ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඔක්තෝබරයට කල් යයි

13

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එනම් 2014.01.01 සිට 2014.12.31 දක්වා වූ කාලය අතරතුරදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි විසිඅට ලක්‍ෂයකට අධික මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ 4 සහ 5 වැනි සාක්‍ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට ද නියෝග කළ විනිසුරුවරයා එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (26දා) අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරුට නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කාජා මොහිදින් සාකිර් යන විත්තිකරුවෝ තිදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ අමා විජේසිංහ මහත්මිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥ නිරෝෂන් සිරිවර්ධන, නවින් ජයමාන්න, නීතිඥ අජිත් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග නීතිඥ නෙරංජන් ඊරියගොල්ල මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment