2024 යනු ලෝක ජනගහනයෙන් අඩකට වඩා ඡන්ද පළට ගිය ‘සුපිරි මැතිවරණ වසරකි.’ ලංකාවේ ජනයා ලබන සෙනසුරාදා ලංකාවේ නව වැනි ජනපති පත්කිරීම වෙනුවෙන් ඡන්ද පළට යන අතර ඇමෙරිකානුවන් සිය ජනපති තේරීම සඳහා යන්නේ නොවැම්බර් 05 වැනිදාටය. ලංකාවේ දේශපාලන කේෂ්ත්‍රයේ උණුසුමත් සමග මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින දේශපාලනඥයින් රටේ Gen Z ඉලක්ක කරමින් අදහස් පළ කරන ආකාරය මෑත කාලයේදී වැඩි වශයෙන් දකින්නට ලැබිණි. ඉසෙඩ් පරම්පරාව ආරම්භ වන්නේ, කොතැනින් ද යන්න පිළිබඳව පරස්පර විරෝධී අදහස් කිහිපයක් තිබේ. ඇතැම් පිරිස් මෙම පරම්පාරව 1997 වසරේ සිට ඉපදුණු පුද්ගලයින්ගෙන් ඇරඹුණු බවත්, තවත් පිරිසක් 2000 වසරේ සිට ඉපැදුණු අය Gen Z පරම්පරාවට අයත් බවත් පවසති. මෙම පරම්පරාව නියෝජනය කරන පිරිස තාක්ෂණයෙන් තොර ජීවිතයක් කිසිදා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වේ. එහෙත් අප අද කතා කරන්නේ පසුගිය සතියේ පැවති ට්‍රම්ප් සහ කමලා විවාදය ගැනය.
ඇමෙරිකානු ජනාධිපතිවරණ විවාද මාලාවේ දෙවැන්න පසුගිය අඟහරුවාදා පැවති අතර එය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර සටනක් විය. ඇමෙරිකාව තුළ ජනාධිපතිවරණ විවාද රූපවාහිනිය ඔස්සේ එරට ජනතාව බහුලව නරඹන අතර ඇමෙරිකානුවන් සිය ඡන්දය සම්බන්ධයෙන් ගන්නා තීරණය කෙරෙහි එමගින් විශාල බලපෑමක් එල්ල වන බව පැහැදිලිය. ඇමරිකානු ජනපතිවරණයේ පළමු විවාදය ඉකුත් ජූනි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර පැවැත්විණි. ඒ, ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීමට පෙර ය. නමුත් ජුනි විවාදයේදී ජනපති බයිඩන් වඩා සාර්ථක නොවීම මෙන්ම ඔහු නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු නොදීම හේතුවෙන් ඔහුගේ අපේක්ෂකත්වය බරපතළ විවාදයට ලක්විය. එනිසාම ජනාධිපතිවරණ සටන උඩුයටිකුරු කරමින් බයිඩන් අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ ජුලි අගදීය. 81 හැවිරිදි බයිඩන් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔහු ජනපති සටනින් ඉවත් වන්නේ, තම “පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන්” බව ය. එනිසා උප ජනපති 59 හැවිරිදි හැරිස්ට අවස්ථාව හිමිවිය. ඉන්දියාවේ උපත ලද මවකට සහ ජැමෙයිකාවේ උපත ලද පියෙකුට දාව කමලා හැරිස් කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි උපත ලැබී ය. ඇය 5 හැවිරිදි වියේ පසු වෙද්දී ඇගේ දෙමාපියන් දික්කසාද වූ අතර, ඇයව මූලිකව හදාවඩා ගනු ලැබුවේ, පිළිකා පර්යේෂිකා සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වූ ශ්‍යාමලා ගෝපාලන් හැරිස් නමැති ඇගේ තනිකඩ හින්දු මව විසිනි.
ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් විවාදයෙන් පසුව ඇමෙරිකානු මාධ්‍ය ප්‍රකාශ ලැබුවේ මේ විවාදයේ ජයග්‍රහණය ලැබුවේ කමලා බවයි. නමුත් දින කිහිපයකට පසුව කියන කතාව කුමක්ද මේ විවාදය දූෂිත පක්ෂග්‍රාහී එකක් බවයි. මෙම විවාදය ABC නාලිකාව ඔස්සේ විකාශය වූ අතර එම විවාදයට පෙර උප ජනපති කමලාට විවාදයේ අසන ප්‍රශ්නාවලිය ලැබී ඇති බව දැන් හෙළිව තිබේ. රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බදාදා කියා තිබුණේ තමා සහ ප්‍රතිවාදී කමලා හැරිස් අතර විවාදය “දූෂිත” බවයි. එහෙත් ඔහු මේ ගැන විස්තර ලබා දී නොතිබුණි. කවරක් නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් විවාදයෙන් පසුව පවසා තිබුණේ තමා නැවත විවාදයකට සහභාගී නොවන බවත් මේ විවාදයෙන් තමා ජයග්‍රහණය කළ බවත්ය. එහෙත් කමලා පවසන්නේ තමන් නැවත විවාදයකට සූදානමින් සිටින බවයි. ට්‍රම්ප් කියන්නේ කමලා නැවත විවාදයක් ඉල්ලන්නේ මේ පසුගිය විවාදයේදී ඇය පරාජය වී ඇති නිසා බවයි. නමුත් මේ වංචාව සුළුපටු නොවේ.
මෙම විවාදයේදී අපේක්ෂකයින්ට ලබාදෙන කාලය සම්බන්ධයෙන් සීමා කර තිබිණි. සෑම අපේක්ෂකයෙකුට ම විවාදය මෙහෙයවන්නන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපරිම මිනිත්තු දෙකක කාලයක් හිමි වන අතර ප්‍රතිවිරෝධය දක්වන්නේ නම් ඒ සඳහා ද මිනිත්තු දෙකක් ලබාදෙයි. ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා අදහස් දක්වන අවස්ථාවේදී අනෙකුත් අපේක්ෂකයින්ගේ මයික්‍රෆෝන නිහඬ කරනු ලබයි. විවාදය පුරා මයික්‍රෆෝන ක්‍රියාත්මකව තැබීමට කමලා හැරිස්ට අවශ්‍ය වූ නමුත් පසුව ඇය ඉහත කී රෙගුලාසියට එකඟ වී තිබේ. එහෙත් මේ විවාදයේදී විවාදය මෙහෙයවන්නන්ගේ සහයද හිමිව ඇත්තේ කමලාට බව හෙළිව ඇත. එහෙත් ඒබීසී නාලිකාව පවසන්නේ ඩේවිඩ් මුයර් සහ ලින්සි ඩේවිස් යන නිවේදකයින් දෙදෙනා කිසිම පක්ෂපාතිත්වයක් නොදක්වා තම කාර්යය ඉටුකළ බවයි. “කිසිදු මාතෘකා හෝ ප්‍රශ්න අපේක්ෂකයින් සමඟ කල්තියා බෙදා නොගෙන ඇති බවත් මේ රූපවාහිනි නාලිකාව පවසා තිබේ. ඩේවිඩ් මුයර් සහ ලින්සේ ඩේවිස් යන දෙදෙනා ම එම නාලිකාවේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෝ වෙති.
ඇමරිකානු ජාතික ඡන්ද විමසීම්වල මත විමසුම් ප්‍රතිපල ඉදිරිපත් කරන දේශපාලන විශ්ලේෂණ සංවිධානයක් වන RealClearPolitics පවසන්නේ, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස තේරී පත් වීමෙන් පසුව ට්‍රම්ප්ට වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති බව ය. සැප්තැම්බර් 3 වැනිදා වන විට ඇය ජාතික වශයෙන් ට්‍රම්ප්ට වඩා ලකුණු 1.9කින් ඉදිරියෙන් සිටි බව එහි සඳහන් වේ. කෙසේ වෙතත්, හිලරි ක්ලින්ටන් ද 2016 වසරේදී ජාතික මත විමසුමකදී එම අගයෙන් ම ලකුණු පහකින් ඉදිරියෙන් සිටි නමුත් ජනාධිපතිවරණයේදී ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට පරාජය විය. යම් අපේක්ෂකයකු ජනාධිපති ධුරයට පත්වීමට නම් මැතිවරණ විද්‍යාල 270 ක් ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ. දැනට සිදු කර ඇති මත විමසුම් පුරෝකථනය කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයට මැතිවරණ විද්‍යාල ඡන්ද 226ක් හිමිවනු ඇති බව සහ රිපබ්ලිකන් පක්ෂයට මැතිවරණ විද්‍යාල 219 ක් හිමිවනු ඇති බව ය. ඉතිරි 93 ඕනෑම ආකාරයකින් බෙදී යා හැකි බව ඔවුහු පවසති. දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ, මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි බව ය. ඇත්තෙන්ම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක ප්‍රාන්ත ලෙස සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියා වැනි අවිනිශ්චිත ප්‍රාන්ත කිහිපයක් තිබේ. එම සෑම ප්‍රාන්තයක ම දැඩි තරගකාරීත්වයක් පවතී. දැන් ඇති විශාල ම ප්‍රශ්නය නම් – ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ද? නැතහොත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ද? යන්න ය. මේ අතර ප්‍රැන්සිස් පාප් වහන්සේ කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම ‘ජීවිතයට එරෙහිව‘ අය ලෙස හුවා දක්වන අතර ‘අඩු නපුරට‘ ඡන්දය දෙන ලෙස ඇමරිකානු කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. සංක්‍රමණිකයන් පන්නා දමන්නා වේවා, ළදරුවන් මරා දමන්නා වේවා, දෙදෙනාම ජීවිතයට විරුද්ධයි, යනුවෙන් ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.
2020 ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත පසුගිය වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී පොලිසිය විසින් ගනු ලැබූ ඔහුගේ මුහුණු ඡායාරූපය, පොලිස් පොතේ ඇමිණීමට ගනු ලැබූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ පළමු ඡායාරූපය බවට පත් විය. ඇට්ලැන්ටා බන්ධනාගාරයෙන් මුදාහැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක ඇපකරයක් ගෙවීමට ට්‍රම්ප්ට සිදුවිය.
පසුව, ඔහු එම සිද්ධිය හැඳින්වූයේ, “යුක්තියේ සරදමක්” ලෙස ය. මාස 5ක් තුළදී අපරාධ නඩුවක් වෙනුවෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ සිව්වන අවස්ථාව මෙය වූ අතර, පොලිස් පැමිණිලි පොතෙහි ඇමිණීමට ඡායාරූපයක් ගනු ලැබූ පළමු අවස්ථාව එය විය. එහෙත් මේ කිසිවකින් ඔහුගේ දේශපාලන ජනප්‍රියතාවය අඩු වූයේ නැත.
පසුගිය ජුලි මාසයේදී පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්‍රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලැබීය. එනිසා ඔහුගේ ජනප්‍රියතාව වැඩි වූ බව පැහැදිලිය. වෙඩි ප්‍රහාරයෙන් පසුව සිය සමාජ මාධ්‍ය ජාලය වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, වෙඩි උණ්ඩයක් ඔහුගේ දකුණු කනේ “ඉහළ කොටස” පසාරු කරගෙන ගොස් ඇති බව ය. එදින හිටපු ජනපතිවරයා ඝාතනය වූවානම් ඇමරිකාව මෙන්ම ලෝකයටම තවත් අර්බුදයක් ඇතිවීමට ඉඩ තිබිණි. නමුත් එය වාසනාවකට වෙඩි ප්‍රහාරය කනින් ගැලවිණි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා 20 හැවිරිදි තෝමස් මැතිව් කෘක්ස් ලෙස ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් නම් කර තිබිණි. තමා ජනපතිවරණයෙන් ජයගතහොත් රුසියානු යුක්‍රේන යුද්දය නතර කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇත්තෙන්ම ඔහු ජනපතිවී සිටි කාලයේ ඇමරිකාව කිසිම ලෝක යුද්ධයකට සම්බන්ධ වූයේ නැත. ලාංකික බහුතර ජනයා කැමැතිවන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය බව නොරහසකි. ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 78ක් වනු ඇත. එමෙන්ම, එම වයසේ දීම ධවල මන්දිරයට ගිය ජෝ බයිඩන්ට පසු, එක්සත් ජනපද ඉතිහාසයේ දෙවන වයස්ගතම ජනාධිපතිවරයා බවට ද ඔහු පත්වනු ඇත. ට්‍රම්ප්, අතීතයේ දී දැඩි විඳදරා ගැනීමේ හැකියාවක් ඇති බව පෙන්නුම් කළේ ය. නමුත් සෑම මිනිසෙකුටම මෙන්ම ඔහුට ද සීමාවන් තිබෙනු ඇත.
චතුර පමුණුව