහි 19 වන ශත වර්ෂයේ මුල් දශක දෙකෙහි ශ්‍රී ලංකාවෙහි ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරයි. එහිදී ද කැප්පෙටිපොල නිලමේතුමා පිළිබඳව සටහන් දැකිය හැකිය.

නිශ්ශංක එම්. කැප්පෙටිපොල
උනම්බුව – ගම්පොල

advertistmentadvertistment
advertistmentadvertistment