කරන්නාගොඩට පැනවූ ඇමෙරිකානු තහනම දේශපාලනිකද ?

1154

ගමන් තහනම් පැනවීම ඇමෙරිකාව අවියක් ලෙස පාවිච්චි කරයි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මුස්ලිම් ජනතාව මරා දැමූ බවට එල්ල වූ චෝදනාව මත ඔහුට වීසා නිකුත් කිරීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කළේය. නමුත් මෝඩි ගේ දේශපාලන නැඟීමත් සමගම එම ඇමෙරිකානු තහනම ඉවත් විය. ඇමෙරිකාව අද මෝඩි පිළිගන්නේ රතු පලස එළාය. ශ්‍රී ලංකා දේශපාලන සහ හමුදා නායකත්වයට එරෙහිව බටහිර බලවතුන් ගමන් තහනම අවියක් ලෙස යොදා ගනියි.

ඇමෙරිකාව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ යුද අපරාධකරුවකු ලෙස නම් කිරීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ලෝක බලවතා ශ්‍රී ලංකාව තුළ සිදුකරන දේශපාලන අතපෙවීමයි. අප්‍රේල් 26 දින රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් කළ ප්‍රකාශයට වෙන කිසිදු හේතුවක් තිබිය නොහැක.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් විශ්‍රාමික තනතුරක් නොවේ. සරත් ෆොන්සේකා සහ රොෂාන් ගුණතිලක පිළිවෙළින් දරන ෆීල්ඩ් මාෂල් සහ එයාර් චීෆ් මාර්ෂල් තනතුරු ද සක්‍රීය සේවය අවධාරණය කරයි.

වර්තමාන වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමති අසෝක කරන්නාගොඩට එරෙහිව ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් හදිසියේ නිකුත් කළ නිවේදනය පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ හිටපු නාවික හමුදාපතිවරයා ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේදී පරාජය කිරීමෙන් පසුව ඇමෙරිකාවේ සංචාරයක් කර නැති තත්ත්වයක් යටතේදීය. මෙම ලියුම්කරු ඇමෙරිකානු තහනම සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාගෙන් කළ විමසීමකදී එතුමා පෙන්වා දුන්නේ තමන් නාවික හමුදාපතිවරයා ලෙස 2007 දී ඇමෙරිකාවේ කළ සංචාරයෙන් පසුව කිසි දිනක එහි යෑමට අවශ්‍යතාවයක් නොවූ බවයි. එලෙසෙම එම තත්ත්වයේ වෙනසක් නොමැති බවයි.

එසේනම් ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකට වීසා නොපැතූ පුද්ගලයකුට සහ ඔහුගේ බිරිඳට තහනම් නියෝගයක් පැනවූයේ ඇයි? ඇමෙරිකාවේ අරමුණ කුමක්ද? වර්තමාන වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කරන්නාගොඩ ඊට සුදුසු නොවන බවට අවධාරණය කිරීමටද? නැතහොත් වික්‍රමසිංහ – රාජපක්ෂ රජය කරන්නාගොඩ වෙනත් තනතුරකට පත් කිරීමට තිබූ අවස්ථාවකට බාධාවක් කිරීමටද?

අප්‍රේල් 26 දින ප්‍රකාශයට පත් කළ ඇමෙරිකානු තහනම් නියෝගය, ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය එදිනම නිකුත් කළ නිවේදනය සහ අද්මිරාල්වරයා මැයි 03 වන දින කොළඹ සිටින ජුලී චන්ග් ඇමෙරිකානු තානාපතිවරියට යැවූ පිටු තුනක ලිපියේ හදිසි මෙන්ම අතිශය අර්බුදකාරී නිවේදනයට හේතුවූ සිද්ධිය සඳහන් කර නොතිබිණි. ඇමෙරිකානු නිවේදනයට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කර ඇත්තේ එක සිද්ධියක් සම්බන්ධයෙන් පමණි. එම චෝදනාව කුමක්ද? ඒ 2008 සහ 2009 වසර දෙක තුළදී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කිරීම එම චෝදනාවයි. අගතියට පත්වූ කණ්ඩායම ද්‍රවිඩ, මුස්ලිම් සහ සිංහල ජාතිකයන්ගෙන් සමන්විත විය.

පැමිණිලිකරු විත්තිකරු වීම අතුරුදන් කළ පුද්ගලයන්ගේ ඥාතීන් අතරින් එක පාර්ශ්වයක් එවකට නාවික හමුදාවේ සේවය කළ කපිතාන් ජගත් රණසිංහ (ඔහු රියර් අද්මිරල්වරයකු ලෙස විශ්‍රාම ගත්තේය) මාර්ගයෙන් එවකට වයිස් අද්මිරාල් කරන්නාගොඩට කළ පැමිණිල්ලක් අනුව අතුරුදන් වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ විය. ඒ අද්මිරාල් කරන්නාගොඩ 2009 මැයි 28 වන දින පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.

නමුත් අවසානයේ පැමිණිලිකරු පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කිරීමේ නඩුවේ 14 වෙනි සැකකරු ලෙස නම් කෙරිණි. ඒ රහස් පොලිසිය 2019 පෙබරවාරි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවක් හරහාය. නාවික හමුදාපතිවරයා තමන්ගේ සහයකයකු වූ ලුතිනල් කමාන්ඩර් සම්පත් මුණසිංහට (නාවික හමුදාවෙන් ඉවත් වී ඇත) එරෙහිව පොලිසියට කළ පැමිණිල්ලට අනුව කළ පරීක්ෂණය නවතම මුහුණුවරක් ගත්තේ කරන්නාගොඩ ද චූදිතයකු ලෙස නම් කිරීම තුළය. පුද්ගලයන් අතුරුදන් කිරීමට චෝදනාවලට ලක්වූ නාවික හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් ආරක්ෂා කිරීමට කරන්නාගොඩ තම තනතුරු අවභාවිතා කළාද ? අනිවාර්යෙන්ම ඒ පිළිබඳව විමර්ශනයක් කළ යුතුව තිබිණි. පැහැරගැනීම් සම්බන්ධයෙන් එවකට නාවික හමුදාපතිවරයා දැනගත් දිනය සහ පොලිසියට අදාළ පැමිණිල්ල කළ දිනය (2009 මැයි 28) අතර පරතරය තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත්ය.

පැහැරගැනීම්වලට ලක්වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණයක් සිදු විය යුතුමය. කප්පම් ගැනීමට පැහැර ගැනීම් කළ හමුදා සාමාජිකයන් ආරක්ෂා කිරීමට හමුදා නායකත්වය සහ ආණ්ඩුව (කුමන පක්ෂය බලයේ සිටියත්) බැඳී නැත. එලෙසම ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සේනාධිනායක ධුරය හොබවන ජනාධිපතිවරයා, ආරක්ෂක හමුදා නායකත්වය සහ නිලධාරීන් සහ සෙබළුන් නිරපරාදේ අපහාසයට සහ උපහාසයට ලක්කිරීමට ජනතාව කිසිවකුට උල්පන්දම් දිය යුතු නැත.

● අපූරු හෙළිදරව්වක්

රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශය අදහා ගැනීමට නොහැකි හෙළිදරව්වක් කළේය. එනම් 2005 සිට 2009 ජුලි දක්වා නාවික හමුදාවට නායකත්වය දුන්, යුද සමයේදී ඇමෙරිකානු බලධාරීන් සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කළ කරන්නාගොඩට සහ එම මැතිණියට එරෙහිව ගමන් තහනමක් පැනවීම සිදු කිරීම රාජ්‍ය නොවන සංවිධාන ගත් ක්‍රියාමාර්ග සහ ස්වාධීන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසය. මීට පෙර කිසිදු අවස්ථාවක රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණවලට මෙවැනි වටිනාකමක් දී නැත.

ශ්‍රී ලංකාව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ යුතුමය. අවාසනාවකට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම බරපතළ අඩුපාඩුවකි. තම වගකීම නොසලකා හැරීමකි. ඇත්ත වශයෙන්ම විදේශ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසීමක් කළ යුතුව තිබිණි.

රාජ්‍ය දෙපාර්තමේන්තුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ගමන් තහනමක් පැනවූයේ 2020 පෙබරවාරි මාසයේදීය. එම අවස්ථාවේදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සුවිශේෂ දායකත්වයක් දුන් 58 වන සේනාංකයේ අණදෙන නිලධාරී වූ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සම්බාධක පැනවූ අවස්ථාවේදී ඔහු යුද හමුදාපති ධුරයට අමතරව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ එක නීතියක් යටතේය

( Section 7031(c) of the Department of State” Foreign Operations” and Related Programmes Appropriations Act”). ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන්ද එවකට සිටි ගෝඨාභය රාජපක්ෂ රජය අනුගමනය කළේ දියාරු ප්‍රතිපත්තියකි. එය ප්‍රකාශයකට පමණක් සීමා විය. ත්‍රස්තවාදය පරාජය කිරීමට සම කළ නොහැකි නායකත්වයක් දුන් කරන්නාගොඩ සහ ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් රජය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඛේදවාචකයකි.

● නොසැලකිලිමත් ආණ්ඩුවක්

එම තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව 2011 මාර්තු මස 31 වන දින නිකුත් කරන ලද යුද අපරාධ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ද සැලකිල්ලට ගැනීමෙනි. ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ රජයට යුද අපරාධ චෝදනාවලට සාර්ථකව මුහුණ දීමට ඇමෙරිකා එක්සත් ජනපදය අවශ්‍ය භූමිය සකස් කර දුන්නේය. ඒ 2011 මැයි /ජුනි පැවති පළමුවන කොළඹ ආරක්ෂක සමුළුවේදීය. ඉන්දීය සාම සාධක හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු ලෙස සේවය කළ අශෝක් කේ. මේතා යුද අපරාධ සම්බන්ධයෙන් එවකට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසූ පැනයකට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ ලුතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත්ය. තමන් හතරවන ඊළාම් යුද සමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු උපදේශක ලෙස සේවය කළ බවත්, ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව නැඟෙන චෝදනාවලට පසුබිමක් නොමැති බවත් අවධාරණය කළේය. ත්‍රස්තවාදය පරාජය කර වසර දෙකකට පසුව කළ මෙම ප්‍රකාශය සමස්ත යුද අපරාධ චෝදනාවම අභියෝගයට ලක් කළේය. එම සාකච්ඡාවට සහභාගි වී සිටි රටවල් කීපයකම නියෝජිතයන් පුදුමයට පත් විය. ඇමෙරිකානු නිලධාරියා පැවසුවේ තවදුරටත් කතා කළහොත් තමන් අමාරුවේ වැටීමට ඉඩ ඇති බවයි. ඔහුව කොළඹින් ඉවත් කෙරිණි.

මෙම වාර්තාකරු පමණක් එම වාර්තාව ‘The Island’ පුවත්පතේ පලකළ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව අපූරු ප්‍රතිචාරයක් දැක්වීය. ඇමෙරිකන් නිළ ඇඳුමින් සිටි ස්මිත් එම අවස්ථාවේදී ඇමෙරිකාව නියෝජනය නොකළ බව අවධාරණය කළේය. අද වනතුරු මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගෙන නොමැත. ඇත්ත වශයෙන්ම යුද අපරාධ චෝදනාව ගොඩනැඟූ අත්තිවාරම ඇමෙරිකාව විසින්ම කුඩු පට්ටම් කළේ කොළඹදීය. ඒ වසර 13 කට පෙරය. නමුත් අවාසනාවකට එයින් ප්‍රයෝජනයක් ගැනීමට ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශවලට කිසිදු උනන්දුවක් තිබුණේ නැත.

අදටත් තත්ත්වය එසේමය. යහපාලන සමයේදී ද (2017 ඔක්තෝබර් මාසයේදී) ශ්‍රී ලංකාවට එරෙහිව නැඟූ යුද අපරාධ චෝදනාවලට මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමට තවත් අවස්ථාවක් උදාවිය. ඒ නේස්බි සාමිවරයා බි්‍රතාන්‍ය සාමිවරුන්ගේ මණ්ඩලයේ කළ අතිශය ආන්දෝලනාත්මක හෙළිදරව්වයි. ලුතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත් කොළඹ සිටි කාලයේ දී බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ ලුතිනල් කර්නල් ඇන්තනි ගැෂ් 2009 ජනවාරි – මැයි කොළඹ සිට ලන්ඩනයට යැවූ රහස්‍ය ලිපි අවධාරණය කළේ යුද අපරාධ චෝදනා සත්‍යතාවයෙන් තොර බවයි. බි්‍රතාන්‍ය නිලධාරියා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් එල්ල කළ ප්‍රධානතම චෝදනාව වන 40,000 සාමාන්‍ය වැසියන් මරා දැමීම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාව එම හෙළිදරව්වද නොසලකා හැරියේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට යහපාලන රජය ත්‍රස්තවාදය පරාජය කළ හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව සමග එක්වී යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සම යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ 2015 ඔක්තෝබර් පළමුවන දිනය. එවකට ජිනීවාහි සිටි ස්ථිර නියෝජිත රවිනාථ ආරියසිංහ එම යෝජනාව සම්බන්ධයෙන් පලකළ ප්‍රබල විරෝධතාවය ප්‍රතික්ෂේප කළ යහපාලන නායකත්වය එම කටයුත්තට සම්බන්ධ විය.

මෛත්‍රිපාල සිරිසේන එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා වූ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විය. අද සිරිසේන පොහොට්ටු මන්ත්‍රීවරයකුය. වික්‍රමසිංහ ජනාධිපතිය. සේනාවිධායකය. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විදේශීය සභාගිත්වයෙන් පරීක්ෂණයක් කළ හැකිය. දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කළ සත්‍ය සහ සංහිඳියාව සෙවීමේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට අදාළ නැත.

රාජ්‍ය දෙපාර්තමේන්තුව අද්මිරාල් කරන්නාගොඩ සහ එම මැතිණියට එරෙහිව නිකුත් කළ නිවේදනය අවධාරණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර පහර දීම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමක කොටසක් බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට කිසිදා සම කළ නොහැකි නායකත්වයක් දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විය. ඇමෙරිකාව ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුව ජයග්‍රහණය කිරීමට කටයුතු කළේය. ‘විකී ලීක්ස්’ වෙබ් අඩවිය හෙළිදරව් කළ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය වොෂින්ටනයට යැවූ රහස්‍ය ලිපි ෆොන්සේකා දිනවීමට ඇමෙරිකාව කළ මැදිහත් වීම අවධාරණය කළේය. ද්‍රවිඩ භාෂාව කතාකරන බහුතර ජනතාවක් ජීවත් වන දිගාමඩුල්ල (අම්පාර) ඇතුළුව සියලුම උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්ක ෆොන්සේකා ජයග්‍රහණය කළේය. ඒ ආර්. සම්බන්ධන්ගේ ටැමිල් නැෂනල් ඇලයන්ස් (TNA) ෆොන්සේකා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුන බැවිනි. ඡන්ද ලක්ෂ 18 කින් ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂට පරාජය වූ ෆොන්සේකා උතුරු සහ නැගෙනහිර සියලුම දිස්ත්‍රික්ක ඉහළින්ම ජයග්‍රහණය කළේය. ඇත්තවශයෙන්ම ඊට වසර 5 කට පසුව ශ්‍රී ලංකා යුද හමුදාවට ජිනීවාහිදී යුද අපරාධ චෝදනා එල්ලකිරීම විහිළුවක් නොවන්නේද ?

ජිනීවා පාවා දීමෙන් පසුව එවකට සේවයේ යෙදී සිටි මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ (2016) සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය පෙරේරා (2021) ඇතුළු නිලධාරීන් විදේශීය සම්බාධකවලට ලක්විය. මෙම අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ගෙන් විමසූ විට එතුමා අවධාරණය කළේ පුද්ගලයන් පමණක් නොව වන්නි පෙරමුණේ යෙදවූ සමස්ත සේනාංක විදේශීය (ඇමෙරිකා) තහනමකට ලක් වී ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගොන්න නිසියාකාරව අධ්‍යයනය කිරීමට සහ ඒවා නිෂ්ප්‍රභා කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

කැනඩාවේ පාර්ලිමේන්තුව 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ බවට ප්‍රකාශයට පත් කළේය. එවිටත් ශ්‍රී ලංකාව ප්‍රතිචාරය ප්‍රකාශයකට පමණක් සීමා විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය. වැඩිකල් නොගොස් තවත් බටහිර ආණ්ඩු කැනඩාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අනුමත කරනු ඇත. කැනඩා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව ගත් එම තීරණය නැවතත් මේ වසරේ ජනවාරි මාසයේදී කැනඩාව ස්ථිර කළේය. ඒ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට (2005-2015) සහ ගෝඨාභය රාජපක්ෂට (2019-2022) එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කිරීමෙනි. එලෙස ඉලක්ක වූ පුද්ගලයන් 04 දෙනා අතර ලුතිනල් කොමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද විය. ඔහු අද්මිරාල් කරන්නාගොඩ 4 වැනි සැකකරු කළ නඩුවේ 10 වැනි සැකකරුය. තවමත් නාවික හමුදාවේ සේවය කරයි. ‘නේවි සම්පත්’ ලෙස යහපාලන කාලයේදී පොලිසිය වැරදි ලෙස හඳුන්වා දුන් නිලධාරියා ඔහු විය.

ඇත්ත වශයෙන්ම මෙම පහර ගැනීම් සහ අතුරුදන් කිරීමේ සිද්ධිය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ අවධානයට ලක්විය යුතු සිද්ධියකි. නීතිය පිළිබඳව ජනතාවට නැවත විශ්වාසයක් ඇති කිරීමට නම් මෙවැනි බරපතළ සිද්ධීන් නිසියාකාරව විමර්ශනයට ලක් විය යුතුය. පවතින ආණ්ඩුවල අවශ්‍යතා අනුව විමර්ශන සහ නීති කටයුතු කිරීම හේතුවන් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇත. කරන්නාගොඩ ගැටලුව රටට අවධාරණය කරන්නේ ප්‍රශ්න නිසියාකාරව විසඳිය යුතු බවයි. පොහොට්ටු ආණ්ඩුව 2020 මාර්තු මාසයේදී ජනතාව

රැවටුවේ ජිනීවා ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වූ බව ප්‍රකාශයට පත් කරමිනි. නමුත් අදටත් එම ක්‍රියාවලිය ඉදිරියට යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව ඇමෙරිකාව ගනු ලැබූ ක්‍රියාදාමය අවධාරණය කරන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව පසුගිය අප්‍රේල් 25 දින කළ චෝදනා විමසීමකින් තොරව ප්‍රතික්ෂේප නොකළ යුතු බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment