මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පසුගිය අප්‍රේල් මස 24 වෙනිදා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. මේ සංචාරය පිළිබඳව ලෝක බලවතුන් උනන්දුවෙන් බලා සිටි අතර ඉරාන ජනපති වෙනුවෙන් උපරිම ආරක්ෂාව සලසා තිබිණි. ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේ ඇමෙරිකානු මෙරීන් බළකා සාමාජිකයින් පිරිසක් ද ත්‍රිකුණාමලයට පැමිණ සිටින අවස්ථාවකදී ය. කවරක් නමුත් මත්තලින් ලංකාවට ගොඩබසිනු ලැබූ ඉරාන ජනපතිවරයා උමා ඔය බලාගාරය විවෘත කිරීම සඳහා ගියේ හෙලිකොප්ටරයෙන් නොවේ. විශේෂ කාර්ය බළකායේ ස්වැට් බළකායේ ආරක්ෂාව සමග ඔහුගේ රථ පෙළ වේගයෙන් මොණරාගල මාර්ග ඔස්සේ ධාවනය වනු දක්නට ලැබිණි. 2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදි නෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් විය. නමුත් පෙරේදා සිදු වූයේ මහත් විපතකි. ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය අනතුරට ලක්වීම නිසා මේ නායකයා මරණයට පත්ව තිබේ. ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ජීවී සලකුණක් නොමැති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් නිවේදනය කොට තිබූ අතර ඊයේ පෙරවරුවේ ජනපතිවරයා මියගොස් ඇති බව නිලවශයෙන් එරට රජය තහවුරු කර තිබිණි. ජනපතිවරයා ගමන් කළේ ඇමරිකාවේ නිෂ්පාදිත Bell 212 යානයකිනි. හෙලිකොප්ටරය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී ගොස් ඇති නිසා මෙහි ගමන් ගත් කිසිවෙකුගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි ආකාරයට විනාශ වී තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්‍රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ඉරිදා සවස වාර්තා කර තිබිණි. ඉරාන මාධ්‍යවලට අනුව, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබි්‍රස් නගරයට ආපසු පැමිණෙමින් සිට ඇත. මෙහිදී හෙලිකොප්ටර් තුනක් ගමන් කර ඇති අතර ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරය හැර ඉන් දෙකක් නැවත ටබි්‍රස් නගරයට පැමිණ තිබේ. ජනපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරයේ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලාහියන්, නැඟෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාර මලෙක් රහමති, ඉමාම් මොහොමඩ් අලි අලේහාෂෙම් මෙන්ම ගුවන් නියමුවෙකු, සහායකයකු, කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු, ආරක්ෂක ප්‍රධානියෙකු සහ තවත් ආරක්ෂකයෙකු ද යානයේ සිටි බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබිණි. මියගිය මුළු පිරිස 09 කි. දැනට හෙළිව ඇති කරුණු අනුව අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුවූ බව සැක කෙරේ. නමුත් මේ ගැන නිල නිවේදනයක් නිකුත්ව නැත. ඉරාන රජය මුලින්ම පැවසුවේ ජනපතිවරයාගේ හෙලිකොප්ටරය ඩිස්මාර් වනාන්තරයට “දැඩි ගොඩබෑමක්” සිදු කර ඇති බවයි.

ඉරිදා සවස ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බව ය. කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බව ද ඔහු පවසා තිබිණි. කෙසේ නමුත් මුලින්ම තුර්කි ඩ්‍රෝන යානයක් හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති අතර අනතුරට ලක්විය හැකි ස්ථානයේ ඛණ්ඩාංක ඉරාන බලධාරීන් සමඟ බෙදාගෙන තිබේ. ඒ අනුව විනාශ වූ හෙලිකොප්ටරය සොයාගැනීමට හැකිව තිබේ. අධික මීදුම, අධික සීතල හා මේ මෙහෙයුම් වලට බරපතළ බාධාවක් වී තිබේ. මේ විපත නිසා බෙහෙවින් කම්පාවූ ජනපති පුටින් කඳුකර ගලවා ගැනීම් මෙහෙයුම් සඳහා දැනුමැති භටයින් 50ක් ඉරානයට එවා තිබේ.

රයිසිගේ මරණය කුමන්ත්‍රණයක්?

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අතිශය සාම්ප්‍රදායික දේශපාලන අදහස් ඇති දැඩි මතධාරී පූජකයෙකු ලෙස සැලකෙන අතර එරට මීළඟ අධ්‍යාත්මික නායකයා වනු ඇතැයි බොහෝදෙනා විශ්වාශය පළ කර තිබිණි. 1960 දෙසැම්බර් 14 වැනිදා උපත ලබා ඇති ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එරට ප්‍රතිපත්තිවාදී දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු මුස්ලිම් නීතිවේදියෙකි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා වන්නේ ද ඊබ්‍රාහිම් රයිසි වේ. ඔහු 2021 මැතිවරණයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධුරය හොබවනු ලැබීය. ඊබ්‍රහිම් රයිසි 2004-2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014-2016 දක්වා නීතිපති ලෙසත් සහ 2019-2021 දක්වා අගවිනිසුරු ලෙසත් කටයුතු කර තිබේ. එමෙන්ම ඊබ්‍රහිම් රයිසි 1988 දී ඉරානයේ දේශපාලන සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නඩු පවරන කමිටුවේ සිටි සිව් දෙනාගෙන් එක් අයෙක් වේ. එබැවින් ඔහු “ඝාතකයකු ” ලෙස බටහිර රටවල් විසින් නම් කර ඇත. 13876 විධායක නියෝගයට අනුව ඇමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඔහුට සම්බාධක පනවා තිබිණි.

හෙලිකොප්ටර් අනතුරකින් ඊබ්‍රහිම් රයිසිගේ මරණයෙන් පසු එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම්ව අන්තර්වාර ජනාධිපති ධුරයට ඉරානයේ පළමු උප ජනාධිපතිවරයා වන 68 හැවිරිදි මොහොමඩ් මොක්බර් පත්වී තිබේ. අන්තර්වාර ජනාධිපති ලෙස, මොක්බර්, පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණ ප්‍රධානියා සමඟින්, ජනාධිපතිවරයාගේ මරණයෙන් දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් සංවිධානය කරනු ලබන ත්‍රිපුද්ගල කවුන්සිලයේ කොටසකි.

1955 සැප්තැම්බර් 01 වන දින උපත ලැබූ මොක්බර්, රයිසි මෙන්, රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය කරන උත්තරීතර නායක අලි කමේනිගේ සමීපතමයෙකු ලෙස සැලකේ. 2021 දී රයිසි ජනාධිපති ලෙස තේරී පත් වූ විට මොක්බර් පළමු උප ජනාධිපති බවට පත්විය.

මේ අතර අසර්බයිජානියානු ජනාධිපති ඉල්හාම් අලියෙව් මෙම සිද්ධිය ගැන දැන ගැනීමෙන් පසු “දැඩි කනස්සල්ලට” පත්ව තිබේ. ඉරාන ජනපතිවරයා අවසන් ගමන් ගියේ අසර්බයිජානයේ ජනාධිපති සමඟ වේල්ලක් විවෘත කිරීමට ගොසිනි. කවරක් නමුත් කුමන්ත්‍රණ න්‍යායවාදීන් කියා සිටියේ මේ අනතුර පිටුපස ඊශ්‍රායලය සිටිය හැකි බවයි, අසර්බයිජානය ඊශ්‍රායලයේ සහය ලැබෙන මුස්ලිම් මිත්‍ර රටවල් කිහිපයෙන් එකක් වේ. එහෙත් ඊශ්‍රායල චැනල් 13 ඊශ්‍රායල රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් හෙලිකොප්ටර් අනතුරට ඊශ්‍රායලයට “කිසිදු සම්බන්ධයක්” නැති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ඓතිහාසික එදිරිවාදිකම් සැලකිල්ලට ගෙන, සමහර ඉරාන ජාතිකයන් මෙම අනතුර පිටුපස ඊශ්‍රායලය විය හැකි බවට අනුමාන කර ඇති බව ඉකොනොමිස්ට් සඟරාවේ වාර්තාවක සඳහන් වේ. ඊශ්‍රායලය විසින් ඩැමස්කස්හිදී ඉරාන ජෙනරාල්වරයෙකු ඝාතනය කිරීම සහ ඉරානය පසුව ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරය කිරීම ඇතුළු මෑත කාලීන ගැටුම් සැලකිල්ලට ගනිමින් මෙම මතය ප්‍රකට වී තිබේ. ඊශ්‍රායලයේ බුද්ධි ඒජන්සිය වන මොසාඩ් ඉරාන අවශ්‍යතාවලට එරෙහි මෙහෙයුම් සඳහා ප්‍රසිද්ධය, නමුත් එය කිසි විටෙකත් රාජ්‍ය නායකයෙකු ඉලක්ක කර නැත. කෙසේ වෙතත්, විශේෂඥයන් ඊශ්‍රායල මැදිහත්වීමේ න්‍යාය අසම්භාව්‍ය වේ. ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීම සෘජු යුද ක්‍රියාවක් වන අතර එය ඉරානයේ දැඩි ප්‍රතිචාරයක් ඇති කරයි. ඊශ්‍රායලයේ මූලෝපායික අවධානය සම්ප්‍රදායිකව ඉහළ දේශපාලන ඝාතනවලට වඩා මිලිටරි සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත යොමු වී ඇත. “ඊශ්‍රායලයේ මැදිහත්වීම සැක කිරීමට ප්‍රබල හේතු තිබේ. එය කිසි විටෙක රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීමට තරම් දුරදිග ගොස් නැත. එය දරුණු ඉරාන ප්‍රතිචාරයකට ආරාධනා කරන අවිවාදිත යුද ක්‍රියාවක්” යැයි ඉකොනොමිස්ට් වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, හෙලිකොප්ටර් අනතුර සිදුවූ මේ කාලය කලාපීය ආතතිය උග්‍ර කරන බව අවිවාදිතය. ලෙබනනය, සිරියාව, ඉරාකය සහ යේමනය හරහා ඉරානය තමන්ගේ සහය ලබන කණ්ඩායම් (ප්‍රොක්සි ජාලය) ක්‍රියාත්මක කරන්නේ යුදෙව් රාජ්‍යයට එරෙහිවය. “ඉස්ලාමීය ජනරජයේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නෙකු මිස තීරණ ගන්නෙකු නොවේ,” න්‍යෂ්ටික ඉරානයට එරෙහි එක්සත් හි ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජේසන් බ්‍රාඩ්ස්කි පැහැදිලි කරයි. ” ජනපති මියගියද ප්‍රතිපත්තිවල මූලික කරුණු වන ඉස්ලාමීය ජනරජයේ ප්‍රතිපත්ති එලෙසම පවතිනු ඇත. “ජනපතිවරයා ” උත්තම නායකයා වෙනුවෙන් වැඩ කරයි” යනුවෙන් රීච්මන් විශ්වවිද්‍යාලයේ ඔරිගෝල්ඩ්බර්ග් සඳහන් කරයි. “නිසැකවම මේ පුද්ගලයා, ඉස්ලාමීය ජනරජයේ මෙතෙක් පැවති අඩුම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ නිසා.” බව ඔහු කියයි. මේ බටහිර ලෝකය දකින හැටිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment