ඩෑන් ප්‍රියසාද් ඝාතනය: සැකකරු 30 දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

26

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන 30 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) අවසර ලබා දුන්නේය.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබීය.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදුකරන බවත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව පොලිසිය විසින් අනාවරණය කර ගන්නා තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බව පැවසීය.

විමර්ශන තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය වීම තුළින් නියම සැකකරුවන් නීතියේ රැහැනින් බේරී යනු ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එවැනි තත්ත්වයක් ඇති වූවොත් මෙම අපරාධයට සම්බන්ධ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වනු ඇති බවත් පැවසීය.

මෙම සැකකරු මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව ප්‍රකාශ කළත් ඔහු මෙම අපරාධයට සම්බන්ධ නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment