ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගැනීමේ සිද්ධිය: හිරුණිකා හිරේ

323

බරපතළ වැඩ සහිත වසර 3ක්

රු. 360,000ක දඩයක්

චෝදනා 19න් 18කට වැරදිකාරිය

දඬුවමට එරෙහිව ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කරනවා – හිරුණිකාගේ නීතිඥ

සක්‍රීය සිරදඬුවමක් දුන්නොත් පොඩි දරුවන් තිදෙනාට අගතියක් වෙනවා – ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ

හිතවතකුගේ ප්‍රශ්නය විසඳන්න පාර්ලිමේන්තු බලය යොදාගෙන: සක්‍රීය සිරදඬුවමක් දෙන්න – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

මෙයට වසර නමයකට පමණ පෙර එනම් 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යෑම සඳහා අයුතු ජනරාශියක නිරත වූ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 18කට වැරදිකාරිය කරනු ලැබූ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම කළේය.

විත්තිකාරිය ඇයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් අධි චෝදනා 19න් 18කටම වරදකාරිය බවට නිගමනය කළ විනිසුරුවරයා වෙන් වෙන්ව වසර 33ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් එකවර එනම් වසර තුනකින් ගෙවීයන ලෙස ලබාදීමට නියෝග කළේය. එයට අමතරව එම විත්තිකාරියට රුපියල් තුන් ලක්ෂ හැට දහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවකට මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගැනීමේ සිද්ධිය: හිරුණිකා හිරේ
හිරුණිකාගේ මව වේදනාවෙන්…

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්ෂකයන් පිරිසක් 2015.12.21 වැනිදා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටි අමිල ප්‍රියන්ත අමරසිංහ නමැති පුද්ගලයාව පැහැරගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් අංක 62-1859 දරන ඩිෆෙන්ඩර් රථයේ දමාගෙන ඇගේ කාර්යාලයට ගෙන ගොස් පහරදී සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර තිබිණි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවල උදෘත සලකා බැලූ නීතිපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් අට දෙනකුට එරෙහිව කොළඹ මහධිකරණය හමුවේ 2016.08.07 වැනිදා අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. එකී නඩු විභාගය අතරතුරදී සෙසු විත්තිකරුවන් අට දෙනා සාපරාධී, බියගැන්වීම ඇතුළු චෝදනාවලට වරද පිළිගෙන දඬුවමට යටත්ව තිබිණි. එම නඩුවේ නව වන විත්තිකාරිය ලෙස නම් කොට තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවලට වරද පිළිනොගැනීම නිසා සාක්ෂි කැඳවා විභාගයක් පැවැත්වීමට මහාධිකරණය තීරණය කොට තිබූ අතර පැමිණිල්ලේ විත්තියේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා විවෘත අධිකරණය හමුවේදී දෙපාර්ශ්වයේ දේශන පවත්වා තිබිණි.

ඊයේ (28දා) උදෑසන එම නඩුව කැඳවීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරිපත් වූ සියලු සාක්ෂි අනුව චෝදනා 18කට විත්තිකාරිය වරදකාරිය බවට තම අධිකරණය තීරණය කළ බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව අධිකරණය ඇමතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ චෝදනා 18කට විත්තිකාරිය වැරදිකාරිය බවට ඔබතුමාගේ ගරු අධිකරණය මේ වනවිට තීරණය කර අවසන්. එනිසා මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විත්තිකාරියට අත්හිටුවූ සිරදඬුවම් නොව සක්‍රීය සිරදඬුවම් ලබාදෙන ලෙස. විත්තිකාරිය එම වරද සිදු කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඇය ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අයෙක්. ඇය එම මන්ත්‍රී ධුරයේ බලතල යොදවලා තියෙන්නේ ඇයගේ හිතවතෙකුගේ පවුල් ප්‍රශ්නයක් විසඳන්නයි. අනෙක් විත්තිකරුවන් අටදෙනාම මුල් අවස්ථාවේදීම වරද පිළිගත්තා. නමුත් තමන් අතින් සිදු වූ එම වරද පිළිගන්න තරම්වත් විත්තිකාරිය නිහතමානී වුණේ නෑ. තමන්ගෙන් ප්‍රකාශය ලියාගත්තු පොලිස් නිලධාරීන් පවා අධිකරණයට කැඳවලා සාක්ෂි ලබාගන්න පවා පියවර ගත්තා. විත්තිකාරිය දරපු තනතුරු හෝ වෙනත් අවශේෂ කරුණු පැමිණිල්ලට හෝ ගරු අධිකරණයට අවශ්‍ය නෑ. ඇය වැනි වෙනත් අය එවැනි වැරදි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අයටත් පාඩමක් කියාදෙන පරිදි සක්‍රීය සිරදඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා මෙසේ පැවසීය.

මගේ සේවාදායිකාව ඉතාමත් ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිනියක්. ඇයට පෙර වැරදි කිසිවක් නෑ. තෙදරු මවක් වන ඇයට සක්‍රීය සිරදඬුවම් ලබාදුන්නොත් අවුරුදු 7, 5 සහ 3 වයස්වල පසුවන ඇගේ දරුවන්ට විශාල අගතියක් සිදුවෙනවා. ඇය මේ රට තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියාවලට එරෙහිව නැඟී සිටි සමාජ ක්‍රියාකාරිණියක්.

ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගැනීමේ සිද්ධිය: හිරුණිකා හිරේ

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු අමල් රණරාජා මහතා එකී දඬුවම් නියම කළේය. එකී දඬුවම් නියෝගයට එරෙහිව ඉහළ අධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක මොහොමඩ් යාසින් මහතා දඬුවම් විවෘත අධිකරණය හමුවේ කියා දුන්නේය.

රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment