කංජිපානිගේත් සහාය ලැබිලා
ත්‍රිරෝද රථ හිමියෙක් රහස් වමාරයි
සැකකාර පිය – පුතු දෙදෙනා අතුරුදන්
‘ඩෑන්ට මොනවත් නොකළොත් අපි වැල්ලම්පිටියේ ඉඳලා හමාරයි’ තුන්දෙනාම ඩුබායිහි සිටින පාතාලයේ ධනුෂ්කට කියලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභා අපේක්‍ෂක ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැල්ලම්පිටියේ පදිංචි ත්‍රිරෝද රථ හිමියකු සහ පිය – පුතු දෙපළක් ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට ඩුබායි හි සිටින කංජිපානි ඉම්රාන්ගේ සහාය ද ලැබී ඇති බව හෙළිවී තිබේ.
මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් දුලාන් නමැති ත්‍රිරෝද රථ හිමියා මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහු ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ.
ඩෑන් ප්‍රියසාද්ගේ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිය පුතු දෙපළ ද මෙම සිද්ධිය පිටුපස සිටින අතර ඔවුන් මේ වනවිට නිවෙස් අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
‘කට් බන්දු’ නමින් හඳුන්වන පිය- පුතු දෙපළ අතර සිටින පියා ඩෑන් ඝාතනය කර අලුත් අවුරුද්දට පසු බන්ධනාගාරයට එන බව බන්ධනාගාර රැඳවියකුට මීට පෙර ප්‍රකාශ කර තිබූ බවද පොලිසිය හෙළි කරගෙන තිබේ.
ඩුබායිහි සැඟවී සිටින ග්‍රෑන්ඩ්පාස් ධනුෂ්ක නමැති පාතාල ප්‍රබලයා මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඊට කංජිපානි ඉම්රාන්ගේ ද සහාය ලැබී ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඉකුත් 21 වැනිදා ද වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිටදී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට මෙම සංවිධානාත්මක කල්ලිය සැලසුම් කරගෙන සිට ඇත. එහෙත් එදින ඔහු පොලිසියට නොපැමිණි නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඉකුත් 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් සහ දුලාන් නමැති ත්‍රිරෝද රථ හිමියා අතර වැල්ලම්පිටියේ දී ආරවුලක් ඇතිවී තිබිණි. එහිදී ඩෑන් ප්‍රියසාද් විසින් දුලාන්ට පහර දී ඔහුගේ ත්‍රිරෝද රථයට ද මන්නා පිහියකින් කොටා හානි කර ඇත.
දුලාන් නමැත්තා ඩෑන්ගේ සොහොයුරා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන පිය-පුතු දෙපළගේ ඥාතියකු වන අතර ඔහු මේ බව පිය-පුතු දෙපළට පවසා ඇත්තේ ඩෑන් ප්‍රියසාද්ගෙන් දිගට ම කරදර ඇති බවයි. පසුව මොවුන් මේ පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින ග්‍රෑන්ඩ්පාස් ධනුෂ්ක නමැති පාතාල නායකයාට පවසා ඇත. ‘ඩෑන්ගෙන් හරි කරදරයි. මිනිහට මොනව හරි කළේ නැත්නම් අපිට වැල්ලම්පිටියේ ඉන්න හම්බ වෙන එකක නැහැ’ යනුවෙන් දුලාන් මෙන්ම පිය-පුතු දෙපළ ධනුෂ්කට පවසා ඇත.
ධනුෂ්ක කංජිපානි ඉම්රාන්ගේ ද සමීප හිතවතකු වන අතර ඔහු මේ පිළිබඳව කංචිපානිට ද පවසා තිබේ. ඩෑන් ප්‍රියසාද් සමග තමාගේ ද වෛරයක් ඇති බැවින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කංජිපානි ඉම්රාන් ද පවසා තිබේ.
ඒ අනුව කුලී ඝාතකයන් දෙදෙනකු යොදවා ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සැලසුම සකස් කර ඇත.
තම ත්‍රිරෝද රථයට හානි කිරීම සම්බන්ධයෙන් දුලාන් වැල්ලම්පිටිය පොලිසිය වෙත නොගොස් වෙනත් පුද්ගලයකු ලවා පැමිණිල්ලක් දැමීමට කටයුතු කර තිබිණි. ඒ ඔහු එසේ කර තිබුණේ මෙම ඝාතන සැලසුමට තමන්ගේ සම්බන්ධයක් නොවන බව හැඟවීමට බවට පොලිසිය පවසයි.
එම පැමිණිල්ල විභාග කිරීමට නියමිතව තිබූ 21 වැනිදා ඩෑන් ප්‍රියසාද් මරා දැමීමට සැලසුම් කළ ද ඔහු එදින පැමිණිල්ල විභාගයට පොලිසිය වෙත පැමිණ සිටියේ නැත.
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
සැඟවී සිටින පිය- පුතු දෙපළ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔවුන් සිටින බවට සැකකරන ස්ථාන රැසක් පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් ලැබී නොමැති බව විමර්ශකයෝ පවසති.
මෙම ඝාතනය සිදු කළ කුලී ඝාතකයන් දෙදෙනා පිළිබඳව ද මෙතෙක් තොරතුරු ලැබී නැත. සී.සී.ටී.වී. දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කුලී ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරගෙන යයි.
පසුගිය 21 වැනිදා රාත්‍රියේ මීතොටමුල්ල මහල් නිවාසයේ පදිංචි සිය බිරිඳගේ මවගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වෙමින් සිටියදී එහි කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ඩෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන